40. අඞ්ගුලිමාල තෙරුන් පිළිබඳ කථා පුවත
“උසභන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවතාරාමයේ වැඩසිටිය දී අඞ්ගුලිමාල තෙරුත් නිමිති කරගෙන දේශනා කළහ.
කථා පුවත “නවෙ කදරියා දෙවලොකං වජන්ති” යන ගාථා වර්ණනාවේ කියන ලද ආකාරයටය.
භික්ෂූන් වහන්සේලා අඞ්ගුලිමාල තෙරුන්ගෙන් විමසුහ. ඇවැත්නි කිම දුෂ්ට වූ හීලෑ නොවූ ඇතා කුඩය අල්ලාගෙන සිටිනවිට බියක් ඇති නොවීද? ඇවැත්නි මම බිය නොවුවෙමි. අඞ්ගුලිමාල වෙනත් දෙයක් කියන බව බුදුන්ට පැවසුවට නැත මහණෙනි මගේ පුතු අඞ්ගුලිමාල බිය නොවේ. රහත් වෘෂභයන් අතර ජ්‍යෙෂ්ඨ වෘෂභ වූ මගේ පුත් අඞ්ගුලිමාල වැනි අය බිය නොවෙති.
තැති ගැනුම් සහ බියත් නැති කොට
තුන් මරුන් දිනු දිරිය වඩමින්
කෙලෙස් සේදු නැණින් සිව්සස්
යුතු වූ උතුමෝ බමුණු වේමැයි.
අජානීය වෘෂභ රාජයකු සමාන උතුම් වෙර ඇති, මහත් තෙද ඇති, තණ්හා ආශා දුරු කළ. සිව්සස් දහම් මනාව දත් ඒ තැනැත්තා බ්‍රාහ්මණ යයි මම කියමි.
එහි අර්ථය බිය නැති බැවින් ආජානීය වෘෂභයකු සමාන, උසභං උතුම් වූ, පවරං. වීර්ය සම්පත්තියෙන් යුත්. වීරං. මහත් වූ සිල් සමුදායෙන් යුත්. මහෙසිං ත්‍රිවිධ මාරයන් දිනු බැවින් විජිතාවිනං කෙලෙස් නැති බැවින් නහාතකං චතුරාර්ය සත්‍යය අවබෝධ කළ බැවින් බුද්ධං තං එබඳු වූ තැනැත්තා බ්‍රාහ්මණයෙකුයි මම කියමි. යන අර්ථයි.
දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග ඵලවලට පත්වූහ.
41. දේවඞ්ගික බ්‍රාහ්මණයාගේ කථා පුවත
“පුබ්බේ නිවාසං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී දේවඞ්ගික බ්‍රාහ්මණයාගේ ප්‍රශ්න පිළිබඳව දේශනා කළහ.
එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වාත ආබාධයෙන් පෙළුණ බැවින්. උණු දිය ටිකක් ගෙන ඒම සඳහා උපවාන තෙරුන් දේවඞ්ගික බ්‍රාහ්මණයා වෙත යැවීය. උන් වහන්සේ බමුණා වෙතට ගොස් බුදුරදුන් ආබාධිත බව පවසා උණු වතුර ඉල්ලුවේ. එය අසා බමුණා සතුටුවූයේ මට ලාභයක් බුදුරජාණන් වහන්සේ උණු පැන් සඳහා ශ්‍රාවකයෙක් එව්වේ. උණු පැන් කදක් සාධා පුරුසයෙකු ලවා යවා උපවාන තෙරුන් අත පැණි මුලක් ද යැවීය. තෙරුන් එය ගෙන්වා ගෙන විහාරයට ගොස් බුදුන් උණු ජලයෙන් නාවා උණු ජලයෙන් පැණි දියකර බුදුන්ට පිරිනැමුහ. එකෙනෙහිම ආබාධය සංසිඳුනි. බමුණා මෙසේ සිතුවේය. කාට යමක් දීමෙන් මහත්ඵල මහානිසංස වේද? බුදුන්ගෙන් මෙය විමසමියි බුදුන්වෙත ගොස් එම කරුණ විමසන්නේ මේ ගාථාව පැවසුවේය.
කඳ පිළිවෙළ දන්න පෙර දින තමන් විසූ
දෙලොව සිටින අය ගැන දිව කණින් ඇසූ
වෙසෙරද නැණින් අරහත් වී කෙලෙස් නැසූ
උතුමෝ බමුණාය සිව් බඹසරින් විසූ
දෙය්‍ය ධර්ම කාටනම් දිය යුතුද කාට දීමෙන් මහත්ඵල මහානිසංස වේද? කෙසේ යාග කිරීමෙන් දක්‍ෂිණාව සමෘද්ධ වේද?
අනතුරුව බුදුහු මෙබදු බ්‍රාහ්මණයෙකුට දීමෙන් මහත්ඵල වේ යයි පවසමින් මේ ගාථාව පැවසුහ.
යමෙක් පෙර විසූ කඳ පිළිවෙල දනීද, දෙලොව. මනුලොව. බඹලොව, අපාය ආදීය දිවැසින් දකීද. තවද අර්හත් ඵලයට පැමිණියේද. විශිෂ්ට ඤාණයෙන් දැන සිවු මගින් කටයුතු නිමකළේද, සියළු කෙලෙසුන්ගෙන් අවසානයයි කියු අරහත් ඵල සංඛ්‍යාත බඹසර වැස නිම කළ ඒ රහතන් වහන්සේ එම බ්‍රාහ්මණ යයි කියමි.
එහි අර්ථය - යො පුබ්බේ නිවාසං - යමෙක් පූර්වේනිවාසය ප්‍රකට කොට විසිහයක් වූ දේව ලෝකාදී සියලු ලෝකයන් දකීද? සග්ගං අපායං - සදෙව් ලොව හා අපාය. දිවැසින් දකීද. අථො ජාතික්චය ඉපැත්ම නැසුමට රහත් ඵලයට පැමිණියේද. අවබෝධ කටයුතු ධර්මය මනාව අවබෝධ කොට. දැනගතයුතු ධර්ම මනාව දැනගෙන සාක්ෂාත් කළ යුතු ධර්ම සාක්ෂාත් කොට, ප්‍රභීණ කළයුතු ධර්ම ප්‍රභීණ කොට, සියලු බඹසර වැස නිමවීම් ඇති. ආසවක්ඛය ප්‍රඥාවෙන් කෙළවරට පැමිණියා වූ, මුනි සියලු කෙලෙස් අවසන් කොට අර්හත් මාර්ග ඥානයෙන් සමන්විතව බඹසර වැසීමෙන් කෙළවරට පැමිණි බැවින් සබ්බ වොසිත වොසානං. බ්‍රාහ්මණං ඒ තැනැත්තා බ්‍රාහ්මණ යයි කියමි - යන අර්ථයි.