36. නාට්‍ය පුත්‍ර බ්‍රාහ්මණයෙක් පිළිබඳ කථා පුවත
“හිත්වා රතිඤ්චාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටිය දී එක් නාට්‍ය බ්‍රාහ්මණයෙක් නිමිති කර ගෙන දේශනා කළහ.
කථා පුවත පෙරසේමය. මෙහිදී බුදුහු මගේ පුත් රතිය ද අරතිය ද දුරු කොට සිටින්නේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
කම් සුවයෙ ආසා - හැරදමා පැවිදිව විත්
උකටලී නොව එහි - මහණදම් රැකි උතුමෝ
වීරියෙන් සව්කෙලෙස් - මැඩ පවත්වන උතුමෝ
බමුණුයයි නම්ලැබ - නීවී සැනසෙති උතුම් නිවනින්
ඇල්ම ද නො ඇල්මද දුරුකළ නිවුන උපධි රහිත කෙලෙස් නැති තැනැත්තා සියලු පව්කම් ලොව ජයගත් වෙර වීරිය ඇති තැනැත්තා ඔහු බ්‍රාහ්මණයෙකි. මම කියමි.
රතිං - පඤ්චකාමයෙහි ඇල්ම අරතී අරඤ්ඤවාසයෙහි උකටලී බව, සීතිභූතං - නිවුන නිරූපං උපධිනැති... කෙලෙස් රහිත. වීරං මෙබඳු සියළු ස්ඛන්ධ ලෝකය මැඩපවත්වා, වීර්ය වඩන්නා සිටින්නා වූ තැනැත්තා බ්‍රාහ්මණයෙකැයි කියමි.
දේශනාව අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත්වුණි.
37-38. වංගීස තෙරුන් පිළිබඳ කථා පුවත
“චුති යො වෙදෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩසිටිය දී වංගීස තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
රජගහ නුවර වංගීස නමින් එක් බ්‍රාහ්මණයෙක් වූයේය. ඔහු මියගිය මිනිසුන්ගේ හිසට තට්ටු කර මොහු නිරයේ ඉපදුණි. මොහු තිරිසන් යෝනියේ ඉපදුණි. මොහු ප්‍රේත ලෝකයේ ඉපදුණි. මොහු මිනිස් ලොව ඉපදුණි මොහු දෙලොව උපන්නේ යයි දන්නේ ය. බමුණෝ මොහු නිසා මුළුලොව රවටා අපේ බඩ වඩා ගත හැකියයි සිතා ඔහු රතු වස්ත්‍ර දෙකක් අන්දවා ජනපදවලට ගෙනගොස් හැසිරෙමින් මිනිසුන්ට කියති. මේ වංගිස නම් බ්‍රාහ්මණ යයි මළ මිනිසුන්ගේ හිස් කබලට තට්ටුකර උපන් තැන දනී. තමන්ගේ මළ ගිය ඥාතීන්ගේ උපන් තැන විමසන්න. පවසයි. මිනිස්සු තමගේ ශක්තිපමණ කහවණු දහසක් කහවණු විස්සක් කහවණු සියයක් දී තම ඥාතීන් උපන් තැන් විමසති. ඔවුන් පිළිවෙළින් සැවැත් නුවරට පැමිණ ජේතවනයට නොදුරේ නවාතැන් ගත්හ. උදේ ආහාර ගෙන මහජනයා ගඳමල් ගත් අත් ඇතිව බණ ඇසීමට යනු දැක කොහේ යන්නේදැයි විමසා බණ ඇසීමට විහාරයට යන්නෙමුයි කීවිට එහි ගොස් කුමක් කරවුද, අපේ වංගිස බ්‍රාහ්මණයා හා සමාන නැත. ඔහු මියගිය මිනිසුන්ගේ හිස් කබලට තට්ටු කර මියගිය අය උපන් තැන කියයි. ඔබගේ මළ ඥාතීන් උපන් තැන් විමසා දනිමු. යයි පැවසුහ. ඔවුහු වංගීස කුමක් දනිද අපේ ශාස්තෘවරයා සමාන නැතැයි කියා විවාදකර අපි මෙය දැන ගනිමුයි ඔවුහුත් රැගෙන විහාරයට ගියාහුය. බුදුහු ඔවුන් ආබව දැනගෙන නිරයේ තිරිසන් යෝනියේ, මිනිස් ලොවේ දෙලොවේ සිව් ස්ථානයක උපන් අයගේ හිස් කබල් ද රහතන් වහන්සේ නමකගේ හිස් කබලක්ද තබා වංගීස විමසා පළමු හිස් කබල ඇති තැනැත්තා නිරයේ උපන් බව පැවසීය. බුදුහු සාධුකාර දී අනුමත කළහ. අනෙක් හිස් කබල් තුන අයිති අය නොවරදවා කී හෙයින් සාධුකාර දී අනුමත කර පස්වැනි හිස පෙන්වා මෙය කාගේදැයි විමසුවේය. ඔහුට පැවසීමට නොහැකිවිය.