15. උග්ගසේන කථා පුවත
“සබ්බ සංයොජනං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩ සිටියදී උග්ගසේන නම් සිටුවරයා නිමිති කරගෙන දේශනා කළ සේක.
මෙහි කථාවස්තුව “මුඤ්ච පුරෙ මුඤ්ච පච්ඡතො” යන ගාථාව විස්තර කිරීමේ දී දක්වන ලදී.
එකල භික්ෂූන් පිරිසක් ශාස්තෲන් වෙත පැමිණ, උග්ගසේන බිය නොවෙමි ආදී අභූත දේ හා අනන් මනන් කියන්නේ යයි දක්වා සිටි කල්හි මා පුත් උග්ගසේන සිඳහල සංයෝජන ඇති, පුද්ගලයකු නිසා බිය නොවේ. යයි වදාරා මේ ගාථාව වදාළහ.
බිඳ දා සසර බැමි
ඉක්ම වූ කෙලෙසුන් ඉමි
සංයෝජනද දැමී
ඔහුම බමුණා කියා පවසමි.
යමෙක් සියළු දස සංයෝජන සිඳදමා තැති නොගෙන සිටින්නේද රාගාදි සංයෝගයන් ඉක්ම වූ. කෙළෙසුන්ගෙන් වෙන් වූ ඒ තැනැත්තා බ්‍රාහ්මණ යයි කියමි.
තත්ථ එහි සබ්බ සංයොජනං - දසවිධ සංයෝජන න පරිතස්සති - තෘෂ්ණාව නිසා බිය නොවේ. තමහං - ඒ මම රාගාදී සංගයන් ඉක්ම වූ සඞ්ගා තිගං - සතර ඕඝ දුරුකළ වූ, තැනැත්තා බ්‍රාහ්මණයයි කියමි.
දේශනය අවසානයේ බොහෝ දෙන මාර්ගඵල ලැබූහ.
16. බ්‍රාහ්මණයින් දෙදෙනා පිළිබඳ කථා පුවත
“ජෙත්වා නන්ධිං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී බ්‍රාහ්මණයින් දෙදෙනෙක් නිමිති කරගෙන දේශනා කරන ලදී.
ඔවුන් අතර එක් අයෙක් චුල්ලරෝහිත නමින් හැඳින්වේ. අනෙකා මහාරෝහිත නම් ඔවුන් එක් දිනක් මගේ ගොනා බලවත්ය ඔබේ ගොනා දුබලයයි විවාද කර අපේ විවාදයෙන් වැඩක් නැත කරත්තය පදවා දැනගන්නෙමුයි අචිරවතී ගංතෙර කරත්ත වැලිවලින් පුරවා ගොණුන් යෙදුහ. මේ අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලාද එහි ස්නානය සඳහා ගොස් සිටියහ. බ්‍රාහ්මණයෝ කරත්ත දෙකේ ගොනුන් බැන්දහ. කරත්තය නිසලවිය. තෝන් ලණුව කැඩුනි. භික්ෂූන් මෙය දැක විහාරයට ගොස් මේ කරුණ දැනුම් දුන්හ. බුදුහු මහණෙනි බාහිර වූ වරපට යම් කෙනෙක් සිඳීද භික්ෂුවක් විසින් ආධ්‍යාත්මික ක්‍රෝධය නැමති යොත සිඳ, තෘෂ්ණා නමැති වරපට සිදීම වටීයයි කියා මේ ගාථාව දේශනා කළහ.
කොරෝදය දුරැලා
තණ්හාව ඇතිවළලා
මිසදිටුව සිඳලා
ඇත්ද ඔහු බමුණාය කියලා
යම්කෙනෙක් සියළු දස සංයෝජන දුරුකොට සිටි හෙයින් ඒකාන්තයෙන් නැති නොගත්තේද ක්‍රෝධය නැමති දැඩි රැහැන ද තෘෂ්ණා නැමති වරපටද සප්තානුශයන් සහිතවු දෙ සැප මිත්‍යාදෘෂ්ටිය නැමති යදමද සිඳ දමා උදුරා දැමු අවිද්‍යා නැමති හිඳි පළිඝ ඇති සව්සස් දන්නා වූ තැනැත්තා බ්‍රාහ්මණ නමින් මම හඳුන්වමි.
එහි නන්ධිං යනු පමුණුවන නිසා පවතින ක්‍රෝධයයි වරන්තන්ති බැදීම් වශයෙන් පවතින තෘෂ්ණාවයි. සන්දාහමං සහනුක්ක මං යනු අනුශය අනුක්‍රම සහිත දෙසැටක් මිථ්‍යාදෘෂ්ටි නම් මේ සියල්ල සිඳදමා, අවිජ්ජා පලිඝය උක්ඛිත්ත පලිඝං බ්‍රාහ්මණං චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් හෙයින් “බුද්ධං බ්‍රාහ්මණං” බ්‍රාහ්මණ යයි කියමි යන අර්ථයි.
මේ දෙසුම අවසන පන්සියයක් භික්ෂුහු රහත් බැවින් පිහිටියහ. පැමිණි අයටද දෙසුම සාර්ථක විය.
17. අක්කෝස හාරද්වාජ පිළිබඳ වූ කථා පුවත
“අක්කොසං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටිය දී අක්කෝස භාරද්වාජ නිමිති කරගෙන දේශනා කළහ.
ඔහුගේ සොහොයුරා භාරද්වාජ බමුණාට ධනඤ්ජානි නම් වූ බැමිණියක් වුවාය. ඕ තොමෝ සෝවාන් වූ තැනැත්තියකි. ඕ කිවිසුම් යන විටද - කසින විටද පැකිළෙන (හැපෙන) විටද “නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යන මේ උදානය පවසයි. ඇය එක් දිනක් බමුණා ආහාර ගන්නා විටකදී පැකිළී (හැපී) මහ හඩින් එලෙසම උදානය පැවසුවාය. බමුණා කිපී වසලිය තී එතැන මෙතැන හැපී ඒ මුඩු මහණගේ ගුණ කියයි. කියා වසලිය දැන් මම එහි ගොස් තිගේ ඒ ශාස්තෘවරයාට වාදය ආරෝපණය කරන්නෙමියි වාද ආරෝපණය කර ඔහු පරදවමියි කීය එසේ නම් යන්න බමුණ ! මම ද ගොස් බලාසිටිමි. යම් කෙනෙක් බුදුන්ට වාදනගාද දිනු කෙනෙක් නැත තාද එහි ගොස් වාදනගවා ඔහු බුදුන් වෙත ගොස් නොවැඳ එකත්පස සිටියේ ප්‍රශ්න අසමින් මෙම ගාථාව පැවසීය.
කුමක් නිසා සුවසේ සිටීද කුමක් නිසා ශෝක නොකෙරේද කවර එක ධර්මයක්හු නැසීම යහපත්ද?
ක්‍රෝධය නසා සුවසේ සිටී. ක්‍රෝධය නසා ශෝක නොකෙරේ. විෂක් බඳු වූ විපතට මුල් වූ ක්‍රෝධය නැසීමම ආර්යයෝ පසසති එයද දමා ශෝක නොකරති.
ඔහු බුදුන් කෙරෙහි පැහැදී පැවිදි වී රහත් බවට පත්වුණි. අනතුරුව ඔහුගේ බාල සොහොයුරා ද භාරද්වාජ ද සහෝදරයා පැවිදිවී යයි අසා කිපී අවුත් බුදුන්ට අසභ්‍ය වූ ඵරුස වචනවලින් නින්දා කළේය. ඔහුද බුදුන්ගේ ආගන්තුකයින් විසින් ගෙනා දෙයක් බාර නොගන්නා උපමාව දක්වා සැසඳු විට බුදුන් කෙරෙහි පැහැදී පැවිදි වී රහත් බවට පත්වුණි. අනෙක් සුන්දරික භාරද්වාජද විලිඞ්ගක භාරද්වාජද යන කණිටු සහෝදරයන් දෙදෙනා බුදුන්ට ආක්‍රෝෂ කරන්නට අවුත් බුදුන් විසින් හික්මවා පැවිදි කරවා රහත්බවට පත්වුණි.