5. ධම්මාරාම තෙරුන් පිළිබඳ කථා පුවත
“ධම්මාරාමොති යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩසිටියදී ධම්මාරාම නම් භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.
බුදුරජාණන් වහන්සේ මෙයින් සිව්මසකට පසුව පිරිනිවන් පාන්නෙමියි දැනුම් දුන්විට නොයෙක් දහස්ගණන් භික්ෂූන් බුදුන් පිරිවරා හැසිරුනාහුය. එහි පුහුදුන් අයට කඳුළු ධාරා මැඩ ගැනීමට නොහැකිවුහ. රහතන් වහන්සේලාට ධර්ම සංවේගය ඇතිවිය. සියල්ලෝම කුමක් කරමුදැයි කණ්ඩායම් බෙදෙමින් හැසිරෙති. එක් ධම්මාරාම නම් භික්ෂුනමක් භික්ෂූන් සමඟ හැසිරිමට නොගියේය. භික්ෂූන් ඇවැත්නි කුමක් දැයි විමසන විටද පිළිතුරු ද නොදී - මෙලෙස සිතුවේය. තථාගතයන් වහන්සේ සිව්මසකින් පිරිනිවන් පාන සේක. බුදුන් වැඩසිටියදීම උත්සාහ දරා රහත් බවට පත්වන්නෙමි. මෙලෙස සිතා හුදකළා වී හැසිරෙමින් බුදුන් දෙසූ ධර්මය ආවර්ජනා කරයි. සිතයි. සිහිපත් කරයි. මේ බව භික්ෂූන් වහන්සේලා බුදුන්ට දැනුම් දුන්හ.
ස්වාමීනි! ධම්මාරාම භික්ෂුව ඔබවහන්සේ කෙරෙහි ස්නේහ මාත්‍රයක් හෝ නැත්තේය. බුදුහු පිරිනිවන් පාන්නාහ. කුමක් නම් කරන්නවුදැයි අප විසින් සම්මන්ත්‍රණය කරමින් සිටිමු. ඔහු එයට සහභාගි වන්නේ නැත. බුදුහු ඔහු ගෙන්වා සැබෑදැයි විමසුහ. සැබෑය ස්වාමීනි. කුමක් නිසාද? ස්වාමීනි ඔබවහන්සේ සිව්මසකින් පිරිනිවන් පාන්නාහ. මම අවීතරාගී වෙමි. ඔබ වහන්සේ වැඩසිටියදීම අර්හත්වයට පැමිණෙන්නෙමියි ඔබ වහන්සේ දේශනා කළ ධර්ම මෙනෙහි කරමින් සිටිමි. එම ධර්ම සිහිපත්කරමි.
බුදුහු සාධු සාධු යනුවෙන් සාධුකාර දී මහණෙනි මට ස්නේහ ඇති භික්ෂූන් විසින් ධම්මාරාම මෙන් විය යුතුය. මල් ගඳ විලවුන්වලින් පුජා කිරීම මට කරන පූජාව නොවේ. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියම මට කරන පුජාවයි. පවසා මෙම ගාථාව පැවසුහ.
දහමෙහිම රිසි ඇතිව - දහමෙහි ඇලෙන මහණහු
සමත විදසුන් වඩමින් - දහමින් නො පිරිහේ මැයි.
ධර්මය සොයන ධර්මයේ ඇලුන ධම්මාරාම ධර්මය සිහිකරන භික්ෂුව දහමින් නොපිරිහේ.
එහි නිවසන තැනින් සමථ විපස්සනා ධර්මය සේවනය නිසා ධම්මා රාම නම් එහිම ධර්මයේ ඇලුනේ ධම්ම රත නම් වේ. ධර්මයට නැවත නැවත සිතන නිසා ආවර්ජනය කරන්නේ සිහිකරන්නේ යන අර්ථයි ධම්මං අනුවිචින්තයං යමෙක් ඒ ධර්මය ආවර්ජනා කරන්නේද, සිහිකරන්නේද යන අර්ථයි. අනුස්සරං ධර්මයම සිහිපත් කරන්නේ, සදධම්මා මෙබඳු භික්ෂුව සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නව විධ ලෝකෝත්තර ධර්මය යන්ගෙන් නොපිරිහේ යන අර්ථයි.
දේශනා කෙළවර එම භික්ෂුව රහත් බවෙහි පිහිටියේය. පැමිණ අයටද සාර්ථක දේශනයක් විය.
6-7. විපක්ෂ සේවක භික්ෂුවගේ කථා පුවත
“සලාභන්ති” - යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනා රාමයේ වැඩසිටිය දී එක්තරා විපක්‍ෂ සේවක භික්ෂුවක් නිමිති කරගෙන මෙම ගාථාව දේශනා කළහ.
දේවදත්ත පාක්‍ෂික භික්ෂුවක් සහායක වුයේය. ඔහු එම භික්‍ෂූන් සමග පිණ්ඩපාතයේ හැසිරි කරන ලද බත්කිස ඇත්තේ එනු දැක කොහි ගියේදැයි විමසුවේය. අසවල් තැන පිණ්ඩපාතයේ හැසිරුණෙමි. ඔබට පිණ්ඩ පාතය ලැබුණේද? එසේය ලැබුණි. මෙහි අපට මහත් ලාභසත්කාර ඇත. දින කීපයක් මෙහිම ඉන්නැයි පැවසුවේය. ඔහු එම භික්ෂුවගේ වචනයෙන් දින කීපයක් එහි වාසය කර තම ස්ථානයටම ගියේය. අනතුරුව භික්ෂූන් ස්වාමීනි මෙම භික්ෂුව දෙව්දත් තෙරුන්ට උපන් ලාභ සත්කාර පරිභෝග කරයි. මොහු දේවදත්ත පාක්‍ෂිකයෙකියි තථාගතයන් වහන්සේට දැනුම් දුන්හ. ඔහු කැඳවා භික්ෂුව ඔබ එසේ කළේදැයි? බුදුරදුහු විමසුහ. එසේය ස්වාමීනි මම එහි ලාබාල භික්ෂුනමක් නිසා දින කීපයක් එහි වාසය කළෙමි. එහෙත් දෙව්දත් තෙරුන්ගෙන් ලත් දෙය රුචි නොකරමි. ඉක්බිති බුදුරදුන් ලැබූ කිසිවක් ඔබ රුචි නොකළේද? දුටු දුටු අයගේ දේ ලබනු රිසිව හැසිරෙන්නේ ඔබ දැන් පමණක් නොව මෙබඳුදේ පෙර භවයේ දීද කරන ලදී. දැන් ස්වාමීනි ඔහුගේ ක්‍රියා දුටුවේ පෙර භවයේදී මෙලෙස අන් අයගේ දේ රුචි කළේ යයි යන්න පැහැදිලි කරන ලෙසට ඉල්ලා සිටිය නිසා අතීත කථාව ගෙන හැර දැක්වුහ -