4. කෝකාලික පිළිබඳ කථා පුවත
“යො මුඛ සඤ්ඤතොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී කෝකාලික භික්ෂුව නිමිති කරගෙන දේශනා කළහ.
කතා පුවත - ඉක්බිති කෝකාලික භික්ෂුව බුදුන් යම්තැනක ද එතැනට එළඹුනි. සුත්‍රයේ සඳහන් ලෙසට අර්ථය ද අටුවාවේ කියන ලද පරිදි දැනගත යුතුය.
කෝකාලික භික්ෂුව පදුම නිරයේ උපන් විට ධර්ම සභාවේ කථාවක් උපන. අහෝ කෝකාලික භික්ෂුව තමන්ගේ කට නිසා විනාශයට පත්වූයේ දෑගසව්වන්ට ආක්‍රෝෂ කරද්දිම පොළොව විවර වුයේය. ශාස්තෲන් වහන්සේ පැමිණ. මහණෙනි කිනම් කථාවකින් යුතුව සිටියේ දැයි විමසා කෝකාලික ගැන බව සඳහන් කළවිට මහණෙනි දැන් පමණක් නොව කෝකාලික පෙරද තම කට නිසා විනාශ වූයේ යයි පවසා එම කථාව අසනු කැමති භික්ෂුගේ ඉල්ලීම අනුව එය පැවසීමට අතීත කථාව දැක්වූහ.
යටගිය දවස හිමවත් පෙදෙසේ එක් විලක ඉදිබුවෙක් වාසය කරයි. හංස පෝතකයින් දෙදෙනෙක් ගොඳුරු සඳහා හැසිරෙන්නේ ඔහු හා විශ්වාසවන්ත බවට පත්විය. දැඩිලෙස විශ්වාසවන්ත වු ඔහු එක් දිනක් ඉදිබුවාගෙන් මෙසේ විමසුහ. යහළුව! අප වසන හිමාලයේ චිත්‍රකූට පර්වත තළාවේ රන් ගුහාවේ වසන තැන රමණීය වේ. එතැනට අප හා යන්නේද? මම කෙසේ යන්නද? අපි ඔබට ගෙනයන්නෙමු. එහෙත් කට රැකගන්නේ නම් පමණි. යාළුවනි කට රැක ගන්නෙමි රැගෙන යන්නැයි කීවේය. ඔවුන් දෙදෙනා යහපතැයි කියා එක දණ්ඩක් කටට දී ඉදිබුවාලවා එය සපාගන්නට කියා හංසයින් දෙදෙනා කෝටුවේ දෙකෙළවර හොටවලින් ඩැහැගෙන අහසට නැගුනාහුය. ගම් දරුවෝ හංසයන් විසින් මෙලෙස ගෙනයනු ලබන ඉදිබුවා අතර මගදී දැක හංසයන් දෙදෙනෙක් ඉදිබුවෙක් දණ්ඩකින් උසුලා යතියි කිවාහුය. ඉදිබුවා ඉදින් මගේ යාළුවෝ මා ගෙනයති දුෂ්ට කොල්ලනි තොපට මොකදැයි විමසීමට කියනු කැමතිව කට ඇරියේය. හංසයන්ගේ ශීඝ්රවේගය නිසා බරණැස නගරයේ රජ මැදුරේ උඩට පැමිණි අවස්ථාවේදී කටින් අල්ලාගෙන සිටි තැනින් දන්ඩෙන් ගැලවී රජ මිදුලේ වැටී දෙකට බිඳුනි. තථාගතයන් වහන්සේ මේ අතීත කථාව ගෙන හැර දැක්වීය -
1. ඉබ්බා කතා කිරීමට යාමෙන් ඒකාන්තයෙන් තමන් විසින් නැසිනි. මුවින් මනාකොට ගත දඩු කැබැල්ල අතහැරීම නිසා තමාගේ තෙපුලම තමා නැසීය.
2. ශ්‍රේෂ්ඨ වු මහරජ, මේ කාරණය දැක කුසල සහගත වු ඇත්ත කතාවම සුදුසු තන්හිම කිවයුතුය. නුසුදුසු තැන බොහෝ කොට බිනීමෙන් ඉබ්බා නැසුනු බව දන්නෙහිය.
මෙය දුක නිපාතයේ බහු භාණී (කච්ඡප) ජාතකය විස්තර කර මහණෙනි භික්ෂුවක් නම් කය සංවර කර උඩඟුනොවී නිවුන සිතින් සිටිය යුතුය යි කියා මේ ගාථාව පැවසුවේය.
කට ප්‍රවේශම් කරගත්, පමණ දැන කථාකරන සුළු සන්සුන් සිතැති යම් මහණෙක් අර්ථයද ධර්මයද කියන්නේද ඔහුගේ වචන මිහිරිය.
එහි මුඛසඤ්ඤතොති - දාස සැඩොල් ආදී දුදනෝ දුර්ජනයෙකි නුඹ දුශ්ශීලයෙකි ආදීය නොකීමට මුවින් සංවර විය යුතුය. මත්තභාණි මත්තා යනු ප්රඥාවයි. ප්‍රඥාවෙන් කථා කරනුයේ මන්තභාණී අනුද්ධතොති - නිවුන සිතයි. අත්ථං ධම්මංච දීපනති - කියන ලද දේශනාව ධර්මය විය යුතු මධුරනති - මෙබඳු භික්ෂුවකගේ කියන වචනය මිහිරි වේ. යමෙක් වනාහි අර්ථයම සම්පාදනය කරයි ද පෙළ අරුත පෙළ දහම අරුතට ගැළපෙන සේ මනාව පැවසීම මිහිරි නම් වේ.
දේශනාව අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
5. ධම්මාරාම තෙරුන් පිළිබඳ කථා පුවත
“ධම්මාරාමොති යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩසිටියදී ධම්මාරාම නම් භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.
බුදුරජාණන් වහන්සේ මෙයින් සිව්මසකට පසුව පිරිනිවන් පාන්නෙමියි දැනුම් දුන්විට නොයෙක් දහස්ගණන් භික්ෂූන් බුදුන් පිරිවරා හැසිරුනාහුය. එහි පුහුදුන් අයට කඳුළු ධාරා මැඩ ගැනීමට නොහැකිවුහ. රහතන් වහන්සේලාට ධර්ම සංවේගය ඇතිවිය. සියල්ලෝම කුමක් කරමුදැයි කණ්ඩායම් බෙදෙමින් හැසිරෙති. එක් ධම්මාරාම නම් භික්ෂුනමක් භික්ෂූන් සමඟ හැසිරිමට නොගියේය. භික්ෂූන් ඇවැත්නි කුමක් දැයි විමසන විටද පිළිතුරු ද නොදී - මෙලෙස සිතුවේය. තථාගතයන් වහන්සේ සිව්මසකින් පිරිනිවන් පාන සේක. බුදුන් වැඩසිටියදීම උත්සාහ දරා රහත් බවට පත්වන්නෙමි. මෙලෙස සිතා හුදකළා වී හැසිරෙමින් බුදුන් දෙසූ ධර්මය ආවර්ජනා කරයි. සිතයි. සිහිපත් කරයි. මේ බව භික්ෂූන් වහන්සේලා බුදුන්ට දැනුම් දුන්හ.
ස්වාමීනි! ධම්මාරාම භික්ෂුව ඔබවහන්සේ කෙරෙහි ස්නේහ මාත්‍රයක් හෝ නැත්තේය. බුදුහු පිරිනිවන් පාන්නාහ. කුමක් නම් කරන්නවුදැයි අප විසින් සම්මන්ත්‍රණය කරමින් සිටිමු. ඔහු එයට සහභාගි වන්නේ නැත. බුදුහු ඔහු ගෙන්වා සැබෑදැයි විමසුහ. සැබෑය ස්වාමීනි. කුමක් නිසාද? ස්වාමීනි ඔබවහන්සේ සිව්මසකින් පිරිනිවන් පාන්නාහ. මම අවීතරාගී වෙමි. ඔබ වහන්සේ වැඩසිටියදීම අර්හත්වයට පැමිණෙන්නෙමියි ඔබ වහන්සේ දේශනා කළ ධර්ම මෙනෙහි කරමින් සිටිමි. එම ධර්ම සිහිපත්කරමි.