14. ඛේමා තෙරණියගේ කථා පුවත
“යෙ රාග රත්තා ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටියදී ඛේමා නම් බිම්බිසාර රජුගේ අගමෙහෙසිය නිමිති කරගෙන දේශනා කළහ.
ඇය වනාහි පදුමුත්තර බුද්ධපාද මූලයේ පතන ලද ප්‍රාර්ථනය නිසා ඉතාම අභිරූපී ප්‍රාසාදික ස්ත්‍රියක් වුවාය. බුදුහු රූපයේ දොස් කියතියි අසා බුදුන් හමුවට යාමට නොකැමති වුවාය. රජු ඇගේ රූප මදභාවය දැනගෙන වේවනාරාමය වර්ණනා කරන ගීත රචනා කර කාව්‍යකරුවන් ආදීන්ට දෙවීය. ඔවුන් ගේ ඒ ගී ගායනා අසා තමන් නොදුටුවිරූ නොඇසු විරූ වේළුවනය පිළිබඳව ආශාවක් ඇයට ඇතිවිය. ඇය කවර උයනක් පිළිබඳව ගයන්නේදැයි අසා දේවිය ඔබගේ වේළුවන උයන පිළිබඳ වයයි පැවසුවිට උයනට යනු කැමැති විය. බුදුරජාණන් වහන්සේ ඇගේ පැමිණිම දැන ගෙන පිරිස මැද සිට ධර්මය දේශනා කරමින්ම - තල් වටක් ගෙන තමා පසුපස සිට පවන් සලන ඉතා අභිරූපී කාන්තාවක් මැවීය. ඛේමා දේවිය ඇතුළුවන විටම එම ස්ත්‍රී රූපය දැක සිතුවාය. තථාගතයන් වහන්සේ රුපයේ දොස් කියතියි පවසති මේ ස්ත්‍රිය උන්වහන්සේ අසල සිට පවන් සලයි. මම ඇගේ රුවෙන් අඩකටවත් නොගැළපේ. මෙතරම් අභිරූපී කාන්තාවක් මම කිසිදා දැක නැත. බුදුරජාණන් වහන්සේට අභූත අසත්‍ය චෝදනා නගතියි සිතමි. මෙසේ සිතා බුදුන්ගේ කටහඩවත් නො අසා එම ස්ත්‍රිය දෙසම බලමින්ම සිටියාය. බුදුහු ඇගේ සිත්හසර බලා ඛේමාවනි ! ඔබ රූපයේ සාරයක් ඇතැයි සිතන්නීය. බලන්න ඇගේ නිසරුබව කියා මේ ගාථාව දෙසුහ -
ඛේමාවනි! ඉතා අපිරිසිදු වූ ලෙඩ බහුල වූ. කුණු සැරව වැගිරෙන්නා වූ මේ සිරුර බලන්න. බාලයෝ මේ නිසරු වූ සිරුර ප්‍රාර්ථනා කරති.
ඇය ගාථාව කෙළවර සෝවාන් ඵලයෙහි පිහිටියායි අනතුරුව තථාගතයන් වහන්සේ ඛේමාවනි ! මේ සත්ත්වයෝ රාගයෙන් රත්වූවෝ ද්වේශයෙන් දුෂිත වූවෝ මෝහයෙන් මුලාවුවෝ තමන්ගේ තෘෂ්ණා ගඟ ඉක්මවීමට නොහැකි වෙති. එහිම ඇලෙති පවසා මේ ගාථාව දේශනා කළහ.
මකුළුවකු තමන් කළ දැල තුළම පටලැවී
සිටින මෙන් රාගයෙන් රන්ව දන මේ ලොවේ
දුක් විඳින අතර තුර නුවණ ඇති තැනැත්තේ
සියලු දුක් බිදැර දා නිවන්සුර සැපත් වේ.
එහි මක්කටකොව ජාලන්ති යම් සේ මකුළුවෙක් නුල් දැල එලා ඒ දැල මැද නාභි මණ්ඩලයේ සිටින්නේ, දැලට වැටෙන්නා වූ මැස්සෙක් හෝ මඳුරුවෙක් හෝ වේගයෙන් අවුත් දැලේ රැඳුනු විට මකුළුවා වේගයෙන් අවුත් ඌ විද ඒ සතාගේ රසඕව බී නැවත ගොස් එතැනම නොවී. මෙසේම රාගයෙන් රත් වූ ද්වේෂයෙන් දුෂිතවූ. මෝහයෙන් මුළා වූ, සයංකතං තෘෂ්ණාව සොතං අනුපතං ඔහුට එය සමනය කරන්නට නොහැකිවේ. මෙසේ මුදාගන්නට නොහැකිවේ. එතමපි ඡෙත්වාන වදනතධීරා පණ්ඩිතයෝ, එතං මෙසේ දැඩිව ගත් බන්ධන සිඳ, අනපෙකඛිතො ආශාවන්ගෙන් ඈත් වී. අරහත් මගින් සියලු දුක් අවසන් කොට දුරුර නිවනට පැමිණෙත් යන අර්ථයි.
මේ දෙසුම අවසන බේමා බිසව රහත්බවට පත්වුනි. මහජනයාටද දේශනය සාර්ථක විය. බුදුරදුන්ද මහරජුට මෙසේ පැවසුහ. ඛේමා පැවිදි වීමට හෝ පිරිනිවන් පෑම සුදුසු වේ. ඇය පැවිදිවි අග්‍රශ්‍රාවිකා වුවාය.
15. උග්ගසේන සිටුපුත්‍රයාගේ කථා පුවත
“මුඤ්ච පුරෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනා රාමයේ වැඩසිටියදී උග්ගසේන නිමිතිකරගෙන දේශනා කළහ.
පන්සියයක් නළුවෝ - සංවත්සරයේ දී හෝ සමසකින් හෝ පැමිණිවිට රජගහ නුවරට ගොස් රජු ඉදිරියේ දින හතක් උත්සව කොට බොහෝ රන් මසුරන් ලබත් මේ අතර පිනුම් ගසන්නන්ගේ ද කෙළවරක් නැත. මහජනයා මැසි පිට මැසි බැඳ ඒ මත සිට සැණකෙළිය බලත්. මේ අතර එක් නළුවෙකුගේ දුවක් උණ ගසකට නැග එහි උඩ පෙරළි එහි කෙළවර අහසේ සක්මන් කරමින් නටයි. ගයයි මේ අවස්ථාවේ උග්ගසේන නම් සිටු පුත් සිය මිතුරා සමග උඩ බැඳි ඇදක සිට ඒ නැටුම බලා ඇගේ අත්පා විසුරැවාලීම් කෙරෙහි උපන් නො ඇත්තේ ගෙට ගොස් ඇය ලැබුනොත් ජීවත් වෙමි. නොලැබෙන්නේ නම් මෙහිම මැරෙමි. ආහාර වර්ජනය කර ඇදේ වැතුරුනි. මවු පියන් විසින් දරුව ඔබට කුමක් රුචි වේදැයි විමසා ඒ නිළි යුවතියම ලබන්නේ නම් ජීවිතය ඇත. නො ලබන්නේ නම් මෙහිම මැරෙමි කීය. දරුව එසේ නොකරන්න. අපගේ කුලයට ද භෝගයන්ට ද සුදුසු වු කුමරියක ගෙන එන්නෙමුයි පැවසුවද එලෙසම කියා නිදාගත්තේය. අනතුරුව ඔහුගේ පියා බෙහෙවින් ආයාචනා කළද ඔහු දැනුවත් කිරිමට නොහැකිව. ඔහු ගේ මිතුරා කැඳවා කහවණු දහසක් දී මේ කහවණු ගෙන තම දියණිය මගේ පුතුට දෙන්නැයි නළුවන්ට පණිවිඩය යැව්වේය. ඔහු (නළුවා) කහවණු ගෙන නො දෙමි. ඉදින් ඔහුට මැය ලබානොගෙන ජීවත් වීමට නොහැකිනම් ඒ නිසා ඔහු අප සමගම හැසිරේවායි ද එවිට දුව දෙන්නේ යයි ද පැවසුවේය. දෙමව්පියෝ මේ කරුණ පුතුට දැන්වුහ. ඔහු මම ඔවුන් සමග හැසිරෙන්නෙමියි කියා දෙමාපියෝ ඇවිටිලි කරද්දිම ඔවුන්ගේ කථා නොපිළිගෙන ගෙයින් නික්මී නළුවාගේ ළඟට ගියේය. ඔහු ඔහුගේ දුව දී ඔහු සමගම ගම් නියම්ගම් රාජධානිවල ශිල්ප දක්වමින් හැසිරුනේය.