16. ඒක විහාරික තෙරුන් පිළිබඳ වු කථා පුවත
“එකාසන්නති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී ඒක විහාරික තෙරුන් නම් තෙරනමක් නිමිති කරගෙන දේශනාකළහ.
එම තෙරුන් වහන්සේ වනාහි එකලාව සයනය කරති. එකලාව තනියම වාඩිවෙති. එකලාව සක්මන් කරති. තනියම සිටිතියි. සිවුපිරිස අතර ප්රසිද්ධවිය. අනතුරුව ඉක්බිති භික්ෂූන් වහන්සේලා මෙබඳු ස්වරූප ඇති තෙරනමක් සිටීයයි බුදුන්ට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ සාධු - සාධ - යයි සාධුකාර දී භික්ෂූන් නම් විවේකී විසිය යුතුය. විවේකයෙන් සිටියයුතුයයි විවේකයේ අනුසස් කියා මේ ගාථාව පැවසුහ.
පිරිස් මැද වූවද
කරදර කෙත්තෙක් ආවද
තමන් තනිවම හිද
තම කමටහන වැඩුමද
එකලාව හැසිරෙමින්
තමන් දමනය තමා කරතොත්
ඒ මහණහු ලොවේ
උතුම් මහණෙක් වේමැයි.
කරදර කෙත්තෙක් ආවද
තමන් තනිවම හිද
තම කමටහන වැඩුමද
එකලාව හැසිරෙමින්
තමන් දමනය තමා කරතොත්
ඒ මහණහු ලොවේ
උතුම් මහණෙක් වේමැයි.
ආත්ම දමනය කරන තැනැත්තා තනිව හිදීම, තනිව ගෙවීම, තනිව හැසිරීම, කරන්නේය. නො මැළි වුයේ තනිවම හැසිරෙන්නේය. දුර වනයේම ඇලුණක් වන්නේය.
එහි එකාසනං එකසෙය්ය භික්ෂූන් වහන්සේලා දහසක් මැද වුවද මුල කර්මස්ථාන අත්නොහැර එම මනසිකාරයෙන්ම සිටින තැනැත්තා ඒකාසන නම් වේ. ලෝහ ප්රාසාදය සමාන වු ප්රාසාදයක භික්ෂූන් දහසක් මැද පනවන ලද විසිතුරු ඇතිරිලිවලින් යුත් මාහැගි සයනයේ වුවද - සිහිය පිහිටුවාගෙන දකුණු ඇලයෙන් මූල කර්මස්ථාන සිහිකරමින් නිදන භික්ෂවට එක සෙය්යවම මෙබඳු ඒකාසනයම ඒක සෙය්යවම භජනය කරයි යනු අර්ථයි. අතන්දිතො දණහිස් වල බලය නිසා දිවි ගෙවීමට කුසීන නොවී සිව් ඉරියව්හී හුදෙකලාවම හැසිරේයන අරථයි. එකොදමයන්ති - රාත්රි ස්ථාන ආදියේ කමටහන්වල යෙදී මාර්ග ඵල ආදී වශයෙන් එකලාව ආත්මය දමනය කරමි යන අර්ථයි. වනනෙන රමිතො සියා - මෙසේ තමන් දමනය කරන්නේ ස්ත්රී පුරුෂ ආදීන්ගෙන් වෙන්වු විවේකී වු වනයෙහි ඇලුනේ වෙයි. බොහෝ අය වාසය කරන ජනාකීර්ණ වු විහාරයක ආත්ම දමනය කිරීම අපහසුය යන අර්ථයි.
දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පැමිණියහ. එවක් පටන් උන්වහන්සේ ඒකවිහාරියයි ප්රසිද්ධවිය.
ප්රකීර්ණක වර්ග වර්ණනය නිමාවිය.
විසිඑක් වැනි වර්ගයයි.
22. නිරය වර්ගය
1. සුන්දරී පරිබ්බාජිකාවගේ කථා පුවත
“අභූත වාදිති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම වැඩසිටියදී සුන්දරී පරිබ්බාජිකාව නිමිති කරගෙන දේශනා කළහ.
මහා ජනයා විසින් බුදුරජාණන් වහන්සේ සත්කාර කරන ලද්දේ ගරු බුහුමන් කරන ලද්දේ පුදන ලද්දේ වුහ. වැඩි විස්තර උදාන පාලියේ සඳහන් පරිදිය. මේ කෙටි විස්තරයයි. භාග්යවතුන් වහන්සේට මෙන්ම භික්ෂු සංඝයාටද පහ නදියේ සැඩ දිය පහරසේ ලාභ සත්කාර ලැබෙන විට එලෙස ලාභ සත්කාර නොලැබ අස්නියට පත්වු අන්යතීර්ථකයෝ සුවය උදාවේදී කලාමැදිරියන් සේ ප්රභාරහිතව ගියාහුය. අපි සිටින බවක් වත් කිසිවෙක් නොදනී. කෙසේ නම් කවුරුන් හෝ සමග එකතුවී භවත් ගෞතමයන්ට නින්දා අපහාස අත්කර ලාභ සත්කාර අතුරුදහන් කරන්නේදැයි කථාකරන්නට වුහ. මෙසේ කථාකරන අතර මෙබඳු අදහසක් ඇතිවිය. සුන්දරිය සමග එකතුවී හැකිවෙතැයි සිතූහ. මේ අතර එක් දිනක් සුන්දරී පරිබ්බාජිකාව තීර්ථකාරාමයට පැමිණ වැඳලා සිටියත් තීර්ථකයෝ ඇය සමග කථා නො කළහ. ඇය නැවත නැවත කථාකරන්න වුවද ප්රතිවචනයක් නොලැබ ආර්ය කවර හේතුවක් නිසා මෙසේ මුසුප්පු වන්නේද, වෙහෙසන්නේදැයි විමසුවාය. ඇයි නැගණිය ගෞතමයන් අපව පෙලා, අපට ලැබෙන ලාභ සත්කාර පිරිහෙලා ඇති බව ඔබ නොදන්නීද? ඉතින් ම විසින් මෙහිදී කුමක් කළ යුතුද නැගණිය ඔබ රූමත්ය. සෝභාවත්ය. භවත් ගෞතමයන්ට අපකීර්තිය ඇතිකොට මහජනයා ඔබගේ කථාවට නම්මවා ගෙන, ග්රහණය කරගෙන, ඔහුට ලාභසත්කාර නැතිවන තැනට කටයුතු කරන්නැයි පැවසුහ. ඇය යහපතැයි පිළිගෙන එතැන් පටන් සුන්දරිය මද විලවුන් කපුරු කකුල් ආදිය ගෙන්වාන්ගෙන, මහාජනයා ශාස්තෲන් වහන්සේගෙන් බණ අසා ගෙවල් වලට යන සවස් කාලයේ, ඔවුන්ට පෙනෙන සේ ජේතවනාරාම ය දෙසට යයි. කොහේ යත්දැයි විමසුවිට භවත් ගෞතමයන් වෙතයයි ද ඔහුසමග මම එකම ගඳකිළියේ වසමුයි ද කියා, අන් තීර්ථක ආරාමයක සිට උදැසනම දෙව්රම් මාවතට පිවිස නගරය දෙසට ගමන් කරයි. මිනිසුන් .......... සුන්දරිය කොහේ ගියේ දැයි විමසනවිට - මම භවත් ගෞතමයන් හා එක ගඳකිළියේ සිට ඔහු රමණයෙන් සතුටුකොට ආපසු එමියි පවසයි.