4. කුම්භඝෝෂක වස්තුව
උට්ඨානවතො ආදි මේ ධර්ම දේශනාව බුදුරදුන් වේළුවන විහාරයෙහි වසන සමයෙහි කුම්භඝෝෂක අරභයා දේශනා කරනලදි. රාජගෘහයෙහි රජගහ සිටුහුගේ ගෙදර අභිවාතක නම් රෝගය ඇතිවිය. ඒ රෝගය හටගත් කල මැස්සන් ආදිකොට ගවයන් දක්වා සියලු තිරිසන්සත්තු මිය යති. ඉන්පසු දැසිදස්සෝද සියල්ලන්ට පසුව ගෙහිමියෝද මියයති. එහෙයින් ඒ සියල්ලන්ට පසුව සිටුවරයාත් ඔහුගේ බිරිඳත් රෝගාතුර වූහ. රෝගයෙන් පෙළුණු ඔවුහු, ළඟ සිටි පුතා දෙස කඳුළු පිරි දෙනෙතින් බලා ඔහු අමතා මෙසේ කීහ. පුතණුවනි, මේ රෝගය වැළඳුණු විට බිත්ති බිඳගෙන පලායන්නෝ ජීවත්වෙති. ඔබ අප ගැන නොසලකා පලාගොස් ජීවත් වී නැවත අවුත් අසවල් තැන නිධන් කොට ඇති සතළිස්කෙළක් ධනය උපුටා (උඩට රැගෙන) ජීවත් වන්න. හෙතෙම ඔවුන්ගේ බස් අසා හඬමින් මවුපියන් වැඳ මරණභයින් බියපත්ව බිත්ති බිඳගෙන පර්වතගහනයකට පලාගොස් දොළොස්වසක් එහි වාසය කොට ආපසු ආවේය.
ඉක්බිති ළමාකාලයේ ගොස් දැළි රැවුල් ඇතිව පැමිණි ඔහු කිසිවකුත් හැඳින නොගත්තෝය. හෙතෙම මවුපියන් දුන් සලකුණු අනුව ධනය ඇති තැනට ගොස් ධනය සුරක්ෂිත බව දැනගෙන මෙසේ සිතීය. මෙහි කිසිවක් මා නොහඳුනති. ඉතින් මම මේ ධනය උපුටා එය පරිහරණය කරතොත්, මෙහි එක් නිර්ධන එකෙක් නිධානයක් හාරා ගත්තේ යයි මා අල්වා මට හිංසා පීඩා කළ හැකිය. බැළමෙහෙකොට ජීවත්වීම ඊට වඩා අගනේය. මෙසේ සිතා එක කඩමාල්ලක් ඇඳගෙන බැළමෙහෙ කරන්නෙක් කාටවත් අවශ්‍යදැයි අසමින් භතකවීථියට පැමිණියේය. ඉන්පසු භතකයෝ ඔහු දැක, අපට එක් වැඩක් ඇත. ඔබ එය කර දේනනෙහි නම් ඔබට බත්බැළ දෙන්නෙමුයයි කීවාහුය. කුමක්ද ඒ කටයුත්ත? පබෝදනචෝදන කර්මයයි හෙවත් මිනිසුන් අවදි කරවීමයි. අලුයමින්ම නැගිට දරුවනි, නැගිටිව්. කරත්ත ඔසවා ගනිව්. හරක් එළියට ගනිව්. ඔවුන් රියවල බඳිව්. ඇතුන් හා අසුන් තෘණාදි ආහාර සඳහා යොදන වේලාවයි. මෑණිවරුනි, ඔබලාත් අවදි වන්න. කැඳ උයන්න. බත් පිසන්න යයි හැම තැන ඇවිදිමින් දන්වන්නැයි කීහ. හෙතෙම යහපතැයි පිළිගත්තේය. ඉන්පසු ඔහුගේ වාසය පිණිස ගෙයක්ද දුන්හ. ඔහු දිනපතා ඒ කටයුත්ත කෙළේය.
එක් දිනක් බිම්බිසාර රජු ඔහුගේ ශබ්දය අසා සිටියේය. රජු වනාහි සියලු ශබ්දයන්ගේ තත්ත්වය මැනවින් දන්නෙකි. එහෙයින් මේ ඇසෙන්නේ මහාධනවතකුගේ ශබ්දයකියි ප්‍රකාශ කෙළේය. ඉන්පසු රජු සමීපයේ සිටි එක් පරිචාරිකාස්ත්රියක්, මේ රජු නිකම් ඒ මේ දේ නොකියන්නේයි මෙය මා විසින් දැන ගැනීම වටනේයයි සිතා, එක් පුරුෂයකු අමතා, යව, ගොස් මෙහි තොරතුරු දැනගනුවයි එහි යැවීය. හෙතෙම වේගයෙන් ගොස් ඒ බැළයා දැක අවුත්, මෙහි බැළයන්ගේ බැළයෙක් - දුගී මිනිසෙක් ඇතැයි දන්වා සිටියේය. රජු ඔහුගේ කීම අසා නිහඬ ඒ දෙවෙනි තෙවෙනි දිනවලත් ඔහුගේ ඒ හඬ අසා එය විමසවයි ඈ පිටත්කර හැරියේය. ඒ පරිචාරිකාවත් එසේම සිතා නැවත නැවතත් පුරුෂයකු යවා ඒ දිළිදු මිනිසෙකියි කී කල්හි මෙසේ සිතීය. රජු මොහු දිළිඳු මිනිසෙකියි කී කලද එය විශ්වාස නොකරයි. මෙය මහධනවත් පුද්ගලයකුගේ ශබ්දයක් බව නැවත නැවතත් කියයි. මෙහි කුමක් හෝ කරුණක් වියයුතුයයිද එහි ඇත්ත දැනගත යුතුයයි ද ඈ සිතුවාය. එසේ සිතූ ඈ රජුට මෙසේ දන්වා සිටියාය. දේවයන් වහන්ස, මට දහසක් මිල ලදහොත් දුවත් සමග ගොස් මේ ධනය රාජකුලයටම ගෙනවුත් දෙන්නෙමි. රජු ඈට දහසක් මිල දෙවීය.
ඈ ඒ මිලත් රැගෙන දුවට එක් කිළිටිරෙද්දක් අන්දවා ඈත් සමග රජගෙදරින් නික්මී පාරේ ඇවිදින්නාක් මෙන් භතකවීථියට ගොස් එක් ගෙයකට ඇතුළු වී, මෑණියනි, අපි පාරේ ඇවිදගෙන යන අය වෙමු. දෙතුන් දිනක් මෙහි විශ්‍රාම ගෙන යෑමට අවසරදැයි ඇසුවාය. මෑණියනි, මේ ළඟම ඇති කුම්භඝෝෂකගේ ගෙය හිස්ය. එහි යනු මැනවි. ඈ එහි ගොස් ස්වාමීනි, අපි මගියෝ වෙමු. දෙතුන්දිනක් මෙහි නවතින්නෙමුයි කී කල ඔහු නැවත නැවතත් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත්, ස්වාමීනි, අද එක දවසක් පමණක් නැවතී උදෑසනම පිටත් වී යන්නෙමුයයි යෑමට නොකැමති වූහ. ඕ තොමෝ එහිම නැවතී දෙවෙනි දින කුම්භඝොෂක කැලයට යන වේලෙහි, ස්වාමීනි සහල් ටිකක් දී යන්න. ඔබට ආහාර පිස තබන්නෙමියි කීවිට, නැහැ අවශ්‍ය නැහැ. මමම පිසගෙන කන්නෙමියි ඔහු කී කල නැවත නැවතත් ඉල්ලා ඔහු සහල් ටිකක් දුන් කල ඒවා අතටවත් නොගෙන පසෙක තබා ඇතුළු වෙළඳපොළෙන් පිසින අයුරින් සුපිරිසිදු බත්ද මනා රසැති ව්‍යඤ්ජන දෙකතුනක්ද පිස කැලයේ සිට ආ ඔහුට දුන්නාය. ඒවා අනුභව කොට මෘදු සිත් ඇතිවූ ඔහුට, ස්වාමීනි, මදක් වෙහෙසට පත්වීමු. දෙතුන් දිනක් මෙහි නවතින්නමෝදැයි ඇසීය. ඔහු එය පිළිගත්තේය.