5. චුල්ලපන්ථක තෙරුන්ගේ වස්තුව
‘උට්ඨානෙනප්පමාදෙන’ ආදී මේ ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ සිටින කාලයේ චුල්ලපන්ථක තෙරුන් අරභයා දේශනා කළ සේක.
රජගහනුවර මහාධන සම්පත් ඇති සිටුකුලයක දුවක් සුදුසු වියට පත්කල්හි මවුපියෝ සත්මහල් පහයක උඩුමහලේ බොහෝ රැකවල් තබා රැක සිටියාහුය. යොවුන්මදයෙන් මත්වූ ඈ පුරුෂයන් පිළිබඳ ලොල්බැවින් මුසපත්ව ස්වකීය දාසයා සමග සංසර්ග කොට, සෙස්සෝ තමාගේ මේ තොරතුරු දැන ගනිත්දෝ බියපත්ව සොරසැමියාට මෙසේ කීවාය. දැන් අපට මෙහි විසීම කළ නොහැක. යම් විදියකින් මගේ මවුපියන් මේ වැරැද්ද දැනගතහොත් මා කෑලිකෑලිවලට සිඳ දමනු ඇත. ඒ නිසා වෙනත් පෙදෙසකට ගොස් වසමු. මෙසේ කියා ඔවුහු අතින් රැගෙන ගිය හැකි දේ රැගෙන ප්‍රධාන දොරටුවෙන් නික්මී අන්‍යයන්ට හසු නොවන තැනකට ගොස් ජීවත්වූහ. එක්තැන වසන ඔවුහු සංවාසයට පත්වූ හෙයින් ඇගේ කුස ගැබක් පිහිටියේය. ගැබ මෝරා ගිය පසු ඈ ඔහුට කථා කොට මෙසේ කීවාය. ‘මගේ දරුගැබ මෝරා ගියේය. නෑදෑයන් රහිත ස්ථානයක දරුවන් ලැබීම අප දෙදෙනාටම පීඩාදායක හෙයින් අපි අපේ ගෙදරටම යමු.’
ඒ තරුණයා, ඉදින් මා එහි ගියොත් මගේ ජීවිතයක් මට අහිමිවේයයි යන බියෙන් අද යමු, හෙට යමුදැයි කියමින් දවස් ගෙවූයේය. ඈ මෙසේ සිතුවාය. මේ බාලයා තමන්ගේ දෝෂමහත්වය (වරදේ බරපතලකම) නිසා යාමට උත්සාහයක් නොගනී. මවුපියෝ වනාහි දූදරුවන් කෙරෙහි ඒකාන්තයෙන්ම හිතවත්තුය. මොහු ගියත් නොගියත් මම යන්නෙමියි ගෙයින් නික්මීමට පෙර ගෙදර ආරක්ෂක කටයුතු යොදා තමන් සිය ගෙදරට යන බව ළඟපාත ගෙවල්වල අයට දන්වා මහමගට පිවිසියේය.
ඒ පුරුෂයාත් ගෙදර අවුත් ඈ නොදැක අසල්වැසියන්ගෙන් අසා ඈ සියගෙදර ගිය බව දැන වේගයෙන් ලුහුබැඳ ගොස් අතරමගදී දෙදෙනා හමුවූහ. ඒ ස්ථානයේදීම ඈට ප්‍රසව වේදනා ඇතිවී පුතකු ප්‍රසූත කළාය. ඔහු සොඳුර මේ කිමෙක්දැයි ඇසීය. හිමියනි, එක් පුතෙක් ලැබුණේයයි ඈ කීවාය. දැන් කුමක් කරන්නෙමුද, අපි කුලගෙය බලා නික්මුණු කරුණ දැන් සිදුවී අවසාන නිසා දැන් ගෙදර යෑමෙන් පලක් නැතැයි එක්සිත්ව නැවතුණාහුය. ඒ දරුවා මගදී (පන්ථයෙහි) උපන් හෙයින් ඔහුට පන්ථක යයි නම් තැබුවාහුය.
නොබෝ කලකින්ම ඈ නැවතත් ගැබ්බර වූවාය. ඉතිරි විස්තර පෙර සේම සිදුවිය. ඒ දරුවාත් මහමග උපන් හෙයින් පළමු වැන්නා මහාපන්ථක නමිනුත් දෙවැන්නා චුල්ලපන්ථක වශයෙනුත් නම් කළහ. ඔවුහු ඒ දරුවන් දෙදෙනාම රැගෙන සිය වාසස්ථානයටම ගියාහුය. ඔවුන් මෙසේ වසන අතර, සෙසු අයගේ දරුවන් සුළුපියා, මහපියා, මුත්තණුවෝ, මිත්තනිය ආදී කියන කථා අසා සිටි මහාපන්ථක දිනක් සිය අම්මාගෙන්, මෑණියනි, අනිත් ළමයි ආතා මිත්තණිය ආදී නෑයන් ගැන කියති. අපට එබඳු නෑයන් නැද්දැයි ඇසීය. පුත, එසේය. නුඹලාට එබඳු නෑයන් මෙහි නැත. රජගහනුවර ධනසිටුවරයා නුඹලාගේ ආතාය. එහි අපේ බොහෝ නෑයෝ සිටිති. මෑණියනි, එහි නොයන්නේ ඇයි? ඈ තමන් මෙහි ආ කරුණ පුතාට නොකියා නැවත නැවතත් ඉල්ලා සිටින හෙයින් පුතාගේ පියාට මෙසේ කීවාය. මේ මගේ දරුවෝ නිතර මට කරදර කරති. ඇයි අප දැක අපේ මවුපියෝ අපේ මස් කන්නහුද? යමු දරුවන්ට ඔවුන්ගේ මුත්තණුවන්ගේ ගෙදර පෙන්වමුයි කීවිට, මට ඔවුන් හමුවීමට බැරිය. එසේ වුවත් කිසියම් උපායකින් හේ දරුවන්ට ඔවුන්ගේ මුත්තණුවන් පෙන්වීම මැනවැයි දෙදෙනාම දරුවනුත් රැගෙන පිළිවෙළින් රජගහනුවරට පැමිණ නගරදොර අසළ එක් ශාලාවක නැවතී, දරුවන්ගේ මව දරුවන්ද රැගෙන අවුත් සිටින බව මවුපියන්ට දන්වා යැවුවාහ.
ඒ සිටුමවුපියෝ ඔවුන්ගේ පුවත අසා, සසර ඇවිදගෙන යන අතර පුතුන් දූන් නොවූ කෙනෙකුන් නොමැත. අපට මහ අපරාධයක් කළ ඔවුන් අපේ ඇස් ඉදිරිපිට සිටිනු දැකීම කළ නොහැකිය. මෙපමණකින් ධනය රැගෙන අඹුසැමිදෙදෙනා පහසු තැනකට ගොස් ජීවත් විය යුතුය. දරුවන් පමණක් මෙහි එවන්නැයි දූතයකු අත ධනය දී යැවූහ.