10. මහාලිප්‍රශ්න වස්තුව
අප්පමාදෙන මඝවා යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේසාලිය සමීපයෙහි කූටාගාරශාලාවේ වැඩවාසය කරන සමයෙහි සක්දෙව්රජුන් අරභයා වදාළසේක.
වේසාලියේ මහාලි නම් ලිච්ඡවියෙක් විය. හෙතෙම තථාගතයන්වහන්සේගේ සක්කපඤ්හසූත්‍රාන්තදේශනාව අසා බුදුරජාණන් වහන්සේ ශක්‍රයාගේ සම්පත් මහත්කොට දේශනාකරනසේක. මෙය උන්වහන්සේ ඇසින් දැක කියනසේක්ද, නැතහොත් නොදැකද? මෙය ශක්‍රයා දන්නේද, නැතහොත් නොද්නනේද? ඔහුගෙන් මෙය අසන්නෙමියි සිතුවේය.
ඉන්පසු මහාලි ලිච්ඡවිතෙමේ බුදුරදුන් සිටි තැනට ගොස් වැඳ එකත්පසෙක හිඳගත්තේය. එසේ සිටි මහාලි ලිච්ඡවි බුදුරදුන්ට මෙසේ කීවේය. භාග්‍යවතුන්වහන්ස, ඔබවහන්සේ සක්දෙව්රජ දුටුසේක්ද? මහාලි මම සක්දෙව්රජ දැක්කෙමි. ස්වාමීනි, ඒකාන්තයෙන්ම ඒ ශක්‍රප්‍රතිරූපකයක් විය හැකිය. ස්වාමීනි, ශක්‍රයා දැකීම අතිශයින් දුෂ්කරය. මහාලි මම ශක්‍රයාත් දනිමි, ශක්‍රබවට පත්වීමට අවශ්‍ය කරුණුත් හොඳින් දනිමි. යම්කිසි ධර්ම සමූහයක් සමාදන්වීම නිසා ශක්‍රයා ශක්‍ර බවට පැමිණියේ ද, ඒ ධර්මත් මම දනිමි.
මහාලිය, ශක්‍රදේවේන්ද්‍රතෙම පෙර මඝමානව නමින් මිනිසෙක්ව සිටියේය. එහෙයින්ම ඔහුට මඝ යයි ද කියයි.
මහාලිය, සක්දෙව්රජතෙම පෙර මිනිසෙක්ව නගරයක් පාසා දන් දුන්නේය. එහෙයින් ඔහුට ‘පුරින්දද’ යයිද කියයි.
මහාලිය, සක්දෙව්රජ පෙර මිනිසෙක්ව සකසා දන් දුන්නේය. එහෙයින් ඔහුට ‘ශක්‍ර’යයිද කියයි.
මහාලිය, සක්දෙව්රජ පෙර මිනිසෙක්ව ආවාස සාදා දුන්නේය. එහෙයින් ඔහුට ‘වාසව’ යයිද කියයි.
මහාලිය, සක්දෙව්රජ පෙර දහසක් අර්ථ එක්මොහොතකින් සිතුවේය. එහෙයින් ඔහුට ‘සහස්සක්ඛ’ යයිද කියයි.
මහාලිය, ශක්‍රදිව්‍යරාජයාට සුජාතා නම් අසුරකන්‍යාවක් භාර්යාව විය. එනිසා ඔහුට ‘සුජම්පති’ යයිද කියයි.
මහාලිය, සක්දෙව්රජ තාවතිංස දෙවියන්ට වඩා ඉසුරුබර ආධිපත්‍යයක් ඇති රාජ්‍යය පාලනය කෙළේය. එහෙයින් ඔහුට ‘දේවානමින්ද’ යයිද කියය.
මහාලිය, පෙර මිනිසෙක්ව සිටි සක්දෙව් රජ සප්තව්‍රතපදයක් (ව්‍රත හතක්) පුරා සමාදන්වී සිටියේය. ඒ සප්තව්‍රතපද සමාදන්ව පිරූහෙයින් ඔහු ශක්‍රබවට පැමිණියේය. ඒ සප්තව්‍රතපදයෝ නම් කවරහුද? දිවිඇතිතාක් මවුපියන් පෝෂණය කරමි. දිවි ඇති තාක් කුලදෙටුවන් පුදමි. දිවි ඇති තාක් මෘදු තෙපුල් ඇත්තෙක් වෙමි. දිවිහිමියෙන් කේලාම් නොකියමි. දිවිහිමියෙන් පහකර දැමූ මසුරුමල ඇති සිතින් ත්‍යාගවන්තව, දිමෙන් පිරිසිදු අත්ඇතිව, පරිත්‍යාගශීලීව, ඉල්ලීමට සුදුස්සෙක්ව, දන්දීම් සංවිධානයෙහි යෙදෙමින් ගිහිගෙයි වසන්නෙමි. දිවි ඇතිතාක් ක්‍රෝධ නොකරන්නෙමි. යම් ලෙසකින් මගේ සිතේ ක්‍රෝධයක් ඉපදුණොත් වහාම එය දුරුකර හරින්නෙමි. මහාලිය, පෙර මිනිසෙක්ව සිටි ශක්‍රදේවේන්ද්‍රයා විසින් මේ සප්තව්‍රතපද සමාදන්ව සම්පූර්ණ කරන ලද්දේය. මේ ව්‍රත සමාදන් වූ හෙයින් ඔහු ශක්‍රභාවයට පත්වූයේය.
මවුපියන් සුරකින කුලදෙටුවන්ට සලකන
පිය තෙපුල් උසුරුවන කේලමක් කිසිවිටක නොකියන
මසුරුමල දුරු කර සැබෑබස් නිති බණන
ක්‍රෝධ සිත් බැහැරලා දැහැමි ගුණයන් පුරන
පිනැතියන් තව්තිසා දෙවියෝද හොඳ සිතින්
සත්පුරුෂයෙකියි මොහු බුහුමනින් ගුණ කියති
මහාලිය, මඝමානවක කාලයෙහි මේ ශක්‍රයා විසින් කරන ලද කටයුතු යයි වදාළ කල්හි නැවත ඔහු විසින් ඔහුගේ ප්‍රතිපත්තිවල කෙසේ පිහිටියේදැයි විස්තර වශයෙන් දැනගනු කැමතිව අසා සිටි මහාලිට, එසේ නම් අසාගනුවයි අතීත කතාව ගෙන හැර දැක්වූහ.
අතීතයෙහි මගධරට මචල නම් ගම මඝ නම් මානවකයෙක් ගමේ වැඩ කරන තැනකට ගොස් තමන් සිටි තැන පයින් පස් විසුරුවා එතැන රමණීය කොට සිටියේය. තව එකෙක් ඔහුට අතින් පහර දී එතැනින් එළවා ඔහු එතැන සිටගත්තේය. මඝමානවක ඔහු කෙරෙහි ක්‍රෝධ නොකොට වෙනත් තැනක් රමණීය කොට ගෙන සිටියේය. එතැනදීද වෙනත් එකෙක් ඔහුට අතින් පහරදී එලවා දමා එතැන සිට ගත්තේය. මඝමානවක ඔහු සමඟත් නොකිපී වෙනත් තැනක් රමණීය කොටගෙන සිටියේය. මෙසේ ගෙවල්වලින් පිටත්ව ආ මිනිස්සු අතින් පහර දී ඔහු පිරිසිදු කළ තැන්වලින් එලවා දැමූහ.
එවිට මේ සියලු දෙනා සැපවත් වූවාහු. මේ කර්මාන්තයෙන් මා විසින් පින්කමක් කරන ලද්දෙමි යයි සිතූ මඝමානවක දෙවෙනි දිනයේ උදැල්ලක්ද රැගෙන ගොස් කලවිටක් (කමතක්) පමණ තැනක් පිරිසිදු කොට රමණීය බවට පත් කෙළේය. සෙසු සියල්ලෝ ගොස් එහි සිටියෝය. පසුව ශීතසෘතුවේදී ගිනිදල්වා දුන්නේය. එය කාටත් ප්‍රියමනාප තැනක් විය. මෙතැන් පටන් මා මංමාවත් පාදමින් යායුතු යයි සිතූ ඔහු උදෑසනම ගෙයින් නික්මී පාර සමතලා කරන විට කපා ඉවත් කළයුතු ගස් අතු ඉවත් කරයි. තවත් එකෙක් මෙයදැක යහළුව මේ කුමක් කරන්නෙහිදැයි ඇසීය. මේ මගේ ස්වර්ගගාමී මාර්ගය යයි කීය. එසේනම් මමත් ඔබට සහාය වන්නෙම්ද, යහළුව සහාය වන්න. ස්වර්ගය සියල්ලන්ටම ප්‍රියමනාප යයි කියා එතැන් පටන් දෙදෙනාම එකතුවූහ.
ඒ දෙදෙනා දැක තොරතුරු අසා දැන තවත් එකෙක් ඔවුනට එකතු විය. මෙසේ එකිනෙකා එක්වී සියල්ලෝ තිස්තුන්දෙනෙක් වූහ. ඒ සියලුදෙනා උදලු ආදිය රැගෙන මාර්ගය සමකරමින් යොදුනක් දෙකක් ඉදිරියට යති.