11. එක්තරා භික්ෂුවකගේ වස්තුව
අප්පමාදරතො භික්ඛු ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන කාලයෙහි එක්තරා භික්ෂුවක් අරභයා දේශනා කරන ලදි.
ඒ භික්ෂුව බුදුරදුන් හමුවෙහි රහත්බව දක්වා කමටහන් අසාගෙන වනයට ගොස් යත්නදරා වෑයම් කළ නමුත් රහත් වීමට නොහැකි විය. හෙතෙම විශේෂයෙන් අවුල් හැරගෙන කමටහන් කියවා ගනිමියි වනයෙන් නික්මී බුදුරදුන් හමුවට එන අතරමග මහත්සේ නැගුණු ලැව්ගින්නක් දැක වේගයෙන් දුවගොස් ගස්කොළන් නැති මුඩු පර්වතයකට නැග දැවෙන කැලය දෙස බලා එහි අරමුණ සිතට නගා ගත්තේය.
ඒ මෙසේය. මේ ගින්න මහත්වූත් කුඩාවූත් ගස්කොළන් ආදි සියල්ල දවමින් යයි. මෙසේ ආර්යමාර්ගඥාන ගින්නෙනුත් සන්තානගත, ලොකු කුඩා සංයොජනයන් දවමින් යායුතු වන්නේය. බුදුරජාණන්වහන්සේ ගඳකිළියෙහි වැඩ හිඳිමින්ම ඒ භික්ෂුවගේ සිත්හසර දැනගෙන මහණ එහෙමමයි, එහෙමමයි. කැලයේ ලොකුකුඩා ගස්කොළන් මෙන් මේ සත්වයන්ගේ අභ්‍යන්තරයෙහි උපදින්නා වූ ලොකුකුඩා සංයෝජන (කාමාදිය) ඒ අර්හත්මාර්ගඥාන ගින්නෙන් දවා නැවත ඉපදීමට ඉඩ නොදියයුතුයයි වදාරා ආලෝකයක් විහිදුවා තමන්වහන්සේ ඒ භික්ෂුව ඉදිරිපිට සිටින්නාක්සේ පෙන්වා මේ ගාථාව වදාළසේක.
නොපමා බවෙහි ඇළී
පමාවෙහි බිය දකින මහණ තෙම
ලොකු කුඩා සංයෝජනයන්
ගින්නෙන් මෙන් දවා ඉදිරියට යයි
එහි අප්පමාදරතො යනු අප්‍රමාදයෙහි ඇළුණු, අතිශයින් ඇළී සිටින, අප්‍රමාදයෙන්ම කාලය ගත කරන යන අර්ථයයි. පමාදෙ භයදස්සි වා යනු අපායෙහි ඉපදීම් ආදියෙහිදී ප්‍රමාදයෙහි බිය දකින්නේ, ඒ සියල්ලෙහිම මුලවූ ප්‍රමාදය බියක් හැටියට දකිමින්. සංයොජනං යනු සංසාර පැවැත්මට හේතුවන කාමාදි සංයෝජන හෙවත් බන්ධන සත්වයන් සසරෙහි ගිල්වා තැබීමට සමත් දශවිධ සංයෝජනයෝය. අණුං ථූලං යනු කුඩාවූද මහත්වූද යන අරුත්ය. ඩහං අග්ගීව ගච්ඡති යනු යම් මේ ලැව්ගින්න මහත්වූද කුඩාවූද සියලු ගස්වැල් දවමින් ඉදිරියට යයිද, එපරිද්දෙන් මේ අප්‍රමාද ප්‍රතිපදාවෙහි නියැළුණු භික්ෂුව අප්‍රමාදයෙන්ම පැමිණි අර්හත්මාර්ගඥාන නමැති ගින්නෙන් සන්තානගත සියලු කාමාදි සංයෝජන දවමින් නැවත ඉපදීමට නොහැකි වනසේ කරමින් ඉදිරියටයයි යන අදහසයි.
ගාථා කෙළවර ඒ භික්ෂුව හිටිහැටියේම සියලු සංයෝජනයන් දවා සිවුපිළිසිඹියාපත් රහත්බවට පැමිණ අහසින් අවුත් බුදුරදුන්ගේ රන්වන් සිරුරට ස්තුති කොට, වර්ණනා කොට වඳිමින්ම ගියේය.
අටවන එක්තරා භික්ෂුවකගේ වස්තුවයි.
12. නිගමවාසී තිස්ස තෙරණුවන්ගේ වස්තුව
අප්පමාදරතො ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩවසන සමයෙහි නිගමතිස්ස නම් තෙරුන් අරභයා දේශනා කළසේක.
සැවැත්නුවර සමීපයෙහි එක් නියම්ගමක ඉපදී වැඩුණු එක් කුලපුත්‍රයෙන් බුදුසසුනෙහි පැවිදිවී උපසම්පදාවද ලබා, අල්පේච්ඡව ලද දෙයින් සතුටුව සතුටින්, විවේකීව, පටන්ගත් වීර්යයෙන් යුක්තව නිගමතිස්ස තෙරුන් යයි හඳුන්වනු ලබමින් සිටියේය. ඒ භික්ෂුව නිබඳවම සියනෑපිරිස වෙතම පිඬුසිඟා ගියේය. අනේපිඬුසිටු ආදීහු මහාදන් පවත්වද්දීත්, පසේනදිකෝසල ආදීන් අසදෘශ මහාදන් දෙද්දීත් උන්වහන්සේ සැවතට නොවඩිත් යයි සෙසු භික්ෂූහු කථාවක් උපදවා බුදුරදුන්ට ඒ බව දැන්වූහ. ශාස්තෘන්වහන්සේ ඒ භික්ෂුව කැඳවා, සැබෑද මහණ ඔබ මේ කියන ලෙස කරන්නෙහිදැයි අසා, නැත ස්වාමීනි, මගේ ඤාතිසංසර්ගයක් නැත. මම මේ මිනිසුන් නිසා, මට වැළඳීමට ප්‍රමාණවත් ආහාර ලබමි. එය කටුක වුවත් ප්‍රණීත වුවත් යැපීමට ප්‍රමාණවත් ලෙස ලැබුණු පසු නැවත ආහාර සෙවීමක් අනවශ්‍ය හෙයින් නොයමි. ඤාතීන් සමග මගේ අමුතු සංසර්ගයක් නැතැයි කී කල ශාස්තෘන් වහන්සේ ඒ භික්ෂුවගේ අදහස දන්නාසේක් මහණ, ඉතා මැනවි, මහණ ඉතා මැනවි යයි ඔහුට සාධුකාර දී, මහණ, මා වැනි ආචාර්යවරයකු ලැබූ ඔබගේ මේ ක්‍රියාව (අල්පේච්ඡ බව) පුදුමයක් නොවේ. මේ අල්පේච්ඡ බව මගේ බුද්ධ වචනයයි, මගේ ප්‍රවේණියයි වදාරා භික්ෂූන් විසින් ඉල්ලා සිටි පසු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර හිමවත ගංතෙරකවූ එක් දිඹුල්වනයක නොයෙක් දහස් ගණන් ගිරව් වාසය කළහ. ඔවුනතර එක් ගිරාරජෙක් තමන් වාසය කළ ගසේ ගෙඩි අවසන් වූ පසු යමක් ඉතිරිවී නම් අත්තක් හෝ කොළයක් හෝ පොත්තක් හෝ වේවා එය කා ගඟෙන් වතුර බී අතිශයින්ම අල්පේච්ඡ සන්තුෂ්ටියට පත්ව වෙනත් ගසකට නොයයි. ඔහුගේ අල්පේච්ඡ සන්තුෂ්ට ගුණය නිසා ශක්‍රභවනය කම්පා විය. ශක්‍රයා එය සොයා බලන්නේ ඒ ගිරාරජුගේ ක්‍රියාව දැක ඔහු විමසා බලනු පිණිස තමන්ගේ ආනුභාවයෙන් ඒ ගස වියළවා දැමුවේය. ගස කණුවක් බවට පත් වී තැනින් තැන ලොකු කුඩා සිදුරු ඇති වී වාතය හමන විට ගසට තට්ටු කරන්නාක් වැනි ශබ්දයක් නිකුත් විය. ඒ සිදුරුවලින් කුඩු වැගුරුණේය. ගිරාරජු ඒ කුඩු කා ගඟෙන් වතුර බී වෙන ගසකට නොගොස් අව්වැසි නොතකා දිඹුල්කණුව උඩම සිටියේය. ශක්‍රයා ඔහුගේ පරම අල්පේච්ඡභාවය දැන මිත්‍රධර්මගුණය කියා දී මොහුට වරයක් දී දිඹුල් අමාඵල බවට පත්කොට එන්නෙමියි එක් හංසරාජ වෙසක් ගෙන සුජා නම් අසුර කන්‍යාව පෙරටු කොට ගෙන දිඹුල්වනයට ගොස් ළඟම වූ එක් ගසක අත්තක හිඳගෙන ඔහු සමග කථා කරමින් මේ ගාථාව කීවේය.