1-3. සාමාවති මාගත්‍දියාදීන්ගේ මරණය දැක්වෙන උදේන වස්තුව
‘අප්පමාදෝ අමතපදං’ යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝෂිතාරාමයේ වාසය කරන සමයෙහි මාගන්දිය ප්‍රමුඛ ස්ත්‍රීන් පන්සීයක්ද, ඇගේ පන්සීයක් පමණ ඥාතීන්ද මරණයට පැමිණීම අරභයා දේශනා කළසේක.
අතීතයේ අල්ලකප්ප නම් රටේ අල්ලකප්ප නමිනුත් වේඨදීපක නම් රටේ වේඨදීපක නමිනුත් සිටි දෙදෙනෙක් ළදරු කලපටන් යහළුවන්ට එකම ආචාර්යපරපුරක සිප්සතර ඉගෙන තමතමන්ගේ පියවරුන්ගේ ඇවෑමෙන් සේසත් නගා දිගුපුළුලින් දසයොදුන් පමණවූ රටවල රජුවරුවූහ. ඔවුහු කලින් කල එක්වී එකට සිටිමින් එකට හිඳිමින් එකට නිදමින් උපදින ජීවත්වන මියෙන මිනිසුන් දැක, පරලොව යන අය සමඟ යන්නෙක් නැත. යටත්පිරිසෙන් සියසිරුරු පවා ගෙන යා නොහැකි. සියල්ල මෙහි තබා යායුතුය. අපේ මේ ගිහිගෙයි විසුමෙන් ඇති ඵලය කුමක්ද? පැවිදි වන්නෙමුයයි කතිකාකරගෙන රජය දුපුතුන්ට පවරා ඍෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව හිමවත් පෙදෙසෙහි වසන අතර මෙසේ සාකච්ඡා කළහ.
අප රාජ්‍යයනුත් හැරදමා පැවිදිවූයේ ජීවත්වීමට බැරි නිසා නොවෙයි. ඒ අපි එක්තැනකට වී සිටීම පැවිදි නොවූවාක් වැනිය. ඒ නිසා අපි වෙන්ව වසමු. ඔබ අර පර්වතයෙහි වසන්න. මම මේ පර්වතයෙහි සිටින්නෙමි. අඩමසකින් පැමිණෙන පෙහෙවස් දිනයෙහි එකතුවෙමුයි කතිකා කළහ. ඔවුහු මෙසේද සිතූහ. මේ ක්‍රමයෙන් අපේ ගණසංගණිකාවද (පිරිස් සමඟ එක්වීම) සිදුවෙයි. ඔබ ඔබේ කඳුමුදුනේ ගිනිගොඩක් දල්වන්න. මම මගේ කඳුමුදුනේ ගිනිගොඩක් ගසමි. මේ ක්‍රමයෙන් අප ඇති නැති බව දැනගන්නෙමුයිද කියා එසේ කළාහුය.
පසු කාලයක වේඨදීපක තාපසතෙම කළුරියකොට මහේශාක්‍ය දේවතාවෙක්ව උපන්නේය. එයින් අඩමසකට පසු එම කඳුමුදුනේ ගිනි නොදැල්වීමෙන්ම මගේ යහළුවා කළුරිය කෙළේයයි අල්ලකප්පක තවුසා දැනගත්තේය. මියගිය තැනැත්තාත් දෙවියෙක්ව උපන් කෙණෙහිම තම දෙව්සිරි දැක කිනම් කර්මයකින් මෙසේ උපන්නේදැයි විමසා බලා ගිහිගෙයින් නික්මුණු දා පටන් තමාගේ තපස්චරියාවන් දැක දැන් ගොස් මගේ යාළුවා දැකගන්නෙමියි ඒ අත්බව හැරදමා සාමාන්‍ය මිනිසකු මෙන් යහළුතවුසා ළඟට ගොස් වැඳ එකත්පසෙක හුන්නේය.
ඉන්පසු අල්ලකප්පක මෙසේ විමසීය, ඔබ කොහි සිට ආවෙහිද? ස්වාමීනි, මම දුර සිට එන මඟියෙක්මි, ස්වාමීනි, ආර්යයන් වහන්සේ මෙහි වසන්නේ තනියමද? නැත්නම් තවත් කවුරුන් හෝ ඇද්ද? මගේ එක් යහළුවෙක් ඇත. ස්වාමීනි, ඔහු කොහිද? ඔහු අර පෙනෙන පර්වතයේ වසයි. පෙහෙවස් දිනයේ නම් ගිනි දැල්වූයේ නැත. ඒකාන්තයෙන් ඔහු මිය යන්නට ඇත. ස්වාමීනි, එසේද? ඇවැත්නි එසේය. ස්වාමීනි, ඒ යහළුවා නම් මමයි. ඔබ උපන්නේ කොහිද? දෙව්ලොව මහේශාක්‍ය දෙවියෙක්ව උපනිමි ස්වාමීනි. ඔබ දකිනු පිණිස යළි මෙහි ආවෙමි. මේ ස්ථානයේ වසන ඔබවහන්සේට කිසියම් අපහසුවක් ඇද්ද? එසේය. ඇවැත්නි, ඇතුන් නිසා මම වෙහෙසට පත්වෙමි. ස්වාමීනි, ඒ ඇත්තු කුමක් කරන්නහුද? අතුගෑ තැන්වල ඇත්තු බෙටි දමති. පාපහර දී පස් විසුරුවති. මම ඒ ඇත්බෙටි අදිමින් පස් සමකරමින් වෙහෙසට පත්වෙමි. එසේ නම් ඔවුන්ගේ පැමිණීම වළක්වන්නෙමියි කියා ඒ තවුසාට හස්තික්‍රාන්ත වීණාවක්ද (ඇතුන් ප්‍රියකරන හඬ ඇති) හස්තික්‍රාන්ත මන්ත්‍රයක්ද දුන්නේය. වීණාවත් මන්ත්‍රයත් දෙන ගමන්ම මේ වීණාවේ තත් තුනකි. ඒවා හඳුන්වාදී මන්ත්‍ර තුනත් උගන්වා, මේ තත පහරා මේ මන්ත්‍රය කීකල ඇත්තු නැවතී නැවතී පසුපස බැලීමටවත් නොසිට දුවති. මේ තත ගසා මේ මන්ත්‍රය ජපකල විට ඇත්තු නැවතී නැවතී පසුපස බලමින් දුවති. මේ තත පහරවා මේ මන්ත්‍රය කීවිට ඇත්රජා පිට නමාගෙන තමා සමීපයට එයි. මෙසේ කියා ඔබට මනාපයක් කළ මැනවැයි වැඳ යන්ටගියේය. තවුස්තෙම පලායන මන්ත්‍රය ම කියා පලායන තත ශබ්දකොට ඇතුන් පලවා හැර සුවසේ වාසය කෙළේය.
එකල කොසඹෑ නුවර පරන්තප නම් රජෙක් විය. දිනක් හෙතෙම ගැබිණිදේවයත් සමඟ උදේ හිරුරැස් තපිමින් උඩුමහල්තලයේ සිටියේය. රජුගේ ලක්ෂයක් වටිනා රක්තකම්බලය පොරවාගෙන සිටි දේවිය රජුත් සමඟ සල්ලාපයෙහි යෙදී සිටි ගමන්ම රජු ඇඟිල්ලෙහි පැළදගෙනසිටි ලක්ෂයක් වටිනා රාජමුද්ද ගළවා තම ඇඟිල්ලෙහි ලාගත්තාය. එවේලෙහි අහසේ පියාඹා යන ඇත්කඳලිහිණියෙක් රතු කම්බිලිය පෙරවාගෙන සිටි දේවිය දැක මස්පිඬෙකියි සිතා පියාපත් විහිදුවාගෙන එතැනට බැස්සේය. රජු ඌ පහතට බසින හඬ අසා බියවී නැඟිට ඇතුළු නිවසට පිවිසියේය. දේවියට දරු ගැබ්බර නිසාත් බියවනසුලු (ස්ත්‍රීජාතිය) ජාතිය නිසාත් වේගයෙන් ඉවතට යානොහැකි විය.
ඉක්බිති ඒ ලිහිණියා හුදෙකලාව බලවත්වී දේවිය නියපඳුරෙන් ඩැහැගෙන අහසට පැන්නේය. ඒ ලිහිණියෝ වනාහි ඇතුන් පස්දෙනෙකුගේ ශක්තිය දරති. එහෙයින් තමන් කැමති තැනකට ගොදුර අහසින්ම ගෙනගොස් හිඳගෙන මස් කති. එසේ ගෙනයන්නාවූ දේවිය මරණභයින් බියපත්ව, යම්හෙයකින් මා කෑ ගැසුවොත්, මිනිස්හඬ තිරිසනුන්ට බිය ගෙනදෙන නිසා මගේ හඬ අසා මා ඉවත දමයි. එසේ වුවහොත් දරුගැබත් සමඟ මරණයට පත්වෙයි. යම් තැනක මා තබා කෑමට පටන්ගන්නවාත් සමඟ එතනදී ශබ්ද කොට පලවා හරින්නෙමියි තමා නුවණැති හෙයින් සිතා ගත්තාය.
එකල හිමවත් පෙදෙසේ මඳක් වැඩුණු මණ්ඩපාකාර එක් මහනුගගසක් විය. ඒ රාජාලියා මුවන් ආදි සතුන් එහි ගෙනවුත් තබාගෙන කයි. එහෙයින් ඈද එහි ගෙනවුත් අතු දෙබල් අතර තබා ආ මඟ නැවත ආපසු හැරී බැලුවේය. ආමඟ නැවත හැරී බැලීම ඔවුන්ගේ සිරිතකි. එකෙණෙහිම දේවිය දැන් මූ පලවා හරින්ට සුදුසු කාලයයයි සිතා දෑත් ඔසවා අත්පුඩි ශබ්දයත් කෑගැසීමත් එකවරම කොට ඌ පලවා හැරියාය.
හිරු අවරට යන වේලෙහි ඇගේ කර්මජවාතයෝ (දරුවන් බිහිකිරීමේ වාත වේගය) ක්‍රියාත්මක වූවාහුය. හැම දිසාවක පැතිරී ගිය මහ වැස්සක් පටන් ගත්තේය. අතිශය දුක්ඛදායක, ඛේදනීය තත්වයට පත්වුවද ආර්යාවනි, බිය නොවන්න වැනි වචන මාත්‍රයකුදු නොලබා දුකම වැළඳගත් ඕතොමෝ නිදි නොලබාම මුළු රැයම ගතකළාය. රාත්‍රි අලුයම් වේලෙහි අහස වළාකුළු පහවී ගොස් හිරු උදාවීමත් ඈට දරුවන් ලැබීමත් යන ක්‍රියා දෙක එකම වේලාවේ සිදුවිය. ඕතොමෝ වැසි උදාවත් පර්වත උදාවත් අරුණ උදාවත් එක්කොට අලුත ලැබූ පුතාට උදේන යන නම තැබුවාය.
අල්ලකප්ප තවුසාටද ඒ ළඟම අසපුවක් තිබුණේය. හෙතෙම සිරිතක් හැටියට වැසිදිනවල ශීත බියෙන් පලවැල සෙවීමට වනයට නොයයි. ඒ නුගරුක මුලට ගොස් කුරුල්ලන් කාදැමූ ඇටකටු ගෙනවුත් ඒවා කොටා රස සාදාගෙන පානය කරයි. එහෙයින් එදිනද ඇටකටු ගෙනෙන්නෙමියි එහි ගොස් ගසමුල ඇටකටු සොයා බලනවිට උඩින් දරුවෙකුගේ හඬක් ඇසී උඩ බලනවිට දේවිය දැක තී කවරියකදැයි විචාළේය. මා මිනිස් ගැහැණියක්මියි කීකල, කෙසේ මෙහි ආවෙහිද? ඇත්කඳලිහිණියකු විසින් මා මෙහි ගෙන එන ලද්දෙමියි කීවාය. එසේ නම් බිමට බසින්නැයි තවුසා කීවේය. ආර්යයෙනි, ජාතියට කැළලක් වේදෝයි බිය වෙමියි කීවිට තී කවර ජාතියකට අයත්ද? ක්‍රෂත්‍රිය ජාතියටය. මමත් ක්ෂත්‍රියයෙක්මියි හේ කීවේය. එසේ නම් ක්ෂත්‍රියමායම් කියව. ඔහු ක්ෂත්‍රියමායම් කීවේය.
එසේනම් ගස උඩට ගොඩවී මගේ පුතා ගසින් ගනුව. හෙතෙම එක් පැත්තකින් හිණිමඟක් තනා එයින් ගසට නැඟ දරුවා ගත්තේය. ඔබ මා අතින් නොඅල්වවයි කී නිසා ඔහු ඈ අත නොඅල්ලාම දරුවා රැගෙන ගසින් බැස්සාය. දේවියද බැස්සාය. මෙසේ ඔවුන් අසපුවට රැගෙන ගොස් ශීලභේදකයකට නොපැමිණ අනුකම්පාවෙන් පෝෂණය කළේය. මැස්සන් නොමැති මීවද ගෙනවුත් ස්වයංජාත ඇල්හාලෙන් කැඳ පිස දුන්නේය. මේ ආකාරයෙන් ඔවුන් පෝෂණය කරන කල්හි අපරභාගයෙහි දේවී මෙසේ සිතුවාය. මම මෙහි පැමිණ මඟ නොදන්නෙමි. ආපසු යන මඟද නොදන්නෙමි. මොහුගේත් මා සමඟ විශ්වාස මාත්‍රයකුදු නැත. යම් හෙයකින් මොහු අප හැරදා කොහේ හෝ ගියහොත් අප දෙදෙනාට මෙහිම මෙතනම මැරෙන්ට සිදුවේ. යම්කිසි උපායක් යොදා මොහුගේ සිල්බිඳ මා අත්නොහරින සේ කටයුතු කළයුතුය. එසේසිතා නොහොබිනා ලෙස හැඳ පෙරවාගෙන ඒ දැකුම්වලින් ඔහු පොළොඹවාගෙන සීලවිපත්තියට පැමිණවූවාය. එතැන් පටන් දෙදෙනා සහවාසයෙන් විසූහ.