සාමාවතී අනිත් ස්ත්‍රීන් පන්සීයට අවවාද කරමින්, මෑණිවරුනි, දැන් ඉතින් අපට වෙනත් පිළිසරණක් නැත. නරනිඳුන්, දේවීවරුන් හා තමතමන්ටත් සමසමව මෛත්‍රිය වඩන්න. කිසිවකුට ක්‍රෝධ නොකරන්න. රජු දහසක් දෙනා උසුලන සිංගධනුව (අංවලින් තැනූ දුන්න) රැගෙන දුනුදිය පොලා විෂකැවූ ඊයක් යොදා සාමාවතිය එක් තැනක සිටුවා අනික් ස්ත්‍රීන්ද පිළිවෙලින් සිටුවා සාමාවතීගේ පපුවට ඊය විද්දේය. ඒ ඊය ඇගේ මෛත්‍රී ආනුභාවයෙන් නැවතී ආපසු හැරී ආ මගින්ම අවුත් රජුගේ හෘදයට පිවිසියාක් මෙන් සිටියේය. රජු, මා විදි ඊය ගලක්වුවත් විදගෙන යන්නකි. අහසෙහි නවතින තැනක් නැත. එහෙත් මෙය අද නැවතී මා අබියසටම ආවේය. මේ ඊයට සිතක් නැත. ජීවයකුදු නැත. එබඳු ඊයත් මැගේ ගුණය දනී. මා මිනිසකුවුවත් ඒ ගුණය නොදන්නෙමියි සිතීය. හෙතෙම දුන්න විසිකර දෙඅත් ඇඳිලි බැඳගෙන සාමාවතී පාමුල උක්කුටිකයෙන් හිඳ මේ ගාථාව කීවේය.
මුළාවීම් අතිශයින්ම බියවෙමි සියලු දිශාවෝ බිය එලවත්
සාමාවති මා රැකගනු මැනවි මට ඇති සරණය ඔබ පමණයි
සාමාවතී ඔහුගේ වචන අසා යහපත දේවයිනි, මා සරණ යමියි නොකියා, මා යමෙක් සරණ ගියා නම් ඒ උතුමාම සරණ යන්නැයි කියා:
සම්බුදු ශ්‍රාවිකා සාමාවති මෙය කියා
මා සරණ නොම යා බුදුසරණ යනු මා ගිය
මහරජ ඒ බුදුහු අනුත්තර නම් වන්නේ
එතුන් සරණ යනු මැන ඔබ මට සරණ වනු මැන
දැන් මම වැඩියෙනුත් බියවෙමි යළිත් බියවෙමි
සාමාවතිය මා රැකගන්න මට සරණ වී
ඉන්පසු ඈ මා සරණ නොයන්නැයි නැවතත් ප්‍රතික්ෂේප කළ නමුත්, එසේ නම් ඔබත් ශාස්තෘන්වහන්සේත් සරණ යන්නෙමි. ඔබට වරයකුත් දෙන්නෙමියයි කීකල, වරය පසුව ගිනිමි, මහරජතුමනියයි කීවාය. රජතෙම බුදුන් කරා පැමිණ සරණයෙහි පිහිටා ආරාධනාකොට බුදුන් ප්‍රමුඛකොට මහා සංඝයා වෙත සතියක් මහදන් පවත්වා, කෙළවර සාමාවතී අමතා, නැගී සිටින්න, වරය ලබා ගන්නැයි කීවේය. මහරජාණනි, මර රන් රුවණින් ප්‍රයෝජනයක් නැත. මට වරයක් දෙන්නෙහි නම් මෙසේ කරන්න. බුදුරජාණන්වහන්සේ පන්සීයක් භික්ෂූන් සමග මෙහි වැඩමවා ගන්නට අවසර දීමයි ඒ වරය. එවිට මට නිතර බණ ඇසිය හැකි වේයයි කීවාය. රජු බුදුන් වැඳ, ස්වාමීනි, භික්ෂූන් පන්සීයක් සමග නිබඳව මෙහි වඩිනු මැනවි. සාමාවතී ප්‍රධාන පිරිස බණ ඇසීමට කැමැත්තෙන් සිටිතියි කීවේය. මහරජ තවත් මහාජනයා බලාපොරොත්තුවෙන් සිටින නිසා බුදුවරුන් එකම ස්ථානයකට යෑම නොවටී. එසේනම් ස්වාමීනි, එක් භික්ෂූන්වහන්සේ නමකට නියෝග කළ මැනවියයි ඉල්ලා සිටියේය. බුදුරජාණන්වහන්සේ ආනන්ද හිමියන්ට එය පැවරූහ. ආනන්ද හිමියෝ පන්සීයක් භික්ෂූන් සමග නිබඳවම රජ ගෙදරටම වැඩමවති. ඒ දේවිවරුන් නිබඳවම උන්වහන්සේලා වළඳවති. බණද අසත්. ඔවුහු දිනක් තෙරුන්ගේ ධර්මකථා අසා පැහැදී උත්තරසාටක පන්සීයක් පූජා කළහ. එක් එක් උත්තරාසංගයක් කහවණු පන්සීයක් අගනේ විය.
ඔවුන් තනි වස්ත්‍රයෙන් සිටිනු දුටු රජු තොපගේ උත්තරාසංග කොයිදැයි ඇසීය. අපි ඒවා ආර්යයන්වහන්සේලාට පූජා කෙළෙමු. උන්වහන්සේ ඒ සියලු සඟල් පිළිගත්තෝද? එසේය. පිළිගත්සේක. රජ තෙරුන් වෙත පැමිණ වැඳ දේවීවරු සිය උතුරුසළු දුන්බවත්, තෙරුන් ඒවා පිළිගත්බවත් විචාරා දැනගෙන ස්වාමීනි, වස්ත්‍ර බොහෝ රාශියක් නොවේද? මෙපමණ වස්තුවලින් කමක් කරන සේක්දැයි ඇසීය. මහරජ අපට පොහෝනා තරම් අරගෙන සෙස්ස දිරූ සිවුරු ඇත්තන්ට දෙන්නෙමු. ඒ අය තමන්ගේ පුරාණ සිවුරුවලට කුමක් කරන්නාහුද? ඊටත් වඩා දිරූ සිවුරු ඇත්තන්ට දෙති. ඔවුහු තමන්ගේ දිරූ සිවුරුවලට කුමක් කෙරෙත්ද? ඇතිරිලි කෙරෙති. පුරාණ ඇතිරිලිවලට කුමක් කෙරෙත්ද? බුමුතුරුණු කෙරෙත්. ජීර්ණතරපසතුරුණුවලට කුමක් කෙරෙත්ද? මහරජ පාපිසි කෙරෙති. පුරාණ පාපිසිවලට කුමක් කෙරෙත්ද? මහරජ කුජා කැබලිවලට කඩා මැටි සමග අනා බිත්තිවල ආලේප කරති.
ස්වාමීනි, මෙපමණ ප්‍රයෝජන ලබන හෙයින් ආර්යයන්වහන්සේලාට දෙන දෙය නොනස්නේ වේද? එසේය මහරජයයි පිළිතුරු දුන්කල්හි රජු වඩාත් පැහැදී තවත් වස්ත්‍ර පන්සීයක් ගෙන්වා තෙරවරුන්ගේ පාමුල තැබීය. ආනන්ද තෙරණුවෝ මෙසේ පන්සීයක් අගනා වස්ත්‍ර දහස්වර පාමුලතබා ලැබූහ. ලක්ෂයක් වටිනා වස්ත්‍ර දහස බැගින් සියක්වර ලැබූහ. එක දෙක තුන හතර පහ දහය ආදී වශයෙන් වස්ත්‍ර ලැබූ වාර ගණනක් නැත. බුදුන් පිරිනිවි කල්හි තෙරණුවෝ සියලු දඹදිව හැසිරෙමින් සියලු විහාරවල භික්ෂූන්ට තමන් සන්තක පාසිවුරු බෙදා දුන්හ.
එකල මාගන්දිය ද මා විසින් කරන ලද හැම දෙයක්ම මා සිතන පරිදි නොවී වෙනත් අයුරකින්ම සිදුවේ යයි සිතා, දැන් ඉතින් කිනම් උපායක් කරන්නෙම්දැයි කල්පනා කොට එක් උපායක් ගැන කල්පනා වී රජුන් සමග උයන්කෙළියට යන ගමන් සුළුපියාට, සාමාවතීගේ පහයට ගොස් රෙදි ඇති ගබඩා හා තෙල් ඇති ගබඩා විවෘත කොට රෙදි තෙල්සැළිවල බහා තෙමා කණුවල ඔතා ඒ සියලු ස්ත්‍රීන් එක්තැන් කොට දොරවල් වසා පිටතින් යතුරු දමා පන්දම් දල්වා එයින් ගෙට ගිනිතියා දාරුමය දෙවියන් දැවෙද්දී පහයෙන් බැස යන්නැයි හසුනක් යැවුවාය.
හෙතෙම පහයට නැගී කොටුගුළු විවර කොට රෙදි එළියට ගෙන තෙල්සැළිවල දමා තෙමා කණු වෙලන්ට පටන් ගත්තේය. සුළුපියාණනි, කුමක් කරන්නෙහිදැයි අසමින් සාමාවතී ප්‍රධාන ස්ත්‍රීහු එතැනට ආවාහුය. මෑණියනි, රජු මේ කණු ශක්තිමත් කරනු පිණිස තෙල් කඩමලුවලින් වෙලවයි. රජගෙදර කටයුතු කෙසේදැයි හරිහැටි වටහා ගැනීම අපහසුයි. ඒ නිසා මා සමීපයේ නොසිටින්නැයි කීය. මෙසේ කියා එහි ආ සියලු කාන්තාවන් ඇතුළු ගැබට යවා දොරවල් වසා පිටතින් යතුරු දමා කොණක සිට ගිනි තබමින් පහතට බැස්සේය. සාමාවතී ඒ ස්ත්‍රීන්ට මෙසේ අවවාද කළාය. අගක් මුලක් නැති මේ සසර හැසිරෙන නඅප මෙවැනි ගිනිවලින් දැවුණු වාර ගණන බුදුනුවණකිනුත් බලා ප්‍රමාණ කළ නොහැකිය. ඒ නිසා පමා නොවව්. ඒ ස්ත්‍රීහු රජගෙය දැවෙද්දී වේදනාපරිග්‍රහකර්මස්ථානය කරන්නාහු කිසි තැනැත්තියක් දෙවෙනි ඵලයටද, තවත් සමහරු තෙවෙනි ඵලයටද, පැමිණියාහුය. එහෙයින් මෙසේ කියා ඇත.
ඉන්පසු බොහෝ භික්ෂූහු පසුබත් වේලෙහි පිඬු පිණිස හැසිරෙමින් ගොස් බුදුරදුන් හමුවට පැමිණියාහුය. එසේ පැමිණ බුදුන් වැඳ එකත්පසෙක හිඳගත්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු බුදුරදුන්ට මෙසේ දන්වා සිටියහ. භාග්‍යවතුන් වහන්ස, උදේන රජු උයනට ගිය අවස්ථාවක සාමාවතී සමග ස්ත්‍රීන් පන්සීයක්ද අන්තඃපුරයද දැවී ගියේය. ස්වාමීනි, ඒ උපාසිකාවේ කොහි උපන්නාහුද? ඔවුන්ගේ පරලොව තත්ත්වය කුමක්ද? මහණෙනි, ඒ උපාසිකා පිරිස අතර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී ඵලයන්ට පැමිණි අය වෙති. ඒ උපාසිකාවෝ නිකරුණේම කළුරිය නොකළහ. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කළ සේක.