9-10. හත්ථක භික්ෂුව පිළිබඳ කථා පුවත
“න මුණ්ඩකෙන සමණෝ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී හත්ථක (නම් භික්ෂුවක්) නිමිතිකර ගෙන දේශනා කළහ.
ඔහු වනාහි වාදයට නැඹුරුවූ සිතැත්තේ “තෙපි අසවල් වේලාවේදී අසවල් තැනට පැමිණෙ. වාද කරන්නෙමුයි” කියා ඔවුන් එන්නට පළමුවෙන්ම එතැනට ගොස් බලයි. “තීර්තකයෝ මට බියෙන් නො පැමිණියෝය” ඔවුන්ට පරාජය වේයි මේ ආදිය කියා වාදයට එළඹෙමින් තැන තැන හැසිරෙමින් සිටියි. ශාස්තෲන් වහන්සේ “හත්ථක” මෙසේ කරන්නේයයි අසා ඔහුව කැඳවා ඇත්තද ඔබ මෙ ලෙස ක්‍රියාකරන බව ඇත්තක් දැයි විමසුහ. ඔහු එය ඇත්තකැයි පිළිගත් විට ඇයි ඔබ එලෙස කරන්නේ, මෙබඳු බොරු කරනෝ හිස මුඩුකිරීම් ආදියෙන් පමණක් ශ්‍රමණයෙක් නොවේ. යම් කෙනෙක් ලොකු හෝ කුඩා පව් නොකොට සිටියේ නම් වේයයි පවසා මේ ගාථාව පැවසුහ -
වත් ගුණ නොමැති ලාබයටම කියන බොරු
ආසාවෙන් වැඩී යසිසුරු සොයන සරු
හිස මුඩුකොට පමණකින් කහ සිවුරු දැරූ
මහණෙකු නොවේ. ඔහු මේ බුදු සසුනෙ ගරු
හිස මුඩුකිරීම් පමණකින් මහණක් නොවේ. ධුත ගුණයක් නැති බොරු කියන ආශාවෙන් හා ලෝභයෙන් යුත් තැනැත්තා කෙසේ නම් මහණෙක් වන්නේද? යම් භික්ෂුවක් කුඩාවුද මහත්වූද පව්කම් සම්පුර්ණ යෙම සන්සිඳුවාද පව් සංසිඳවූ හෙයින්ම ඔහු ශ්‍රමණ යයි කියනු ලැබේ.
එහි මුණ්ඩකෙන - යනු හිස මුඩු කළ පමණින් නම් හිස මුඩුකිරිමයි. අබ්බතො නම් සිල්වත් බවින්ද. ධුත දැරීමෙන්ද වෙන් වීමයි. අලිකං බොරු කියන්නාවු, නො පැමිණි අරමුණු කෙරෙහි ආශාවෙන් පෙළුණු තැනැත්තාද ශ්‍රමණයෙක් නොවේ. සමෙති යනු යමෙක් ස්වල්පවූ හෝ මහත්වූ හෝ පව් සංසිඳවයිද ඔහු එසේ සංසිඳවීම නිසා යයි කියනු ලැබේ.
දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත්වුහ.
11-13. එක්තරා බ්‍රාහ්මණයකු පිළිබඳ කථා පුවත
“න තෙන භික්ඛු හොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩි සිටියදී එක්තරා බමුණෙක් නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු වනාහි බැහැර ආගමක පැවිදිවී භික්ෂාවෙහි හැසිරෙන්නේ මෙලෙස සිතුවේය. භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් භික්‍ෂාව හැසිරෙන හෙයින් භික්ෂුයයි කියන්න වටි. ඒ අනුව මට ද භික්ෂුව කියා ඇමතීම වටින්නේය. හේ ශාස්තෲන් වහන්සේ වෙත එළඹ භාග්‍යවත් ගෞතමයන් වහන්ස, මම ද භික්ෂාව උදෙසා හැසිරෙන හෙයින් අපට ද භික්ෂු වශයෙන් අමතන්නැයි පැවසුවේය. බ්‍රාහ්මණය මම - පිඬුසිඟායාම පමණකින් භික්ෂුවක් වශයෙන් නො හඳුන්වමි. මෙහි යම් ධර්මයක් සමාදන්ව පවතින තැනැත්තා භික්ෂුවක් නම් වේ. යම්කෙනෙක් සියලු සංස්කාරයන්හි සැක සහිතව හැසිරේද ඔහු භික්ෂුවයයි පවසා මේ ගාථාව පැවසුහ.
යම් කෙනෙක් අන් අයගෙන් පිඬුසිඟා යන්නේද එපමණනකින් භික්ෂු නම් නොවේ. විෂම වූ පාප ධර්මය අදහා ගෙන කාය කර්මාදිය සමාදන්වී වසන තැනැත්තා භික්ෂු නොවේ.
මේ සසුනෙහි යමෙක් කුසල් අකුසල් දෙක බැහැර කොට බඹසරින් යුක්ත වේද ලෝකයෙහි නුවණින් හැසිරේද? ඒකාන්තයෙන් ඔහු භික්ෂුයයි කියමි.
එහි යාචතා යනු යම් පමණකින් පරෙභික්ඛතෙ ඒ පිඬු සිඟා යාම් පමණකින් භික්ෂු නම් නොවේ. විස්ස යනු විෂම ධර්මය විෂම ගන්ධය හෝ කාය කර්මාදී ධර්ම සමාදන්වී හැසිරෙන්නේ භික්ෂුනම් නොවේ. යොධාති යනු යමෙක් මේ ශාසනයේ පුඤ්ඤං පාපංච, පින් පවු දෙකම බැහැරකොට මග්ග බ්‍රහ්මචරියෙන මාර්ග බ්‍රහ්ම චරියාවෙන් බ්‍රහ්මචාරි වේද සඞ්ඛ්‍යාත නුවණින් - ලොකෙති - ස්ඛන්ධාදිලොව මේ ආධ්‍යාත්මික ස්ඛන්ධයි මේ බාහිර ස්ඛන්ධයි යනුවෙන් මෙලෙස සියළු ධර්ම දැන හැසිරේ ද ඔහු මෙකී නුවණින් කෙලෙස් බිඳුන හෙයින් භික්ෂු යනුවෙන් හැදින්වේ. යනු අර්ථයි.
දේශනය අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණුනහ.