11-13. එක්තරා බ්‍රාහ්මණයකු පිළිබඳ කථා පුවත
“න තෙන භික්ඛු හොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩි සිටියදී එක්තරා බමුණෙක් නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු වනාහි බැහැර ආගමක පැවිදිවී භික්ෂාවෙහි හැසිරෙන්නේ මෙලෙස සිතුවේය. භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් භික්‍ෂාව හැසිරෙන හෙයින් භික්ෂුයයි කියන්න වටි. ඒ අනුව මට ද භික්ෂුව කියා ඇමතීම වටින්නේය. හේ ශාස්තෲන් වහන්සේ වෙත එළඹ භාග්‍යවත් ගෞතමයන් වහන්ස, මම ද භික්ෂාව උදෙසා හැසිරෙන හෙයින් අපට ද භික්ෂු වශයෙන් අමතන්නැයි පැවසුවේය. බ්‍රාහ්මණය මම - පිඬුසිඟායාම පමණකින් භික්ෂුවක් වශයෙන් නො හඳුන්වමි. මෙහි යම් ධර්මයක් සමාදන්ව පවතින තැනැත්තා භික්ෂුවක් නම් වේ. යම්කෙනෙක් සියලු සංස්කාරයන්හි සැක සහිතව හැසිරේද ඔහු භික්ෂුවයයි පවසා මේ ගාථාව පැවසුහ.
යම් කෙනෙක් අන් අයගෙන් පිඬුසිඟා යන්නේද එපමණනකින් භික්ෂු නම් නොවේ. විෂම වූ පාප ධර්මය අදහා ගෙන කාය කර්මාදිය සමාදන්වී වසන තැනැත්තා භික්ෂු නොවේ.
මේ සසුනෙහි යමෙක් කුසල් අකුසල් දෙක බැහැර කොට බඹසරින් යුක්ත වේද ලෝකයෙහි නුවණින් හැසිරේද? ඒකාන්තයෙන් ඔහු භික්ෂුයයි කියමි.
එහි යාචතා යනු යම් පමණකින් පරෙභික්ඛතෙ ඒ පිඬු සිඟා යාම් පමණකින් භික්ෂු නම් නොවේ. විස්ස යනු විෂම ධර්මය විෂම ගන්ධය හෝ කාය කර්මාදී ධර්ම සමාදන්වී හැසිරෙන්නේ භික්ෂුනම් නොවේ. යොධාති යනු යමෙක් මේ ශාසනයේ පුඤ්ඤං පාපංච, පින් පවු දෙකම බැහැරකොට මග්ග බ්‍රහ්මචරියෙන මාර්ග බ්‍රහ්ම චරියාවෙන් බ්‍රහ්මචාරි වේද සඞ්ඛ්‍යාත නුවණින් - ලොකෙති - ස්ඛන්ධාදිලොව මේ ආධ්‍යාත්මික ස්ඛන්ධයි මේ බාහිර ස්ඛන්ධයි යනුවෙන් මෙලෙස සියළු ධර්ම දැන හැසිරේ ද ඔහු මෙකී නුවණින් කෙලෙස් බිඳුන හෙයින් භික්ෂු යනුවෙන් හැදින්වේ. යනු අර්ථයි.
දේශනය අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණුනහ.
13-14. තීර්ථකයින්ගේ කථා පුවත
“ න මොනෙන” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී තීර්ථකයන් අරමුණු කරගෙන දේශනා කළහ.
ඔවුහු වනාහි අනුභව කළ ස්ථානයේදී මිනිසුන්ට ක්ෂේම වේවා. සුවය, සැපත වේවා. ආයු වැඩේවා අසවල් තැන මඩ ඇත. අසවල් තැන කටු ඇත. මෙබඳු තැන්වලට නොයන්නැයි මේ ආදි ක්‍රමයෙන් මංගල කරුණු කියාදී පිටත් වෙති. භික්ෂූන් වහන්සේ පඨම බෝධියේ දී අනුමෝදනා ආදි අනුමත නොවු කාලයේ වැළදු තැන මිනිසුන්ට අනුමෝදනා නොකොට පිටත්ව යති. මිනිස්සු අපි තීර්ථකයන් ලඟ මංගල කරුණු අසමු ස්වාමීන් වහන්සේලා නිහඩවම පිටවි යතියි. උදඝෝෂණ කළහ. භික්ෂූන් වහන්සේලා මේ කරුණ ශාස්තෲන් වහන්සේට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ මහණෙනි මෙයින් පසු දන්වැළඳු ස්ථාන ආදියේදි පහසුසේ අනුමෝදනා කරව්. උපනිසින්නක කථා ධර්මකථා කරන්නැයි අනුමත කළහ. ඔවුහු එසේ කළාහුය. මිනිස්සු අනුමෝදනා ආදිය අසමින් උනන්දු වී භික්ෂූන්ට ආරාධනා කර සත්කාර කරමින් හැසිරෙති. තීර්ථකයෝ අපි මුනි වරුන්ගේ මෝනෙය්‍ය බව නිහඩ බව රකිමු. භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ දානශාලවල මහා කථා පවත්වතියි ඝෝෂා කළහ.
බුදුහු මේ කරුණ අසා මහණෙනි ම නිහඬ වීම් පමණකින් මුනිවරයා යයි නො කියමි. ඇතැම් කෙනෙක් නොදන්නා නිසා කථානොකරති. ඇතැම් කෙනෙක් විශාරද නොවන නිසා කථානොකරති. ඇතැම් අය තමන් දන්නා දෙය අනෙක් අය දැන ගනිතියි මසුරු කම නිසා කථා නොකරති. එනිසා මෞණ මාත්‍රයෙන් මුනි නොවේ. පව් දුරලීම නිසාම මුනි නම් වේයයි පවසා මේ ගාථාව දේශනා කළහ.
අනුවණකම නිසා
වැඩිපුර කිසිත් නොදෙසා
“මුනිවත්” රැකි නිසා
මුනී වන්නේද ඔහු කෙලෙසා
සිතින් අකුසල පන්නා
උතුම් දේමම ගන්නා
දෙලොව ගුණ දන්නා
උතුමාම “මුනී” වන්නා
මෝඩ ගති ඇති අනුවණයා නිහඬව සිටි පමණින් මුනිවරයෙක් නොවේ. නුවණැති වු යමෙක් තරාදියක් ගෙන සිටියෙකු ලෙස උතුම් ගුණය ගෙන, පව් දුරුකරයි ද හේ මුනි නම් වේ. ඒ හේතුවෙන් මුනිවරයෙක් වේ. ආධ්‍යාත්මික වුත් බාහිරවුත් ආයතන සංඛ්‍යාත දෙලොව නුවණින් පිරිසිඳ දනීද ඒ හේතුවෙන් හෙතෙමේ මුනියයි කියනු ලැබේ.
එහි න මොනෙනාති - යනු පඤ්චකාමයන් තුනී කිරීම සඳහා දෙදිනක් එක් වනයක එක් ගමක එක් ගසක් යට නොසිට ක්‍රමයෙන් ඉදිරියට යන යෝගාවචරයාගේ ප්‍රතිපත්ති සංඛ්‍යාත වු මාර්ග ඤාණයම මොනෙය්‍ය නොහොත් මුනි නම් වේ. මෙහි වනාහි නිශ්ශබ්දතාවය සඳහාම මොනෙන යන්න කියන ලදී. (නෙය්‍ය ප්‍රතිපදාව - සුත්‍රනිපාතයේ නාලක සුත්‍රයෙහි දේශිත ප්‍රතිපදාවයි.)
මුළහ රුපොති - හරය නැති. අවිද්දසු යනු අවිඤ්ඤ නොදැනීම නිසා මෙබඳු වු තුෂ්ණිම්භුත භාවයෙන් මුනිනම් නොවේ. අනතුරුව නිහඩ බැවින් මුනි නම් නොවේ. හිස් බව හරයක් නැති බවම අවිඤ්ඤු යනෙන් අදහස් කෙරේ. යන අර්ථයි. යොචතුලංව පග්ගයහා යම්සේ තරාදියක් ගෙන සිටියේ අතිරේක දෙයක් අත්හැර ඌණ වු දෙයක් පුරවන්නා සේ අතිරේක දැ බැහැර කරන්නා සේ පාපය අත් හරිති. දුරු කරයි. අඩුදේ පුරන්නා සේ කුශලය පුරවයි. මෙසේ කරන්නේ සීල - සමාධි - පඤ්ඤා විමුක්ති - විමුක්ති ඥාණ දර්ශන සංඛ්‍යාත වරං - උත්තම යන අරුතයි. ආදාය පාපානි - අකුසල කර්මයි. පරිවජ්ජෙති ස මුනීති අත්හරින එතුමා මුනිවරයා යන අර්ථය දේ.
යො මුනාති උභො ලොකෙ යම් පුද්ගලයෙක් මේ ස්ඛන්ධ ධාතු ආයතන ඇතිලොව තරාදියට දමා මදින්නා සේ මේ ආධ්‍යාත්මික ස්ඛන්ධයි. මේ බාහිර ස්ඛන්ධයි යනුවෙන් මේ දෙවැදැරුම් අර්ථයෙන් මුනි නම් වේ. මේ කරුණෙන් මුනි නම් වේ. යන අරුතයි.