13-14. තීර්ථකයින්ගේ කථා පුවත
“ න මොනෙන” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී තීර්ථකයන් අරමුණු කරගෙන දේශනා කළහ.
ඔවුහු වනාහි අනුභව කළ ස්ථානයේදී මිනිසුන්ට ක්ෂේම වේවා. සුවය, සැපත වේවා. ආයු වැඩේවා අසවල් තැන මඩ ඇත. අසවල් තැන කටු ඇත. මෙබඳු තැන්වලට නොයන්නැයි මේ ආදි ක්රමයෙන් මංගල කරුණු කියාදී පිටත් වෙති. භික්ෂූන් වහන්සේ පඨම බෝධියේ දී අනුමෝදනා ආදි අනුමත නොවු කාලයේ වැළදු තැන මිනිසුන්ට අනුමෝදනා නොකොට පිටත්ව යති. මිනිස්සු අපි තීර්ථකයන් ලඟ මංගල කරුණු අසමු ස්වාමීන් වහන්සේලා නිහඩවම පිටවි යතියි. උදඝෝෂණ කළහ. භික්ෂූන් වහන්සේලා මේ කරුණ ශාස්තෲන් වහන්සේට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ මහණෙනි මෙයින් පසු දන්වැළඳු ස්ථාන ආදියේදි පහසුසේ අනුමෝදනා කරව්. උපනිසින්නක කථා ධර්මකථා කරන්නැයි අනුමත කළහ. ඔවුහු එසේ කළාහුය. මිනිස්සු අනුමෝදනා ආදිය අසමින් උනන්දු වී භික්ෂූන්ට ආරාධනා කර සත්කාර කරමින් හැසිරෙති. තීර්ථකයෝ අපි මුනි වරුන්ගේ මෝනෙය්ය බව නිහඩ බව රකිමු. භවත් ගෞතමයන්ගේ ශ්රාවකයෝ දානශාලවල මහා කථා පවත්වතියි ඝෝෂා කළහ.
බුදුහු මේ කරුණ අසා මහණෙනි ම නිහඬ වීම් පමණකින් මුනිවරයා යයි නො කියමි. ඇතැම් කෙනෙක් නොදන්නා නිසා කථානොකරති. ඇතැම් කෙනෙක් විශාරද නොවන නිසා කථානොකරති. ඇතැම් අය තමන් දන්නා දෙය අනෙක් අය දැන ගනිතියි මසුරු කම නිසා කථා නොකරති. එනිසා මෞණ මාත්රයෙන් මුනි නොවේ. පව් දුරලීම නිසාම මුනි නම් වේයයි පවසා මේ ගාථාව දේශනා කළහ.
අනුවණකම නිසා
වැඩිපුර කිසිත් නොදෙසා
“මුනිවත්” රැකි නිසා
මුනී වන්නේද ඔහු කෙලෙසා
වැඩිපුර කිසිත් නොදෙසා
“මුනිවත්” රැකි නිසා
මුනී වන්නේද ඔහු කෙලෙසා
සිතින් අකුසල පන්නා
උතුම් දේමම ගන්නා
දෙලොව ගුණ දන්නා
උතුමාම “මුනී” වන්නා
උතුම් දේමම ගන්නා
දෙලොව ගුණ දන්නා
උතුමාම “මුනී” වන්නා
මෝඩ ගති ඇති අනුවණයා නිහඬව සිටි පමණින් මුනිවරයෙක් නොවේ. නුවණැති වු යමෙක් තරාදියක් ගෙන සිටියෙකු ලෙස උතුම් ගුණය ගෙන, පව් දුරුකරයි ද හේ මුනි නම් වේ. ඒ හේතුවෙන් මුනිවරයෙක් වේ. ආධ්යාත්මික වුත් බාහිරවුත් ආයතන සංඛ්යාත දෙලොව නුවණින් පිරිසිඳ දනීද ඒ හේතුවෙන් හෙතෙමේ මුනියයි කියනු ලැබේ.
එහි න මොනෙනාති - යනු පඤ්චකාමයන් තුනී කිරීම සඳහා දෙදිනක් එක් වනයක එක් ගමක එක් ගසක් යට නොසිට ක්රමයෙන් ඉදිරියට යන යෝගාවචරයාගේ ප්රතිපත්ති සංඛ්යාත වු මාර්ග ඤාණයම මොනෙය්ය නොහොත් මුනි නම් වේ. මෙහි වනාහි නිශ්ශබ්දතාවය සඳහාම මොනෙන යන්න කියන ලදී. (නෙය්ය ප්රතිපදාව - සුත්රනිපාතයේ නාලක සුත්රයෙහි දේශිත ප්රතිපදාවයි.)
මුළහ රුපොති - හරය නැති. අවිද්දසු යනු අවිඤ්ඤ නොදැනීම නිසා මෙබඳු වු තුෂ්ණිම්භුත භාවයෙන් මුනිනම් නොවේ. අනතුරුව නිහඩ බැවින් මුනි නම් නොවේ. හිස් බව හරයක් නැති බවම අවිඤ්ඤු යනෙන් අදහස් කෙරේ. යන අර්ථයි. යොචතුලංව පග්ගයහා යම්සේ තරාදියක් ගෙන සිටියේ අතිරේක දෙයක් අත්හැර ඌණ වු දෙයක් පුරවන්නා සේ අතිරේක දැ බැහැර කරන්නා සේ පාපය අත් හරිති. දුරු කරයි. අඩුදේ පුරන්නා සේ කුශලය පුරවයි. මෙසේ කරන්නේ සීල - සමාධි - පඤ්ඤා විමුක්ති - විමුක්ති ඥාණ දර්ශන සංඛ්යාත වරං - උත්තම යන අරුතයි. ආදාය පාපානි - අකුසල කර්මයි. පරිවජ්ජෙති ස මුනීති අත්හරින එතුමා මුනිවරයා යන අර්ථය දේ.
යො මුනාති උභො ලොකෙ යම් පුද්ගලයෙක් මේ ස්ඛන්ධ ධාතු ආයතන ඇතිලොව තරාදියට දමා මදින්නා සේ මේ ආධ්යාත්මික ස්ඛන්ධයි. මේ බාහිර ස්ඛන්ධයි යනුවෙන් මේ දෙවැදැරුම් අර්ථයෙන් මුනි නම් වේ. මේ කරුණෙන් මුනි නම් වේ. යන අරුතයි.
දෙසුම අවසන බොහෝදෙන සෝවාන් ආදී ඵලයට පැමිණියහ.
15. බිලී බාන්නා පිළිබඳ කථා පුවත
“නතෙන අරියො හොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටියදී එක් “අරිය” මාළු බිලී බාන්නෙකු මුල්කරගෙන දේශනා කළ සේක.
එක් දිනක් තථාගතයන් වහන්සේ ඔහුගේ සෝවාන් ඵලයට පත්වීමේ හේතු සම්පත් දැක සැවැත් නුවර උතුරු වාසල ගම්දොර පිඬු පිණිස හැසිරී භික්ෂු සංඝයා පිරිවරා වැඩම කළහ. එකෙණෙහි මේ මාළු බිලිබාන්නා බිලී කොක්කෙන් මාළු ගන්නේ බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයා දැක බිලිපිත්ත වීසිකොට සිටියේය. බුදුහු ඔහුගේ නොදුරේ සිට ඔබේ නම කුමක්දැයි සැරියුත් තෙරුන් ආදීන්ගෙන් නම් විමසුහ. උන්වහන්සේලා ද මම සැරියුත් මම මුගලන් යනුවෙන් තම තමන්ගේ නම් පැවසුහ. බිලිබාන්නා මෙසේ සිතුවේය. බුදුහු සියල්ලන්ගේ නම් විමසති මගේ නමද අසනු ඇතැයි සිතමි බුදුහු ඔහුගේ අදහස දැන ගෙන උපාසක ඔබගේ නම කුමක්දැයි විමසුහ. ස්වාමීනි මගේ නම “අරිය” යි. පැවසුවිට උපාසකය ඔබ වැනි ප්රාණඝාත කරන අය අරියනම් නොවෙති. අරියෝ නම් මහජනයාට අවිහිංසක භාවයේ සිටියෝ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
දස අකුසල් කරන - පුගුලා අරි නොවේමැයි
අහිංසාවෙන් යුතු - පුගුලාම අරිය වන්නේ
අහිංසාවෙන් යුතු - පුගුලාම අරිය වන්නේ
ප්රාණීන්ට හිංසා පමුණුවන අය ආර්ය නොවෙති සියළු ප්රාණීන්ට හිංසා පීඩා නොකරන්නා අරිය නමින් හැඳින් වෙයි.
එහි අහිංසා - යනු හිංසා නොකිරීමෙන් - මෙසේ හැඳින්වේ. යම් කෙනෙකු විසින් සියළු ප්රාණීන්ට හිංසා කෙරේද ඉන් අරිය නම් නොවේ. යම් කෙනෙක් සියළු ප්රාණීන්ට අත් ආදියෙන් හිංසා පීඩා නොකර මෙත්රී ආදී භාවනා වෙන් පිහිටීම නිසා හිංසා වෙන් වෙන්වී සිටීම නිසාම මෙතෙමේ අරිය නම් වේ. යයි දත යුතු යන අර්ථයි.
දේශනය කෙළවර බිලිබාන්නා සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි අයට දෙසුම සාර්ථක විය.
16-17. බොහෝ භික්ෂූන් පිළිබඳ කථා පුවත
“ න සීලබ්බත මත්තෙනා” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී බොහෝ සීලාදී ධර්මයන්ගෙන් යුත් භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළසේක.
මෙම භික්ෂූන් අතර ඇතැම් අයට මෙබඳු සිත් ඇති විය. අපි සීල සම්පන්නවෙමු. අපි ධුතාංගධාරිහු වෙමු. අපි බහුශ්රැත වෙමු. අපි පන්ත සේනාසන වාසී වෙමු. අපි ධ්යාන අභිඥාලාභී අය වෙමු. අපි අර්හත්වය දුර්ලභ නොවෙමු. කැමති දිනෙක රහත් බවට පත්වන්නෙමු. අනාගාමීව සිටිය භික්ෂූන් දැන් අපට අරිහත්වය දුර්ලභ නොවේ යනුවෙනි.
මේ සියල්ලෝම එක් දිනක් බුදුන්වෙත පැමිණ වැඳ එකත්පසෙක සිටියදී මහණෙනි ඔබ හැම පැවිදි කාර්යයන් ඉටුකර ගත්තා නොවේදැයි බුදුන් විසින් විමසන ලද්දේ, මෙසේ කීවාහුය. ස්වාමීනි අපි මෙබඳු වෙමු මෙබඳුවෙමු. එනිසා අපි කැමති කැමති ක්ෂණයක අර්හත්වයට පැමිණීමට සමර්ථ වෙමුයි සිතා වාසය කරමු.