4. තුන්වැනි වූ ඒකුදාන තෙරුන්ගේ කථා පුවත
“නතාවතා” යන මේ ධර්මදේශනය බුදුහු දෙව්රම වැඩ සිටියදී ඒකූදාන නම් රහත් තෙරනමක් නිමිති කරගෙන දේශනා කළහ.
උන්වහන්සේ හුදකලාවම එක වන රොදක එකම උදානයක් ප්‍රගුණ කරමින් වැඩ වාසය කරයි.
අධි චේතනා ඇති ප්‍රමාද නොවන මෞණ පථයේ හික්මුණ මුණිවරයා ශෝක නොකරයි. උපශාන්තවූ සදා සිහි ඇති එබඳු තැනැත්තා මනා සිහියෙන් යුතුව වසන ශාන්ත වු සන්සුන් පැවතුම් ඇත්තෝ වෙති.
උන්වහන්සේ උපෝසථ දිනවල තමන්ම ධර්ම ශ්‍රවණයට ඝෝෂාකර මේ ගාථාව පවසති. පොළව පැලෙන ලෙසට දෙවියන්ගේ සාධුකාර ශබ්දය ඇතිවේ. අනතුරුව පෙහෙවස් දිනෙක පන්සිය බැගින් පිරිවර කොට ත්‍රිපිටකධාරී භික්ෂූන් දෙනමක්, උන්වහන්සේ වෙසෙන තැනට ගියාහුය. උන් වහන්සේ මේ පිරිස දුටුවිටම සතුටු සිත් ඇතිව මෙහි පැමිණිමෙන් ඔබ වහන්සේලා යහපතක්ම කළාහුයයි පැවසුහ. අපි අද ඔබ වහන්සේස්ලාගේ ධර්මදේශනය අසමුයි කීවෝය. ස්වාමීනි මෙහි බණ අසන අය නැත. ස්වාමීනි මේ වන ලැහැබ බණ අසන දිනයේදී දෙවියන්ගේ සාධුකාර ශබ්දයෙන් එකකින් නාදවේ. ත්‍රිපිටකධාරි භික්ෂූන් දෙනම අතරින් එක් ත්‍රිපිටකධර භික්ෂුවක් ධර්ම දේශනා කිරීම සඳහා ධර්ම ඝෝෂාව කළහ. එක් භික්ෂුවක් පාලිපාඨ පැවසුහ. එක් දෙවියෙක් හෝ සාධු කාර නොදුන්නේය.
එවිට එම භික්ෂූන් - ඇවැත්නි ඔබ වහන්සේ ධර්මදේශනා දිනයේදී මේ වන ලැහැබ මහත් හඩින් සාධුකාර දෙති. මේ කුමක්දැයි පවසන්නැයි කිවාහුය. ස්වාමීනි අනෙක් දිනවලදී සාධුකාර දීමෙන් එකට ඝෝෂාවක් පවතී. අද නම් මේ කුමක් වීදැයි මම නො දනිමි. ඇවැත්නි එසේනම් ඔබ පළමුව ධර්මය දෙසනු මැනව. උන්වහන්සේ විජිනි පත ගෙන අසුන්නේ හිඳ වෙනදා කියන ගාථාවම පැවසුවේය. දෙවිවරු මහත් හඩින් සාධුකාර දුන්හ. ඉක්බිති ඒ පරිවාර භික්ෂූහු හඬනැගුහ. මේ වන ලැහැබේ දෙවියෝ මුහුණ බලා භික්ෂාව දෙන්නාක් වැන්න. ත්‍රිපිටක ධාරී භික්ෂූන් මෙපමණ දේශනා කරද්දීත් කිසි හඩක්. සාධුකාරයක් හෝ නොකියා මේ මහළු තෙරුන් විසින් එකම ගාථාවක් පැවසුවිට මහා හඩින් සාධුකාර දෙති. ඔවුහු විහාරයට ගොස් බුදුන්ට මේ කරුණු දැක්වුහ.
මහණෙනි මම බොහෝ කොට කියන හෝ බොහෝ කොට ඉගෙන ගන්නා අය මම ධර්මධරයයි නොකියමි. යම් කෙනෙක් එකම ගාථාවක් හෝ ඉගෙන සත්‍ය අවබෝධකර ගනිද මේ තැනැත්තා ධර්මධර යයි මම කියමි මේ ලෙස පවසා මෙම ගාථාව දෙසුහ.
ටිකක් පවසන්නේ
සිවිසස් මැනව දන්නේ
බොහෝ නො කියන්නේ
ඔහුම දම්දර තෙරහු වන්නේ
බොහෝ කොට කියන්නේද එයින්ම ධර්මධර යෙක් නොවේ. යම් කෙනෙක් පවු දෙයක් අසා සිව්සස් දකිද එසේ ප්‍රමාද නොවන තැනැත්තා ඒකාන්තයෙන් ධර්ම ධරයෙක් වන්නේය.
තත්ථ යාවතාති - එහි යම් පමණකින් ඉගෙනීම දැරීම වාචනා ආදී කිරීමෙන් බහු භාසති තාවතා ධම්මධරො න ඔහු වංශය රකින්නෙක් ප්‍රවේණිය රකින්නෙක් නම් වේ. යොච අප්පම්පි - යම් කෙනෙක් ස්වල්පයක් හෝ අසා ධර්මය දැන - අර්ථය දැන ධර්මය අනුව පිළිපදිනෙක් වී නාම කායයේ දුක් ආදිය දන්නේ චතුරාර්ය සත්‍යය දන්නේද සවෙ ධම්මධරො - ඔහුම ධර්මධර නම් වේ. යොධම්මං නප්පමජ්ජති පටන්ගත් විර්ය ඇතිව ප්‍රතිවේධය අදයි අදයි අපේක්ෂා කරන්නා. ධර්මයෙහි ප්‍රමාද නොවේ. මේ තැනැත්තාද ධර්ම ධර වේ යන අර්ථයි
දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පැමිණියහ.
5-6. ලකුණ්ටක භද්දිය තෙරුන්ගේ කථා පුවත
“නතෙන ථෙරො හොති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටියදී ලකුණ්ටක භද්දිය තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් එම තෙරුන් බුදුන්ට උවටැන් කර ආපසු එන අතරදී තිහක් පමණ ආරණ්‍යක භික්ෂූන් වහන්සේ දකිමින්ම අවුත් බුදුන් වැඳ වාඩිවුහ. බුදුහු උන්වහන්සේලාගේ රහත් වීමේ හේතු සම්පත් දැක. මේ ප්‍රශ්නය ඇසුහ. මෙයින් පිටත්ව ගිය තෙරුන් වහන්සේ දැක්කෝද? නොදැක්කෙමු ස්වාමීනි. කවරෙක්වත් නොදුටුවේද? එක් සාමණේර නමක් දුටුවෙමු. මහණෙනි ඔහු සාමණේරයෙක් නොවේ. ඔහු ථෙරනමක්මය. ස්වාමීනි ඉතා කුඩාය. මහණෙනි මම මහළු වීම් පමණකින්, ථේර ආසනයේ වැඩිවී සිටීම නිසාම ථේරයයි. නොකියමි. යමෙක් සත්‍යය අවබෝධ කරගෙන මහජනයාට අහිංසක භාවයේ සිටි තැනැත්තා මේ තෙරුන් යයි පවසා මේ ගාථාව දෙසුහ.
කෙටික ඉදුනු පමණින් මහ තෙර නොවනු
අවිහිංසාව, තිර බව - ඉඳුරන් දැමුනු
සිව්සස් දමින් සංයමයෙන් සිත පිරුණු
උතුමානෝම “තෙර” නාමෙන් පිළි ගැණුනු
කෙස් පැසුන පමණින් තෙරනමක් නොවේ. මුහුකුරා ගිය වයස් ඇති. අඥාන මහල්ලායි කියනු ලැබේ.යමෙක් කෙරෙහි සත්‍යයද චතුරාර්ය ධර්මයද අවිහිංසාවද සඤ්ඤමහා දමනය වේද වමාරා දැමු කෙලෙස් ඇති ප්‍රාඥයා තෙරුන් යයි කියැවේ.
එහි පරිපක්ක - නම් දිරාගිය වෘද්ධම්සභාවයට පත්වූ යන අරුතයි. මොඝජිණ්ණ නම් ඇතුලත ථෙරකාරි ධර්මයන් නොමැති හෙයින් හිස් වෘද්ධයෙක්. පමණි යමහි සච්චඤච ධම්මො යයි පුද්ගලයන් කෙරෙහි සොළොස් ආකාරයෙන් අවබෝධ කරගත් නවවිධ ලෝකෝත්තර ධර්මය ඇති ද. අහිංසාති. හිංසා නොකරන ස්වභාවයයි. දේශනා මාත්‍රය පමණි. යම් කෙනෙක් කෙරෙහි චතුර්විධ නුවණින් අවබෝධකරගත් අප්ප මඤ්ඤා භාවනා ඇති. යන අර්ථයි. සඤ්ඤමො දැමුණු - යනු සීලයෙහි මෙන්ම ඉන්ද්‍රිය සංවරය අදහස් කෙරෙයි. වන්තමල නම් මාර්ග ඤාණයෙන් ඉවත් කළ කෙළෙස් ඇති යන්නයි. ධීර - නම් ධෛර්ය සම්පන්න බවයි. ථෙරො - ඔහු මේ තුරුණු ස්ථිරභාව කරනයෙන් යුක්ත හෙයින් “ථේර” නමින් හැඳින්වේ යන අර්ථයි.