5. එක්තරා බ්‍රාහ්මණයෙක් පිළිබඳ කථා පුවත
“අනුපුබ්බෙන” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී එක්තරා බ්‍රාහ්මණයෙකු නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු එක් දිනක් උදයේම නික්මී භික්ෂූන් සිවුර පොරවන තැන භික්ෂූන් සිවුරු පොරවන අයුරු බලමින් සිටියේය. එම ස්ථානය තණකොළ වැඩුන තැනක්විය. ඉක්බිති එක් භික්ෂුවකගේ සිවුරු කොන තණ මත වැටී දියබිඳුවලින් තෙමුණි. බ්‍රාහ්මණයා මෙම ස්ථානය තණ කොළ ඉවත් කිරීම වටීයයි දෙවන දින උදැල්ලක් රැගෙන ගියේ එම ස්ථානය සැස තණ ඉවත් කළ කමතක් සේ කළේය. දෙවන දවසේ පැමිණ භික්ෂූන් සිවුර පොරවන විටදී එක් සිවුරු කොනක් බිම වැටී පස් හැවීම දුටු නිසා මෙහි වැලි විසුරුවිම වටීයයි සිතා වැලි ගෙන අවුත් විසුරවාලීය.
ඒ අතර දිනක් පෙරවරුවේ සැඩ හිරුඑළිය වැටුනි. එදින ද භික්ෂූන් සිවුරු පෙරවන විට භික්ෂූන්ගේ සිරුරේ දහඩිය පෙරෙනු දැක මණ්ඩපයක් කිරීම වටීයයි සිතා මණ්ඩපයක් කළේය. නැවත දිනෙක අළුයම වැස්සක් පතිතවුනි. අහස වැහි වළාකුළුවලින් බරිත විය. එදිනද බමුණා භික්ෂූන් බලා මෙහිද සාලාවක් කිරීම සුදුසුයයි සිතා ශාලාවක් කරවා මෙම ශාලාවේ උත්සවයක් කරන්නෙමියි සිතා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට ආරාධනා කර ඇතුළ ද පිටත ද භික්ෂූන් වාඩි කරවා දන් දී බත්කිස අවසන අනුමෝදනා සඳහා බුදුන්ගේ පාත්‍රය ලබාගෙන ස්වාමීනි මම භික්ෂූන් වහන්සේලා සිවුරු පෙරවන අවස්ථාවේදී මෙතැන බලමින් සිටියේ මේ කරුණු දැක මේ මේ දේ ඉටු කළෙමිය මුලසිට සියළු පුවත්. දැක්වීය. බුදුහු ඔහුගේ වචන අසා බ්‍රාහ්මණ පඬිවරයා ටිකෙන් ටික ක්‍ෂණයක් පාසා කුශල් කරමින් පිළිවෙළින් තමන්ගේ අකුශල් මුල් බැහැර කරන්නේ යයි පවසා මේ ගාථාව දෙසුහ.
රත්කම් කරන රත්කරු දවසකින් එක
රන් මාලයක් නො තනන මෙන් රුවන් රැක
පින්කම් කරන විට කරමින් ටිකින් ටික
නැණවත් ගතිය අකුසල් මුල් නසන එක
නුවණැත්තා පිළිවෙලින් ටික ටික රන්කරු රිදියේ කිළිටි හරින්නාක් මෙන් තම අකුශල දුරුකරයි.
එහි අනුපුබ්බේන යනු පිළිවෙලින් මෙධාවිනි ධර්මයේ නුවණින් යුතු ක්ෂණයක් පාසා කුසල් කරයි. තමාගේ රජත සෙස්වා රන් කරුවා එක්වරම රන් රත්කොට තලා කිළිටි වෙන්කර පළඳනාවක් කිරීමට සමත් නොවේ නැවත නැවත තවමින් තලමින් මළ බැහැර කරයි. ඉන් අනතුරුව අනේකවිධ පළඳනා කරයි. මේලෙසට නැවත නැවත කුසල් කරන්නේ නුවණැත්තා තමන්ගේ රාගාදි මළ බැහැර කරන්නේය. මෙසේ බැහැර කළ මළ ඇති තැනැත්තා කෙලෙස් නැති බවට පත්වේ යන අර්ථයි.
දෙසුම අවසන බ්‍රාහ්මණයා සෝවාන් ඵලයේ පිහිටියේය. මහජනයාට ද මේ ධර්ම දේශනය සාර්ථක විය.
6. තිස්ස තෙරුන් පිළිබඳ කථා පුවත
“අයසාව මලං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටියදී තිස්ස නම් වූ තෙරනමක් නිමිති කරගෙන දේශනා කළහ.
සැවැත් නුවරවාසී එක් කුල පුත්‍රයෙක් පැවිදි වී උපසම්පදා වුයේ තිස්ස තෙරුන් ලෙසට ප්‍රසිද්ධ විය. ඔහු පසුකාලයේදී ජනපද විහාරයක වස් සමාදන් වුවේ අටරියනක් වු මහ සළුවක් ලැබ වස් පවරා එය රැගෙන ගොස් සොහොයුරියගේ අතේ තැබීය. ඇය මේ සලුව සහෝදරයාට නොගැළපේයයි එය තියුණු දැලි පිහියකින් සිඳ තීරු තීරු බවට පත් කොට වනේ කොටා වෙන්කර පෙළා වට කොට සියුම් නුල් බවට පත්කර කැට සළුවක් මැසීය. තෙරුන් ද නුල් හා ඉදිකටු ද සපයා සිවුරු මසන තරුණ භික්ෂූන් කැඳවා සොහොයුරිය වෙතට ගොස් මට ඒ සළුව දෙන්න. සිවුරක් මසමියි පැවසුවේය. ඈ නවරියන් සළුව බැහැර කොට කණිටු සොහොයුරාගේ අතේ තැබුවේය. ඔහු එය ගෙන විසුරුවා බලා මගේ සළුව මහත්ය රියන් අටකි. මෙය සියුම්ය රියන් නවයකි. මෙය මගේ සළුව නොවේ. මෙය ඔබගේය මට මෙයින් වැඩක් නෑ. ඒ මගේ වස්ත්‍රයම දෙන්නැයි ඉල්ලීය ස්වාමීනි මෙය ඔබේමය ගන්නැයි පැවසුවාය. එම භික්ෂුව එයට කැමති නොවීය. අනතුරුව තමන් කළ සියළු දෑ දැනුම් දී ස්වාමීනි මෙය ඔබවහන්සේගේය ගන්නැයි පැවසුවේය. තෙරුන් එය විහාරයට ගොස් සිවුර කිරීමට තැබීය.
අනතුරුව සොහොයුරිය සිවුර මසන අයට කැඳබත් ආදිය පිළියෙළ කළාය. සිවුර නිමකරන දින අතිරේක සත්කාර කළාය. ඔහු සිවුර දෙස බලා එහි හටගත් සෙනෙහෙ ඇත්තේ මෙය හෙට පොරවන්නෙමියි ගෙන සිවුරු දමන උණ ලීයේ දමා සිටියදී එදින රාත්‍රියේ අජිරණයක් සැදී කළුරිය කොට එම සිවුරේ හිණි කුනෙකු වී ඉපදුනි. සොහොයුරිය ද උන්වහන්සේගේ අපවත්වීම අසා භික්ෂූන් ගේ පා ළඟ වැටී හැඬුවාය. භික්ෂූන් වහන්සේලා අපවත් වු හිමියන්ගේ දේහය අදාහනය කළහ. පසුව උපස්ථායකයෙක් නොසිටි නිසා මේ සිවුර සංඝයාට අයත් වේ මෙය දෙමියි, සිවුර ගෙන ගියහ. ඒ ගිණි කුණා මොවුන් මා සන්තකවු සිවුර පැහැර ගනිතිය කෑගසමින් ඔබ මොබ දුවත්. බුදුහු ගඳ කිළියේ සිටිමින්ම දිවකනින් මේ ශබ්දය අසා ආනන්ද තිස්ස තෙරුන්ගේ චීවරය සත්දිනක් එක් තැන තබන්නට නියම කරන ලෙස පැවසුහ. තෙරුන් වහන්සේ එසේ කළහ. හිණි කුණා ද සත්වන දිනයේ කළුරිය කොට තුසිත විමානයේ පහළවිය. බුදුහු අටවැනි දා තිස්ස තෙරුන්ගේ සිවුර බෙදා ගන්නැයි අණකළහ. භික්ෂූන් වහන්සේලා එසේ කළහ.