15. ආනන්ද තෙරුන් විමසු ප්‍රශ්න පිළිබඳ කථා පුවත
“දුල්ලභො” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම විහරණය කරමින් ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න නිමිති කරගෙන වදාළහ.
තෙරුන් වහන්සේ එක් දිනක් දිවා විහරණයේ සිටිමින් සිතූහ. ආජානීය ඇතුන් ජද්දන්ත කුලයේ හෝ උපෝසථ කුලයේ හෝ උපදිති. ආජානීය අසුන් සෛන්ධව කුලයේ හෝ වළාහක රාජකුලයේ හෝ ඇතිවන්නේද දක්‍ෂිණා පථයේද? ආදිය කියනවිට බුදුරජාණන් වහන්සේ විසින් ආජානීය ඇතුන් ආදීන්ගේ උපන්තැන් පවසන ලදී ආජානීය පුරුෂයන් කොහේ උපදිත්දැයි උන්වහන්සේ බුදුන්වෙත එළඹ වැඳ මේ කරුණු විමසූහ. බුදුරජාණන් වහන්සේ ආනන්ද අජානීය පුරුෂයෝ හැමතැනම පහළවන්නේ නැත. ඍජුව දිගින් යොදුන් තුන්සියයක් පළලින් යොදුන් නවසීයයක් පමණ වු මජ්‍ඣිම ප්‍රදේශයේ පහළ වෙති. ඒ ඒ කුලවලත් පහළ නොවෙති. බත්තිය මහා සාල කුලයේ හෝ බ්‍රාහ්මණ මහාසාල කුලයේ උපදිතියි පවසා මේ ගාථාව දේශනා කළහ -
ධීර වීර දූ පුතුන් - ඉපදුම ලොවේ දුලබයි.
එසේ උපදින පවුල - යසස්පිරි මහාසාලය
“දුල්ලභො” යනු ආජානීය පුරුෂයන් දුර්ලභය ආජානීය ඇතුන් අසුන් මෙන් සුලභ නොවේ. නසො සබ්බත්ථ - ප්‍රත්‍යන්ත දේශවල හෝ පහත් කුලවල හෝ පහළ නොවේ. මධ්‍යම දේශයේ මහජනයා වැඳීම් පිදීම් ආදිය කරන ස්ථානවල ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ආදී කුලවලින් එකක පහළ වේ. යත්ථ සො ජායති ධීරො මෙසේ ඇතිවන ඒ උතුමන් මහාප්‍රාඥ සම්මා සම්බුද්ධයි තං කුලං සුඛමෙධතී යනු සුවයට පත්වේය යන අර්ථයි.
මේ දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ආදී ඵලයන්ට පැමිණියහ.
16. බොහෝ භික්ෂූන්ගේ කථා පුවත.
“සුඛො බුද්ධානං” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී බොහෝ භික්ෂූන්ගේ කථාවක් නිමිති කරගෙන දේශනා කළහ.
එක්දිනක් පන්සියයක් භික්ෂූන් උවටැන් ගාලාවේ සිටියේ ඇවැත්නි මෙලොව සැප නම් කුමක්දැයි කථාවක් ඇති කළහ. කෙනෙක් රාජ්‍ය සැප සමාන සුවයක් නැතැයි කීවාහුය. කෙනෙක් කම් සුව ආදීය සමාන සුවයක් නැතැයි පැවසුහ. බුදුහු ඒ භික්ෂූන් සිටිතැනට වැඩමකර මා පැමිණීමට පෙර කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි විමසා වෙනම කථාවකැයි පැවසු විට කුමක් පවසව්ද මේ සියළු සැප සසර දුකට පිළිපන්නේ ඒවායි. පවසා මෙලොව බුද්ධෝත්පාදය, ධර්මය ඇසීම සංස සමගිය සතුටු සාමිචි බව මෙයම සැපයැයි පවසා මේ ගාථාව පැවසුහ.
බුදුන් ලොවැ ඉපදුම
නිතර බුදුබණ ඇසුමද
මහ සඟනැ සමගිය
සමගි සඟනගෙ තපස සුවමය.
“බුදුවරුන්ගේ උපත සැපයකි. ධර්මදේශනය සැපයකි සංඝයාගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකැයි පැවසුහ.”
එහි යම් හෙයකින් බුදුන් ඉපදෙනවිට මහජනයා රාග කාන්තාර ආදීයෙන් එතර කරති. මේ නිසා බුද්ධානං උප්පාදො සුඛො බුදුන්ගේ උපත සුවයකි. යම් හෙයකින් ධර්ම දේශනය ජාත්‍යාදී ධර්මයන්ගෙන් මිදෙති නිසා සද්ධම්ම දෙසනා සුඛා ධර්මදේශනය සුවයකි. සාමග්ගි යනු සමගි චිත්තයයි. ඒ එක සිත් ඇති බව ද සුවයකි. සමගිවූවන්ගේ එකග වූ සිත නිසා බුද්ධ වචනය ඉගෙනීමට ධූතංග දැරීමට ශ්‍රමණ ධර්ම කිරීමට හැකිවේ. එහෙයින් සමග්ගානං තපො සුඛො යන්න කියන ලදී. එනිසාම බුදුරජාණන් වහන්සේ විසින් යම්සේ භික්ෂූන් සමගිව රැස් වේද, සමගිව විසිරේද සංස කරණීය කරන්නේ ද වෘද්ධියක්ම ඇතිවේ. එයම අපේක්ෂා කළ යුතුය. පරිහාණියක් ඇති නොවේ.
දේශනය අවසානයේ ඒ භික්ෂුහු රහත් ඵලයට පත්වූහ. මහජනයාටද දේශනය සාර්ථක වුහ.
17-18. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ රන්චේතිය පිළිබඳ කථා පුවත
“පුජාරදහෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ චාරිකාවේ යෙදෙමින් කාශ්‍යප දසබලයන් වහන්සේගේ රන්වන් සෑයක් නිමිති කරගෙන දේශනා කළහ.
තථාගතයන් වහන්සේ සැවැත් නුවරින් නික්මී පිළිවෙළින් බරණැසට වඩින්නේ අතරමග තෝදෙය්‍ය ගම සමීපයේ පිහිටි එක්තරා දේවස්ථානයකට මහාසංඝයා පිරිවරාගෙන වැඩම කළහ. එහි තථාගතයන් වහන්සේ වාඩි වී ආනන්ද තෙරුන් යවා නොදුරේ ගොවිතැනේ යෙදී සිටි බමුණෙක් කැඳ වුහ.
එම බමුණා පැමිණ බුදුන්ට නොවැඳම ඒ දේවස්ථානයට වැඳ සිටියේය. සුගතයන් වහන්සේද? බ්‍රාහ්මණය මේ ප්‍රදේශය කවර ස්ථානයක් ලෙස සිතන්නේදැයි විමසුහ. අපගේ ප්‍රවේණියෙන් පවතින චෛත්‍ය ස්ථානයකි එනිසා වඳිමියි පැවසීය. මේ ස්ථානය ඔබ වැඳීමෙන් යහපතක් කරන ලැදැයි බ්‍රාහ්මණයා පසසා සතුටු කළේය. මේ කරුණ අසා භික්ෂූන් වහන්සේලා කිනම් කරුණක් නිසා බුදුහු ප්‍රසාදයට පත්කළේදැයි සැකයක් ඇතිකර ගත්හ. අනතුරුව තථාගතයන් වහන්සේ උන්වහන්සේලාගේ සැකය දුරු කරණු සඳහා මජ්ඣිම නිකායේ සඳහන්වන ඝටීකාර සුත්‍රය දේශනා කර ඍධි බලයෙන් කාශ්‍යප බුදුන්ගේ යොදුනක් උස් වු රන් චේතිය හා අනෙක් චෛත්‍යයක් අහසේ මවා මහ ජනයාට දක්වා බ්‍රාහ්මණය මෙබඳුවු ථූපාර්හ පුද්ගලයන්ට පුජා කිරීම යුතුකමකැයි පවසා මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් වන පරිදි බුද්ධාදීන්ට සතර ස්තූප කිරිමට සුදුසු ථූපාර්හ පුද්ගලයන් සිව්දෙනා පවසා - ශාරීරික චෛත්‍ය උද්දෙසික චෛත්‍යය පාරිභෝගික චෛත්‍යය විශේෂයෙන් විස්තර කර දී මේ ගාථාව පැවසුහ.