8. පේසකාර දුවනිය පිළිබඳ කථා පුවත
“අන්ධ භූතාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ අග්ගාලව චෛත්‍යස්ථානයේ වැඩසිටියදී එක් පේශකාර දුවනියක් අරමුණු කොට පැවසුහ.
එක් දිනක් අලව් නුවර වැසියෝ බුදුහු අලව් නුවරට පැමිණි පසුව ආරාධනා කර දානයක් පිරිනැමුහ. බුදුරජාණන් වහන්සේ දන්වළදා අවසන අනුමෝදනා කරමින් ජීවිතය ස්ථීර නොවේ. මරණය ස්ථිරය. අප විසින් අවශ්‍යයෙන්ම මරණයට පත්විය යුතුය. මගේ ජීවිතය මරණයෙන් කෙළවර වේ. ජීවත් වීම නියත නොවේ. මරණය නියතය. යනුවෙන් මරණ සතිය වඩන්න. යම් කෙනෙක් මරණ සතිය නොවඩන ලද්දේද? ඔවුන් පසුකලෙක ආශිර්විෂයෙකු දැක බිය වූ පුරුෂයෙක් ලෙසට සන්තාපයට පත්ව බියකරු හඬ නංවමින් කළුරිය කරති. යම් කෙනෙක් මරණ සතිය වඩන ලද්දේද ඔවුහු නාගයෙකු දුරදිම දැක දණ්ඩකින් ගෙන විසිකරන පුද්ගලයෙක් සේ අවසන් කාලයේදී ත්‍රස්ත නොවෙති. එනිසා මරණ සති භාවනාව වැඩිය යුතුයයි පැවසූහ. මෙම ධර්ම දේශනය අසා අනෙක් ජනයා තම කටයුතුවල යෙදෙමින්ම සිටියහ. නමුත් එක් සොළොස් වියැති පේෂකාර දුවනියක් අහෝ බුද්ධ දේශනය නම් කෙතරම් ආශ්චර්ය ද, මවිසින් මරණ සතිය වැඩිය යුතුයයි සිතා දිවා රාත්‍රි මරණ සති භාවනාව වැඩුවාය. බුදුරජාණන් වහන්සේද අග්ගාලව චෛත්‍ය ස්ථානයෙන් නික්මී දෙව්රමට වැඩම කළහ. එම යුවතිය ද අවුරුදු තුනක් මරණ සතිය ම වැඩුවාය.
එක් දිනක උදැසන බුදුරජාණන් වහන්සේ ලොව බලන්නේ එම කුමරිය තමන් වහන්සේගේ ඥාණ දැලට හසුවුවාය. මෙසේ දැක කුමක් වන්නේදැයි සිහිකරන්නේ මෙම කුමරිය විසින් මගේ ධර්මදේශනයෙන් පසුව වසර තුනක් මරණ සති භාවනාව පුරුදු කරන ලද්දේය. දැන් මම ඇය වෙතගොස් ඇගෙන් ප්‍රශ්න හතරක් විමසා ඒවාට ඇය පිළිතුරු දුන්විට සිව්වරක් සාධුකාර මෙම ගාථාව පවසන්නෙමි. ගාථාව අවසන ඇය සෝවාන් ඵලයේ පිහිටන්නේ යයිද එහියාම මහජනතාවටද සාර්ථක දේශනයක් වන්නේ යයි දැන පන්සියයක් භික්ෂූන් පිරිවරා දෙමින් නික්මී පිළිවෙලින් අග්ගාල විහාරයට වැඩම කළහ. අලෙවි ගම් වැසියෝ බුදුන් වැඩම කළහයි අසා විහාරයට ගොස් ආරාධනා කළහ. ඒ කුමරියද බුදුන්ගේ ආගමනය අසා මගේ පියා මගේ ස්වාමී වූ ආචාර්යන් වහන්සේ පුන්සඳවන් මුහුණ ඇති ගෞතම බුදුපියාණන් වහන්සේ වැඩම කළේ යයි සතුටු සිත් ඇතිව මෙයට වසර තුනකට පෙර දුටු ඒ රන්වන් බුදුරජාණන් වහන්සේගේ රන්වන් සිරුර දැකීමටත් මිහිරි උතුම් ධර්මය ඇසීමට ලැබෙන්නේ යයි සිතුවාය.
මෙහිදී ඇගේ පියා ද එදින වැඩට පිටත් වෙමින් දියණියනි අන් කෙනෙකුට දිය යුතු සළුවක් විවීමට පටන් ගෙන ඇත. වියතක් පමණ තව ඉතිරිවී තිබේ. එය අදම අවසන් කරන්නෙමි. ඉක්මනින් නූල් ඔතා ගෙන එන්නැයි පැවසුවේය. ඇය මෙසේ සිතුවාය. මම බුදුබණ අසනු කැමතිය. පියා ද තසරය ගැන කිවේය. මම බණ අසමිද? නැතහොත් නූල් ඔතා ගෙනයන්නේද නූල් පන්දුව ගෙන ගියේ නැත්නම් පියා මට තලන්නේය. පහරදෙන්නේය. ඒ නිසා නූල් පන්දුව ඔතා ගෙන ගොස් ඔහුට දී පසුව ධර්මය අසන්නෙමියි. පුටුවක වාඩිවී නූල් පන්දුව එතුවාය.
අලව් වාසිද බුදුන්ට දන් පිළිගන්වා පාත්‍රයගෙන අනුමෝදනය ඇසීමට වාඩිවීසිටියහ. බුදුරජාණන් වහන්සේද, මම යම් කුල දුවක් නිසා තිස්යොදුන් මග ගෙවාගෙන මෙහි පැමිණියේද අදත් ඇයට අවකාශ නො ලැබෙන්නේය ඇයට ඉඩ අවකාශ ලැබුනවිට ධර්ම දේශනය කරනෙමියි නිහඩව සිටියා මෙලෙස නිහඩව සිටින විට දෙවියන් සහිත ලොව කිසිවෙකුටත් කිසිවක් කියන්නට නො හැකිය. ඒ කුමාරිකාවද පන්දුව නූල්මත පැසක තබා පියා සමීපයට යන්න - පිරිස් කෙළවරට ගොස් බුදුන් දෙස බලමින්ම සිටියාය. බුදුරජාණන් වහන්සේද ගෙල ඔසවා ඇය දෙස බැලුහ. ඇය බලාසිටින අයුරින්ම දැනගත්තාය. බුදුහු මෙබඳු පිරිසක් අතර සිටියදී මදෙස බලන්නේ මගේ ගමන අපේක්ෂා කරති. ඇය නූල් පන්දුව ඇති පැස තබා බුදුන් වෙතට ගියාය. බුදුරජාණන් වහන්සේ ඇය දෙස බැලුවේ කුමක් වෙයිද? උන්වහන්සේට මෙබඳු අදහසක් ඇතිවිය. ඇය මෙසේ යාමෙන් පුහුදුන් කෙනෙක් ලෙසට කළුරිය කොට අනියත ගතික වන්නීය. මා වෙත පැමිණ යන්නේ නම් ඇය සෝවාන් ඵලයට පත්ව ඒකාන්ත ගතිකව මරණයෙන් පසුව තුසිත දෙව්ලොව උපදින්නීය. ඇගේ එදින මරණයෙන් මිදීමක් නැත. ඇය බුදුන් බැලු පමණින් බුදුන් වෙත එළඹ ෂඞ්වර්ණ රශ්මිය අතරට පිවිස වැඳ එකත් පසෙක සිටියාය. එබඳු පිරිසක් අතර වාඩිවී නිහඩට සිටි තථාගතයන් වහන්සේ වැඳ සිටි අවස්ථාවේදීම බුදුරජාණන් වහන්සේ මෙලෙස විමසූහ. දැරිය කොහි සිට ආවේද? ස්වාමීනි නොදනිමි. කොහියන්නේද? ස්වාමීනි නොදනිමි. නොදන්නේද? දනිමි ස්වාමීනි. නො එසේනම් දන්නේද? නොදනිමි ස්වාමීනි. මේලෙසට බුදුහු ප්‍රශ්න හතරක් විමසුහ. මහජනයා ඝෝෂා කළහ. අපොයි බලන්න මේ පේශකාර දුවණිය සම්මා සම්බුදුන් වහන්සේ සමග කැමති කැමති ලෙස කථාකරයි. කොහිසිට ආවේදැයි විමසුවිට පේසකාර ගෙයි සිටයයි කිවයුතුය. කොහි යන්නේදැයි විමසුවිට පේශකාර ශාලාවට යයි පැවසිය යුතුය.