9. භික්ෂූන් තිස්නමක් පිළිබඳ කථා පුවත
“හංසාදිච්චපථෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී භික්ෂූන් තිස්නමක් නිමිති කර ගෙන දේශනා කළහ.
එක් දිනක් ප්රාදේශිය දිසාවාසී භික්ෂූන් වහන්සේලා තිස් නමක් බුදුන් වෙත පැමිණියහ. ආනන්ද තෙරුන් බුදුන්ට උවටැන් කරන අවස්ථාවේදී පැමිණි එම භික්ෂූන් දැක බුදුරජාණන් වහන්සේ මේ අය සමග පිළිසඳර කථා කළ කල්හි වතාවත් කරමියි දොරටුවේ සිටියහ. බුදුරජාණන් වහන්සේද පිළිසඳර කථාකොට ඔවුන්ට සිහිකටයුතු ධර්ම කථාවක් පැවසුහ. එම කථාව අසා සියල්ලෝම රහත්බවට පත්ව ඉහළ අහසට නැග අහසින් වැඩම කළහ. ආනන්ද තෙරණුවෝ උන්වහන්සේලා ප්රමාදවෙනු දැක. බුදුන් වෙත එළඹ ස්වාමීනි මෙතැනට භික්ෂූන් තිස්නමක් පමණ පැමිණියහ. එම භික්ෂූන් කොහිදැයි විමසුහ. ආනන්ද ඔවුන් ගියහ. ස්වාමීනි මොන පාරෙන්ද? ආනන්ද ආකාශ මාර්ගයෙන් ඇයි ස්වාමීනි උන් වහන්සේලා රහත්හුද? එසේය ආනන්ද මගෙන් බණ අසා රහත්වුහ. එම අවස්ථාවේදීම හංසරැහන් අහසින් පියඹා ගියහ. ආනන්ද යම්කෙනෙක් මැනවින් සතර සෘද්ධිපාද වඩන ලද්දේද ඔහු හංසයින් ලෙස අහසින් යන්නේ යයි පවසා මෙම ගාථාව දෙසුහ.
රණහංසයෝ පියඹායති අහස් කුස
රහතුන් අහස් ගැබ යති ලැබ එර්දි බල
නුවණැත්තෝ දිනා ගෙන ලොව නිවන් රස
පරදා මරුන් මෙලොවින් යති උසස් ලෙස
රහතුන් අහස් ගැබ යති ලැබ එර්දි බල
නුවණැත්තෝ දිනා ගෙන ලොව නිවන් රස
පරදා මරුන් මෙලොවින් යති උසස් ලෙස
“හංසයෝ අහසේ යති. ඍද්ධිමත්හුද අහසින් යති. ශ්රේෂ්ඨයෝ ලොව දිනා මරසෙනග පරදවා ලොවින් එතර වෙති.”
එහි අරුත ඉමෙහංසා ආදිච්චපථෙ මෙම හංසයෝ අහසින් පියඹා යති යම් කෙනෙක් ඍද්ධිපාද මැනවින් වඩන ලද්දේද ඔවුන්ද ආකාසෙ යන්ති ඉද්ධියා - ඍද්ධි බලයෙන් අහසින් ගමන් කරති. ධීරාපි - නුවණැත්තෝ සේනා සහිත මාරයා පරාජය කොට - මේ සංසාර වට්ටයෙන් නික්මයති. නිවණට පැමිණෙති යන අරුතයි
දේශනය කෙළවර බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත් වුහ.
10. චිඤ්චා මානවිකාව පිළිබඳ කථා පුවත
“එකං ධම්මං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී චිඤ්ච මානවිකාව නිමිති කරගෙන දේශනා කළහ.
ප්රථම බෝධියේ දීම දශබලධාරීන් වහන්සේට ඇති වූ පෘථුල ශ්රාවක පිරිස නිසාද ආර්ය භූමියට පත් දෙව් මිනිසුන් නිසාද, ඇති වු මුනිගුණ සමුදාය නිසාද, ගුණ කීර්තනය නිසාද මහත් ලාභ සත්කාර උපන්හ. තීර්ථකයෝ සුර්යයා පායන විට කලාමැදිරියන් සේ වූහ. ලාභසත්කාර නැති ව තීර්ථකයෝ වීථිය මැද වාඩිගෙන කිම භවත් ගෞතමයන් පමණක්ද බුද්ධ වුයේ අපිදු බුදුන් වෙමු. එනිසා ඔහුට පමණක් නොව අපට දුන් දෙයද මහත්පල වන්නේය. අපට ද දන් දෙන්න. අපට ද සත්කාර කරන්න. යනුවෙන් මිනිසුන් දැනුවත් කළද ලාභ සත්කාර නොලැබ රහස් තැනක එක් රැස්වී කවර උපායකින් භවත් ගෞතමයන්ට මිනිසුන් අතර අපහාසයක් කර අපකීර්තියක් ඇතිකර ලැබෙන ලාභ සත්කාර නැති කරවයි නිගමනය කළහ.
එකල සැවැත් නුවර චිඤ්චා නම් වූ පරිබ්රාජක රූමත් දෙවඟනකට සමානවු මෙනෙවියක් සිටියාය. ඇගේ සිරුරින් රශ්මිය විහිදේ අනතුරුව රළුවූ ස්වභාව ඇති එකෙක් චිඤ්චා මානවිකාව නිමිති කරගෙන භවත් ගෞතමයන්ට අවමන් කොට ලාභ නසා දමමුයි කතිකා කරගන්න. මෙය අර්ථවත් උපායකැයි ඔහු කල්පනා කළහ. මේ වනවිට ඇය තීර්ථකාරාමයට ගොස් වැඳසිටියාය. තීර්ථකයෝ ඇය සමග කථානොකළහ. ඕ තොමෝ මගේ කිසියම් දෝෂයක් වරදක් ඇත්දැයි සිතා ආර්යන් වහන්ස තුන්වරක් වැන්දාය. ඇය හා කථා නොකළහ. ආර්යන් වහන්ස මගේ කවර වරදක්ද ඇයි මා හා කථා කරන්නේ නැත්තේ මෙලෙසින් ප්රශ්න කළ විට පිළිතුරු දෙමින් සොහොයුරිය ශ්රමණ ගෞතමයන් අපව පෙළෙමින් ලාභසත්කාර නැතිකරමින් හැසිරෙන අයුරු නොදන්නේද? නොදනිමි ආර්යයන් වහන්ස, අප විසින් කුමක් කරමුද? ඉදින් නැගණිය අපට සැප කැමතීනම් ඔබ නිසා ගෞතමයන්ට අපකීර්තියක් උපදවා ලාභ සත්කාර වසා දමන්න.
හොඳයි ආර්යයන් මට එහි වගකීම භාරයි. ඒ ගැන නොසිතන්නැයි කියා ගොස් ස්ත්රීහු මායම් පෑමට දක්ෂ නිසා එදින සිට සැවැත් නුවරවාසීන් ධර්ම කථා අසා දෙමින් නික්ම යන අවස්ථාවේ දී රතිඳුගොව්වන්ගේ පාටින් සළුවක් පොරවා ගෙන සුවඳ වර්ග මල් ආදිය ගත් අතින් දෙව්රම් වෙහෙර දෙසට යන්නීය. මේ වෙලාවේ කොහේ යන්නේදැයි ප්රශ්න කළ විට ඔබලාට මොකද? මම යන තැනින් වැඩක් තිබේයි කියා දෙව්රම අසල තීර්ථක ආරාමයක සිට අළුයම උතුම් වූ වන්දනාව වඳිනෙමුයි නාගරිකයෝ දෙව්රමට යන අවස්ථාවේදී උපාසක ජනයාට දෙව්රම ඇතුළේ සිට එන්නියක ලෙසට අඟවා නගරයට ඇතුළුවෙයි. කොහි සිටියේදැයි විමසු විට මම සිටි තැන් නුඹලාට මොකටදැයි කියා මාස එක හමාරක් පමණ ගිය විට එසේ අසන අයට මම දෙව්රම ගන්ධ කුටියේ බුදු එකට සිටියෙමියි පවසයි. පුහුදුන් අයට මෙය ඇත්තක්ද? නැත්දැයි සැකයක් ඇති කරවීය. තෙමසක් සිවුමසක් ගතවුවිට රෙදිවලින් බඩ ඔතා ගැබිණියකගේ ස්වරූපය දක්වමින් උඩින් රතුපාටක් පෙරවාගෙන ගෞතමයන් නිසා දරුගැබක් ඇතිවි යයි. අඳබාලයන් ග්රහණය කරගෙන අට මසක් නව මසක් ගතවූවිට උදරයේ දර මිටියක් බැඳ ඒ මත තවත් සළුවක් පෙරවාගෙන අත් පා පිට ගොන් හත්තකින් තලා උඩට නෙරා ඇති ලෙසට දක්වා උඩින් සළුවක් පෙරවාගෙන ක්ලාන්ත වූ රූපයක් පෙන්වමින් සවස් යාමයේ තථාගතයන් වහන්සේ අලංකාර ධර්මාසනයේ වැඩහිඳ ධර්මය දේශනා කරමින් සිටින අතර ධම්සභා මණ්ඩපයට ගොස් බුදුන් ඉදිරියේ සිට මහා ශ්රමණය මහජනයාට ඔබ ධර්මය පමණක් දේශනා කරයි. ඔබේ හඩ බොහෝ මිහිරිය, මැනවින් දත් පිහිටා තිබේ. මම ඔබනිසා දරුගැබක් පිහිටා දැන් එය මෝරා ඇත. ඇයි මට තිඹිරිගෙයක් නොදනීද? කොසොල් රජු හෝ, අනේපිඩු සිටු හෝ විශාඛා උපාසිකාව හෝ කැඳවා, මේ කාන්තාවට අවශ්ය කටයුතු කාර්යයන් ඉටුකරන ලෙස කියයි, ගැබ් පෙරහැර සකස් කරන ලෙස කියන්නයි, තෙල් ගිතෙල් ආදි ගැබ් පෙළහරට අවශ්ය දේ නොදනීද? මේ ලෙස අසුරු පිඬක් ගෙන සඳමඩල නැති කරනලෙසට උත්සහ කරන්නියක සේ පිරිස මැද බුදුරජාණන් වහන්සේට අපහාස කළාය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනය නවතා සිංහයෙකු ලෙසට හඩනගමින් නැගණිය, ඔබ කීදෙහි සත්යය බව හෝ බොරු බව මමත් ඔබත් පමණක් දනිමු යනුවෙන් පැවසුහ. එසේය මහා ශ්රමණය ඔබ හා මම පමණක් දන්නා බව කවරෙක් නො දනීද?