4. විදර්ශනා ධූරී පන්සියයක් භික්ෂූන් වහන්සේලා පිළිබඳ කථා පුවත
“යථා බුබ්බුලකංති” - යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම සිටිය දී පන්සියයක් වූ විපස්සනාධූරි භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
එම භික්ෂූන් වහන්සේලා බුදුන්ගෙන් කර්මස්ථාන ලබාගෙන අරණ්‍යයට පිවිස වෙහෙසමින් උත්සාහ දරමින් විශේෂත්වයකට නොපැමිණ විශේෂ කමටහන් ගන්නෙමුයි බුදුන් වෙත එළඹෙන අතරමග මිරිගුව පිළිබඳව කමටහන් වඩමින්ම පැමිණියහ. උන්වහන්සේලා විහාරයට පිවිසි කෙනෙහිම මහ වැස්සක් වැටුනි. එම භික්ෂූන් ඒ ඒ තැන ඉදිරිපස සිට වැසිධාරා වේගයෙන් හටගත් දිය බුබුළු දැක මේ අපේ සිරුරද ඇති වී නැති වන්නේ යයි ද එනිසාම දියබුබුළුවලට සමාන යයිද අරමුණු කරගත්හ. බුදුරජාණන් වහන්සේ ගඳ කිළියේ සිටියදීම එම භික්ෂූන් බලා ඔවුන් හා කථාකරන්නේ ආලෝකයක් විහිදුවා මේ ගාථාව දේශනා කළහ.
ඇතිව නැති වී යන - දිය බුබුළයේ අත්බැව්
මිරිගුවක් ලෙස දිස්වේ - නොතිරයැ දකින නුවණින්
යුතු අය පසුපස - මාරයා නැත එන්නේ.
එහි මරිචිකං යනු මායාවකි - මුලාවකි. දියබුබුලක් ලෙසට සිරුර ගැන සිතා - මිරිගුවක් ලෙසට සිතා මේ ආත්මභාව සංඛ්‍යාත ලොව ගැන බලන්නේ මාරයා නොබලන තත්ත්වයට පත්වේ. තත්ථ මරීචික්නති එහි මිරිගුවයි. එය දුරසිට බලන විට පෙනේ. ළඟට යන විට හිස් බවද නොමැති බවද මායාවක් බවද පැහැදිලි වේ. එලෙසම ඇති වී නැතිවී යන ස්වභාවය බුබුලක බුබුලක - දියබුබුල වැන්න. හිස්බව තුච්ඡ බව බලන්න. මේ ලෙසට පඤ්චස්කන්ධ ආදී ලෝකයද විමසා සසඳා බලනවිට අවෙක්ඛන්තං මච්චුරාජස්ස න පස්සතී මාරයාට නොපෙනෙන තත්ත්වයට පත්විය හැකිය.
මෙම දෙසුම අවසානයේදී එම භික්ෂුහු සිටි ස්ථානයේම අරහත්වයට පත්වුහ.
5. අභය රාජ කුමරුගේ කථා පුවත
“එථ පස්සථිමං ලොකංති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටිය දී අභය රාජ කුමරු නිමිති කරගෙන දේශනා කළහ.
අභය රාජකුමාරයා පසල් දනව්වක ඇති වූ අරගලයක් සංසිඳවා පැමිණිවිට බිම්බිසාර පියරජු සතුටු වී නැටීම ගී ගැයීම ආදියෙහි දක්ෂ නිළියක් දී දින හතක් රාජ්‍ය ශ්‍රීය විදීමට අවස්ථාව සලසා දුනි. මේ කුමරු දින හතක් ගෙයින් බැහැර නොවී රාජ ශ්‍රී අනුභව කරමින් සිට අටවැනි දින ගංතෙරට ගොස් ස්නානය කර උයනට පිවිසී සන්තති මහ ඇමති සේ එම ස්ත්‍රියගේ නෘත්‍ය ගීත ආස්වාද ලබමින් සිටියේය.
ඇයද එකෙණෙහි සන්තති මහා ඇමතිගේ නිළිය ලෙසටම බලවත් වාත රෝගයක් ඇති වී කළුරිය කළාය. කුමරු ඇය මිය යාමේ ශෝකයෙන් පෙළිමේ ශෝකය බුදුන් හැර වෙනත් කෙනෙකුට නිවාලිය නොහැකියයි. සිතා බුදුන් වෙත පැමිණියේය. පැමිණ ස්වාමීනි මගේ ශෝකය නිවා දෙන්නැයි ඉල්ලා සිටියේය. බුදුහු ඔහු සිත සනසා කුමාරය ඔබ මේ ස්ත්‍රිය නිසා මෙබඳුම මරණවලින් ඇඬූ කඳුළු ප්‍රමාණයක් නැතැයි පවසා කුමාරය නොතැවෙන්න. බාල අඥාන ජනයන්ගේ හැඩීම ශෝක කිරීම් ප්‍රයෝජනයක් නැතැයි පවසා මෙම ගාථාව දෙසූහ.
මේ අත්බව සිරුර - විසිතුරු දෙයින් සැරසු
මහරජුගේ රියමන් - දිලිසෙමින් බබළන්නේ
එය මමය මාගෙයි - ඇලුම් කරනා පුඟුලා
සසර සැරි සරමින් - විපතට පත්වන්නේ
යම් ආත්ම භාවයක අණුවනයෝ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගැලේද නුවණැත්තවුන්ට රාගාදී සංයෝගයක් නැත. විසිතුරුවු රාජ රථයක් බඳු මේ ආත්මභාවය බලන්න.
එහි එථපස්සථ - යනු රාජකුමාරයාටම පැවසීමයි ඉමංලොකං මේ ස්ඛන්ධ ධාතු ආදී ලෝකය සංඛ්‍යාත ආත්මය චිත්තං යනු සප්ත රත්නවලින් විසිතුරු කරන ලද රජුගේ වාහනය සේ වස්ත්‍ර ආභරණවලින් විසිතුරු වීමයි. යත්ථබාලා යම් ආත්ම භාවයක අනුවණයෝම ඇලි සිටිති. විජාන තන්ති - නුවණ ඇති පඩිවරු එහි රාගාදි වශයෙන් ඇල්මක් නැත. යන අර්ථයි
මේ දෙසුම කෙළවර අභයරාජ කුමරු සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි අයටද සාර්ථක දෙසුමක් විය.
6. සම්මුඤ්ජනී තෙරුන් පිළිබඳ කථා පුවත
“යොච පුබ්බෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සම්මුඤ්ජනී තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
උන්වහන්සේ උදේ හෝ හවස හෝ වෙලාවක් නොමැතිව නිතර නිතර අතුගාමින් හැසිරෙයි උන්වහන්සේ එක් දිනක් ඉදල ගෙන දවල් කල සිටි රේවත තෙරුන් වෙත ගොස් මේ මහා කුසීත කෙනෙකි. මහජනයා ශ්‍රද්ධාවෙන් දෙන දෙය වළදා අවුත් වාඩිවී සිටියි. ඇයි මොහුට ඉදල ගෙන එක් තැනක් අතුගෑම නොවටීදැයි පැවසීය. තෙරුන් වහන්සේ මොහුට අවවාදයක් දෙන්නෙමියි සිතා ඇවැත්නි මෙහි එන්නැයි පැවසුහ. ඇයි ස්වාමීනි, යන්න ස්නානය කර එන්න. එම තෙරුන් දිය නා පැමිණියේය. අනතුරුව තෙරුන් එක තැනක වාඩිකරවා අවවාද දෙන්නේ මෙසේ කීවේය. ඇවැත්නි භික්ෂුවක් විසින් හැමවිටම අතුගගා සිටීම නො වටී අළුයම අවදී වී අතුගා පිඬුසිඟා ගොස් වළදා අවසානයේ අවුත් රාත්‍රි ස්ථාන හෝ දිවා ස්ථානයක හෝ වාඩි වී දෙතිස් කුණප ගැන කියවා තම ආත්ම භාවයේ හටගැනීමේ හැකිලීම් සිහිකර සවස භාවනාවෙන් නැගිට අතුගැම සුදුසුය. නිතර නිතර අතුනොගා තමන්ට ද අවකාශයක් තබාගත යුතුය. උන්වහන්සේ මේ අවවාදයේ පිහිටා නොබෝ දිනකින් අර්හත්වයට පත්වුහ. අනතුරුව තැන් තැන් වල කොළරොඩු එකතුවුනි. මේ නිසා භික්ෂූන් වහන්සේලා ඇවැත්නි දැන් තැනින් තැන කොළ රොඩු එකතුවී ඇත සම්මුඤ්ජනී තෙරුන් පෙරමෙන් අතු නොගාන්නේ කුමක් හෙයින්ද?
එවිට සම්මුඤ්ජනී තෙරුන් ස්වාමීනි මම පෙරදින ප්‍රමාද වූ කාලයේ එසේ කළෙමි. දැන් මම අප්‍රමාදීව සිටිමි. භික්ෂූන් වහන්සේලා මේ තෙරුන් දැන් වෙනත් දෙයක් කියයි කියා බුදුන්ට දැන්වුහ බුදුරජාණන් වහන්සේ ඇත්ත මහණෙනි, මගේ පුතා පෙර ප්‍රමාද ව සිටි කාලයේදී අතුගාමින් හැසුරුනි. දැන් මාර්ග ඵල සුවයෙන් කල් යවා අතු නොගාන්නේයයි පවසා මේ ගාථාව පැවසුහ.