5. අභය රාජ කුමරුගේ කථා පුවත
“එථ පස්සථිමං ලොකංති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටිය දී අභය රාජ කුමරු නිමිති කරගෙන දේශනා කළහ.
අභය රාජකුමාරයා පසල් දනව්වක ඇති වූ අරගලයක් සංසිඳවා පැමිණිවිට බිම්බිසාර පියරජු සතුටු වී නැටීම ගී ගැයීම ආදියෙහි දක්ෂ නිළියක් දී දින හතක් රාජ්‍ය ශ්‍රීය විදීමට අවස්ථාව සලසා දුනි. මේ කුමරු දින හතක් ගෙයින් බැහැර නොවී රාජ ශ්‍රී අනුභව කරමින් සිට අටවැනි දින ගංතෙරට ගොස් ස්නානය කර උයනට පිවිසී සන්තති මහ ඇමති සේ එම ස්ත්‍රියගේ නෘත්‍ය ගීත ආස්වාද ලබමින් සිටියේය.
ඇයද එකෙණෙහි සන්තති මහා ඇමතිගේ නිළිය ලෙසටම බලවත් වාත රෝගයක් ඇති වී කළුරිය කළාය. කුමරු ඇය මිය යාමේ ශෝකයෙන් පෙළිමේ ශෝකය බුදුන් හැර වෙනත් කෙනෙකුට නිවාලිය නොහැකියයි. සිතා බුදුන් වෙත පැමිණියේය. පැමිණ ස්වාමීනි මගේ ශෝකය නිවා දෙන්නැයි ඉල්ලා සිටියේය. බුදුහු ඔහු සිත සනසා කුමාරය ඔබ මේ ස්ත්‍රිය නිසා මෙබඳුම මරණවලින් ඇඬූ කඳුළු ප්‍රමාණයක් නැතැයි පවසා කුමාරය නොතැවෙන්න. බාල අඥාන ජනයන්ගේ හැඩීම ශෝක කිරීම් ප්‍රයෝජනයක් නැතැයි පවසා මෙම ගාථාව දෙසූහ.
මේ අත්බව සිරුර - විසිතුරු දෙයින් සැරසු
මහරජුගේ රියමන් - දිලිසෙමින් බබළන්නේ
එය මමය මාගෙයි - ඇලුම් කරනා පුඟුලා
සසර සැරි සරමින් - විපතට පත්වන්නේ
යම් ආත්ම භාවයක අණුවනයෝ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගැලේද නුවණැත්තවුන්ට රාගාදී සංයෝගයක් නැත. විසිතුරුවු රාජ රථයක් බඳු මේ ආත්මභාවය බලන්න.
එහි එථපස්සථ - යනු රාජකුමාරයාටම පැවසීමයි ඉමංලොකං මේ ස්ඛන්ධ ධාතු ආදී ලෝකය සංඛ්‍යාත ආත්මය චිත්තං යනු සප්ත රත්නවලින් විසිතුරු කරන ලද රජුගේ වාහනය සේ වස්ත්‍ර ආභරණවලින් විසිතුරු වීමයි. යත්ථබාලා යම් ආත්ම භාවයක අනුවණයෝම ඇලි සිටිති. විජාන තන්ති - නුවණ ඇති පඩිවරු එහි රාගාදි වශයෙන් ඇල්මක් නැත. යන අර්ථයි
මේ දෙසුම කෙළවර අභයරාජ කුමරු සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි අයටද සාර්ථක දෙසුමක් විය.
6. සම්මුඤ්ජනී තෙරුන් පිළිබඳ කථා පුවත
“යොච පුබ්බෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සම්මුඤ්ජනී තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
උන්වහන්සේ උදේ හෝ හවස හෝ වෙලාවක් නොමැතිව නිතර නිතර අතුගාමින් හැසිරෙයි උන්වහන්සේ එක් දිනක් ඉදල ගෙන දවල් කල සිටි රේවත තෙරුන් වෙත ගොස් මේ මහා කුසීත කෙනෙකි. මහජනයා ශ්‍රද්ධාවෙන් දෙන දෙය වළදා අවුත් වාඩිවී සිටියි. ඇයි මොහුට ඉදල ගෙන එක් තැනක් අතුගෑම නොවටීදැයි පැවසීය. තෙරුන් වහන්සේ මොහුට අවවාදයක් දෙන්නෙමියි සිතා ඇවැත්නි මෙහි එන්නැයි පැවසුහ. ඇයි ස්වාමීනි, යන්න ස්නානය කර එන්න. එම තෙරුන් දිය නා පැමිණියේය. අනතුරුව තෙරුන් එක තැනක වාඩිකරවා අවවාද දෙන්නේ මෙසේ කීවේය. ඇවැත්නි භික්ෂුවක් විසින් හැමවිටම අතුගගා සිටීම නො වටී අළුයම අවදී වී අතුගා පිඬුසිඟා ගොස් වළදා අවසානයේ අවුත් රාත්‍රි ස්ථාන හෝ දිවා ස්ථානයක හෝ වාඩි වී දෙතිස් කුණප ගැන කියවා තම ආත්ම භාවයේ හටගැනීමේ හැකිලීම් සිහිකර සවස භාවනාවෙන් නැගිට අතුගැම සුදුසුය. නිතර නිතර අතුනොගා තමන්ට ද අවකාශයක් තබාගත යුතුය. උන්වහන්සේ මේ අවවාදයේ පිහිටා නොබෝ දිනකින් අර්හත්වයට පත්වුහ. අනතුරුව තැන් තැන් වල කොළරොඩු එකතුවුනි. මේ නිසා භික්ෂූන් වහන්සේලා ඇවැත්නි දැන් තැනින් තැන කොළ රොඩු එකතුවී ඇත සම්මුඤ්ජනී තෙරුන් පෙරමෙන් අතු නොගාන්නේ කුමක් හෙයින්ද?
එවිට සම්මුඤ්ජනී තෙරුන් ස්වාමීනි මම පෙරදින ප්‍රමාද වූ කාලයේ එසේ කළෙමි. දැන් මම අප්‍රමාදීව සිටිමි. භික්ෂූන් වහන්සේලා මේ තෙරුන් දැන් වෙනත් දෙයක් කියයි කියා බුදුන්ට දැන්වුහ බුදුරජාණන් වහන්සේ ඇත්ත මහණෙනි, මගේ පුතා පෙර ප්‍රමාද ව සිටි කාලයේදී අතුගාමින් හැසුරුනි. දැන් මාර්ග ඵල සුවයෙන් කල් යවා අතු නොගාන්නේයයි පවසා මේ ගාථාව පැවසුහ.
පමාවූවද කලින් - දිරියෙන් කෙළස් හළ පසු
වළාවෙන් මිදුණු සඳසේ - බබළති රහත් උතුමෝ
යම්කෙනෙක් පෙර ප්‍රමාදවී පසුව ප්‍රමාද නොවේද වළාවෙන් මිඳුන හඳ සේ ඔහු මෙලොව ආලෝකමත් කරයි.
එහි අරුත නම් යම් පුද්ගලයෙක් වත් පිළිවෙත් කරමින් හෝ සජ්‍ඣායනා කිරීම් ආදියෙන් ප්‍රමාදවී පසුව මාර්ග ඵල සුවයෙන් කල් ගෙවමින් ප්‍රමාද නොවී සිටි එබඳු තැනැත්තා කළුවලාවෙන් - බැහැරවූ සඳමෙන් අවකාශ ලෝකය මාර්ග ඤාණයෙන් මේ ස්ඛන්ධ ආදී ලෝකය බබුළුවයි ආලෝක ධාරාවෙන් එකළු කරයි.
දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත්වුහ.
7. අංගුලිමාල තෙරුන්ගේ කථා පුවත
“යස්ස පාපන්ති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩසිටියදී අංගුලිමාල තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
අංගුලිමාල කථා පුවත සුත්‍රයේ සඳහන් පරිදි දැනගත යුතුය. අංගුලිමාල තෙරුන් බුදුන් වෙත පැවිදි වී රහත් බවට පත්වූයේ අනතුරුව උන්වහන්සේ රහසිගතව හුදකලාව විමුක්ති සුවය විඳිමින් සිටියදි මේ උදානය පැවසුහ.
“යම් කෙනෙක් මුලදී ප්‍රමාද වෙමින් සිට පසුව ප්‍රමාද නොවේද? ඔහු මෙලොව ආලෝකමත් කරන්නේ වළාවකින් නික්මෙන ප්‍රභාමත් සඳක් මෙනි.”
මේ අයුරින් උදානය ප්‍රකාශ කර අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑහ. මේ අතර ධම්සභා මණ්ඩපයේදී ඇවැත්නි අඟුල්මල් තෙර කොහි උපන්නේ දැයි කථාවක් ඉපිදවුහ. බුදුන් වැඩමකර මහණෙනි මම පැමිණීමට පෙර කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි ප්‍රශ්න කළහ. එම භික්ෂූන් වහන්සේලා ස්වාමීනි අඟුල්මල් තෙරුන් උපන් ස්ථානය පිළිබඳවයයි පැවසුවිට - මහණෙනි මගේ පුතු පිරිනිවන් පෑවේයයි පැවසුහ. ස්වාමීනි ! මෙපමණ මිනිසුන් ඝාතනය කර උන්වහන්සේ පිරිනිවන් පෑවේදැයි ප්‍රශ්න කළහ. එසේය මහණෙනි. ඔහු පෙර එක් කල්‍යාණ මිත්‍රයෙක් නොලැබී මෙපමණ පව් කළේය. පසුව කල්‍යාණ මිත්‍ර සේවනය ලැබ අප්‍රමාදී විය. එනිසා ඔහුගේ පාපකර්මය කුශලබලයෙන් වැසී ගියේයයි පවසා මේ ගාථාව පැවසුහ.
අකුසලයන් ඇතත් පෙරදී කරන ලද
පසුකල කුසල් කළහොත් ඉන් මිදෙන ලද
අවබෝදයෙන් පසු සිව්සස් අමත පද
බබළයි වලාවෙන් ගිලිහුණු ලෙසට සඳ
යම් කෙනෙක් කරන ලද පාපකර්මය කුසලයෙන් වසයිද ඔහු මෙලොව වළාවෙන් මිදීගිය හදසේ ප්‍රභාමත් වේ.
එහි දී කුසලෙන සඳහා කියන ලදී. අරහත් මාර්ග ය. සෙස්ස පෙර කියන ලද අයුරින් දතයුතුය.
මේ දෙසුම අවසන බොහෝදෙන සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත්වුහ.
8. පේසකාර දුවනිය පිළිබඳ කථා පුවත
“අන්ධ භූතාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ අග්ගාලව චෛත්‍යස්ථානයේ වැඩසිටියදී එක් පේශකාර දුවනියක් අරමුණු කොට පැවසුහ.
එක් දිනක් අලව් නුවර වැසියෝ බුදුහු අලව් නුවරට පැමිණි පසුව ආරාධනා කර දානයක් පිරිනැමුහ. බුදුරජාණන් වහන්සේ දන්වළදා අවසන අනුමෝදනා කරමින් ජීවිතය ස්ථීර නොවේ. මරණය ස්ථිරය. අප විසින් අවශ්‍යයෙන්ම මරණයට පත්විය යුතුය. මගේ ජීවිතය මරණයෙන් කෙළවර වේ. ජීවත් වීම නියත නොවේ. මරණය නියතය. යනුවෙන් මරණ සතිය වඩන්න. යම් කෙනෙක් මරණ සතිය නොවඩන ලද්දේද? ඔවුන් පසුකලෙක ආශිර්විෂයෙකු දැක බිය වූ පුරුෂයෙක් ලෙසට සන්තාපයට පත්ව බියකරු හඬ නංවමින් කළුරිය කරති. යම් කෙනෙක් මරණ සතිය වඩන ලද්දේද ඔවුහු නාගයෙකු දුරදිම දැක දණ්ඩකින් ගෙන විසිකරන පුද්ගලයෙක් සේ අවසන් කාලයේදී ත්‍රස්ත නොවෙති. එනිසා මරණ සති භාවනාව වැඩිය යුතුයයි පැවසූහ. මෙම ධර්ම දේශනය අසා අනෙක් ජනයා තම කටයුතුවල යෙදෙමින්ම සිටියහ. නමුත් එක් සොළොස් වියැති පේෂකාර දුවනියක් අහෝ බුද්ධ දේශනය නම් කෙතරම් ආශ්චර්ය ද, මවිසින් මරණ සතිය වැඩිය යුතුයයි සිතා දිවා රාත්‍රි මරණ සති භාවනාව වැඩුවාය. බුදුරජාණන් වහන්සේද අග්ගාලව චෛත්‍ය ස්ථානයෙන් නික්මී දෙව්රමට වැඩම කළහ. එම යුවතිය ද අවුරුදු තුනක් මරණ සතිය ම වැඩුවාය.