8. කාල තෙරුන් පිළිබඳ කථා පුවත.
“යො සාසනංති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී කාල තෙරුන් අරමුණු කරගෙන දේශනා කළහ.
සැවැත් නුවර එක් ස්ත්‍රියක් මව ලෙසට එම තෙරුන්ට උවටැන් කරන්නීය. ඇගේ අසල්වැසි ගෙයක මිනිස්සු බුදුන් වෙතින් ධර්මය අසා අවුත් අහෝ බුදුවරුන් නම් ආශ්චර්ය වේ. ධර්ම දේශනා ඉතා මිහිරි වේ. යනුවෙන් ප්‍රශංසා කරති. එම ස්ත්‍රිය මේ බුදුගුණ අසා ස්වාමීනි මමත් බුදුන්ගේ බණ ඇසීමට කැමැත්තෙමියි උන්වහන්සේ දැනුම් දුන්නාය. එම තෙරුන් එහි නොයන්නැයි ඇය වළක්වාලීය. එහෙත් ඇය නැවත නැවත තුන්වරක් කියා වළකාලුවිට බුදුන්ගෙන් ධර්මය අසන්නට කැමති වුවාය. මේ භික්ෂුව විසින් මෙලෙස ඇය වළක්වා ලීමට කුමක් හේතුවීද? බුදුන් වෙතින් ධර්මය අසා මා කෙරේ භක්තිය බිඳෙනු ඇත. යන සිතුවිල්ල ය එහෙත් මේ උපාසිකාව එක් දිනක් අළුයම උදේ ආහාරය ගෙන පෙහෙවස් සමාදන්වී දරුව ආර්යන් වහන්සේට හොඳින් දානය දෙන්නැයි දුවණියන්ට නියමකර විහාරයට ගියාය. දුවණියද තෙරුන් පැමිණිවිට දන් දී වළදවා සිටිවිට මහ උවැසිය කොහි දැයි විමසීය. ඇය ධර්ම ශ්‍රවණය සඳහා විහාරයට ගියබව පැවසු විට කුසට ඩහදිය දමමින් බෙහෙවින් තැවෙමින් දැන් ඇය මා කෙරෙහි බිඳුනේයයි වේගයෙන් ගොස් - ඇය බුදුන් වෙත ධර්මය අසමින් සිටිනු දැක බුදුන්ට මෙසේ පැවසුවේය. ස්වාමීනි මැය මෝඩයි සියුම් ධර්ම කථා නොදන්නිය මැයට ස්ඛන්ධ ආයතන පිළිබඳ සියුම් කතා නොකියා දානය පිළිබඳව හෝ සීලය පිළිබඳව හෝ කියා දීම සුදුසුය. බුදුරජාණන් වහන්සේ ඔහුගේ අදහස තේරුම්ගෙන මහණ නුඹ අඥානය පව්කාර දෘෂ්ටි නිසා බුද්ධ ශාසනය අවඥාවට ලක්කරයි. තමාම නසාගැනීමට උත්සාහ කරන්නේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
සිව්පසය ලොබි නේ - අරහත් දහම නසන්නේ
අනුවණ කමින් තම - මම බුදුන් ඔවදන හරනේ
පල හැඳුනු උණගස - එයින් නැසෙනා සේ
අනුවණ පැවිද්දද - අනුවණ කමින් වැනසේ.
“ආර්ය වූ ධර්ම ජීවීවූ අරහත් ශාසනය යමෙක් අඥාන පාපී වූ දෘෂ්ටි නිසා අවඥාවට භාජන කෙරේද ඇතැම් වෘක්ෂයන්හි ඵල හට ගැනීම එහි විනාශයට හේතුවන්නා සේම තමාද වැනසී යාමට හේතුවේ.
එහි අර්ථය - සො දුම්මේධො - යම් අණුවනයෙක් තමන්ට ලැබෙන සත්කාර නැතිවේය යන බියෙන් පාපිකං දිටඨිං නිස්සාය - පාපී දෘෂ්ටින් නිසා ධර්මය හෝ අසමු - දානය හෝ දෙමුයි පවසන විට දොස් නගා ධර්මජීවි අරහත් ආර්යයන්ගේ බුදුසසුන නින්දාවට ලක්කෙරේද? කට්ඨස්සඵලානි ඔහුගේ ඒ නින්දාබස් උණ ගස් ආදියේ ඵල හටගැනීම ගසේ විනාශයට හේතුවන්නාසේම අත්ත සඤ්ඤාය ඵල්ලති තම විනාශය සඳහාම හේතුවේ මේ ලෙසට එම භික්ෂුවද තම විනාශයට එබඳු අදහස් ඇතිකරගනී. මෙසේ කියන ලද්දේ. කෙසෙල් ගස ඵල හටගැනීම විනාශයට හේතුවේ. උණගස් බට ගස් ඵල හටගැනීම විනාශයට හේතුවේ. නින්දිත පුරුෂයාට කරන සත්කාරය ඔහුගේ විනාශයට හේතුවේ.
උණ බට කෙසෙල් පුදින්නේ විනාසෙටයි.
සැප සත්කාර අනුවණයගෙ අබාවටයි
මෙම දේශනය අවසානයේදී උපාසිකාව සෝවාන් ඵලයට පත්වූවාය. පැමිණි පිරිසටද සාර්ථක ප්‍රයෝජනවත් දේශනයක් විය.
9. චූලකාල උපාසක පුවත
“අත්තනාව කතන්ති” යන ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩසිටියදී චූලකාල උපාසක නිමිති කරගෙන දේශනා කරන ලද්දකි.
එක් දිනක් මහාකාල කථාවේ කියන ලද පරිදි උමං සොරු ධන හිමියන් විසින් ලුහුබඳින ලද්දේ රාත්‍රියෙහි ධර්මකථා අසා අළුයම නික්ම පැවතට යන්නා වූ උපාසකතුමා ඉදිරියේ භාණ්ඩ විසිකර පළාගියහ. මිනිස්සු එය දැක මේ තැනැත්තේ රාත්‍රි කාලයේ සොරකම් කර ධර්මයේ හැසිරෙන ලෙසට අඟවයි. මොහු ගන්නැයි කියා තලා දැමුහ. දියගෙන යන දාසීන් මේ දැක ඔහුගේ ජීවිතය බේරා ගත්හ. බුදුන්ට මේ කරුණු දැක්වුවිට ඔහුගේ මේ කථා පුවත අසා මහණෙනි චූලකාල උපාසක කළගෙන යන දාසියන් නිසාත් - තමන් නොකළ අකුශලය නිසාත් ජීවිතය ලබන ලදී. මේ අයුරින් සත්ත්වයෝ තමන්විසින් අකුශලකම් කොට නිරය ආදීහි තමන්ම කිළිටිවට පත් කුසල් කොට සුගතීන්හි ඉපිද නිවන් ලැබීමද වදාරා මේ ගාථාව වදාළහ.
පව්කම් නිසා ඉඳහිටවත් තමන් කළ
අවසානයට පත්වේමැයි කලින් කළ
සිල්වත් දනා දස අකුසල් සිතින් හළ
සම්මානයට පත්වේ උපනුපන් කල
මේ ලෙස වැඩ අවැඩ දෙකරුණු තමන් සතුමය
කෙනෙකු හට තවෙකෙක් පිරිසිදු කරනු බැරිවෙයි.