7. විශාඛා ආදී උපාසිකාවන්ගේ උපොසථ සමාදන්වීම පිළිබඳ කථා පුවත
“යථා දණ්ඩෙනා ති” - මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවත් නුවර පූර්වාරාමයේ වැඩසිටිය දී විශාඛා ආදී උපාසිකාවන්ගේ පෙහෙවස් සමාදන්වීම නිමිති කරගෙන දේශනා කළහ.
සැවත් නුවර එක් මහා උපෝසථ දිනයෙක පන්සියයක් පමණ ස්ත්‍රීහු පෙහෙවස් සමාදන්ව විහාරයට ගියාහුය. විශාඛාව - ඔවුන් අතරින් මහළු ස්ත්‍රීන් වෙතගොස් මෑණිවරුනි. කුමක් නිසා පෙහෙවස් සමාදන් වුවේ දැයි විමසුවාය. ඔවුන් දිව්‍ය සැපය ප්‍රාර්ථනා කරගෙන යයි කීවිට, මධ්‍යම වයසේ අයගෙන් විමසුවාය. තම සැමියන්ගේ අන් බිරියන් කෙරෙහි පවත්නා සපත්නීරෝෂයෙන් මිඳීම සඳහා යයි පැවසූහ. තරුණ ස්ත්‍රීන්ගෙන් විමසුවාය. ඔවුන් විසින් පළමු ගැබ් ගැනීමේදීම පුතෙක් ලබා ගැනීම සඳහා යයි පැවසූහ. අනතුරුව කුඩා කුමාරිකාවන්ගෙන් විමසුවාය. ඔවුන් තරුණ වියේ දීම පතිකුලයට යාම සඳහා යයි පැවසූවිට, ඒ සියළුම කථා අසා ඔවුන් රැගෙන බුදුන් වෙත ගොස් පිළිවෙළින් දැනුම් දුන්නාය. ඒ අසා බුදුරජාණන් වහන්සේ විශාඛාවනි ! මේ සත්ත්වයින්ගේ ඉපදීම් ආදිය නම් දණ්ඩක් අතින් ගත් ගොපල්ලන් වැනිය. ජාති ජරා ආදියෙන් යුත් ජරා ව්‍යාධි ආදියෙන් යුත් ව්‍යාධි මරණ සමීපයට යවා කෙටේරියෙන් සිඳින්නා සේ ජීවිතය සිඳගනී. නිවණ පතන්නෝ නම් නැත. සසර පතන්නෝ නම් වෙතියි, පවසා අනුපිළිවෙළ වදාරා දහම් දෙසමින් මේ ගාථාව දෙසූහ.
ගොපල්ලා කෙවිටෙන
හරක් ගෙන යයි කෙත වෙත
ලෙඩ, දුක්, ජරාවෙන්
ඔබත් ගෙනයයි මරණෙ දොර වෙත,
යම් සේ ගොපල්ලා දණ්ඩ යොදාගෙන ගවයන් ගාලට යවයිද එසේම ජරාව හා මරණය සත්ත්වයින්ගේ ආයුෂ පාලනය කරයි.
එහි පාචෙතිතී - දක්ෂ ගොපල්ලා කුඹුරු අතරින් ඇතුළුවන ගවයින් දණ්ඩෙන් වළකා එයින් තලමින් - ජලය - තණකොළ සුළඟ ඇති තැන්වලට මෙහෙයවයි ද “ආයුං පාචෙන්ති ” ජීවිතින්ද්‍රිය ගෝචර භූමිය වැන්න එහි ජාති නම් සත්ත්වයින්ගේ ජීවිතින්ද්‍රිය ජරාව සමීපයට යවයි. ජරා- ව්‍යාධි සමීපයට යවයි. ව්‍යාධිය මරණ සමීපයට යවයි. එලෙසම මරණය නමැති කෙටේරියෙන් සිඳ යන්නේ යයි මෙසේ උපමා කරමින් -
දේශනය නිමාකළ විට බොහෝ දෙන සෝවාන් ඵලයට පැමිණුනාහ.
8. අජගර නම් ප්‍රේතයාගේ කථා පුවත.
“අථ - පාපානි කම්මානි ” - යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි වැඩ සිටියදී අජගර ප්‍රේතයෙකු නිමිති කරගෙන දේශනා කළහ.
එක් සමයෙක මහමුගලන් තෙරණුවෝ ලක්ඛණ තෙරුන් සමඟ ගිජුකුළු පව්වෙන් බසින විට දී යොදුන් විසිපහක් දිග පිඹුරු ප්‍රේතයෙක් දිවැසින් දුටුවහ. ඔහුගේ හිසෙන් ගිනිජාල නැගී කෙළවර පැතිරයයි අවසානයෙන් පටන්ගෙන හිස දක්වාත් ගමන්කරයි. දෙපසින් ගිනිජාලා ඇතිවී මැදට පැමිණේ. තෙරුන්වහන්සේ මේ දැක සිනා පහළ කළහ.
ලක්ඛණ තෙරුන් විසින් සිනා පහළ කිරීමට හේතු විමසා සිටි විට ඇවැත්නි ,එය විස්තර කිරීමට කාලය නොවේ. මේ ප්‍රශ්නයට පිළිතුරු බුදුරජාණන් වහන්සේ හමුවේදී මගෙන් විමසන්න යයි පැවසූහ. එසේ පවසා රජගහනුවර පිඬු පිණිස හැසිරී බුදුන් වෙත ගියවිට ලක්ඛණ තෙරුන් විසින් විමසන ලදුව මෙසේ පැවසූහ.
ඇවැත්නි එක් ප්‍රේතයෙක් දුටුවෙමි. ඔහුගේ මෙබඳු ආත්මභාවයක් විය. මම ඔහු දැක මවිසින් මෙබඳු ආත්මභාවයක් මෙයට පෙර නොදුටුවෙමියි මට සිනා පහළ විය. බුදුරජාණන් වහන්සේ ඇස් ඇති ශ්‍රාවකයින් (දිවැස්) වාසය කරත් යයි පවසා තෙරුන්ගේ කථාවේ පිහිටා මහණෙනි ! මවිසින් ද බෝධි මණ්ඩපයේදීම දුටුවේ වෙමි. මෙය නොපිළිගන්නා අයගේ අහිත පිණිස පවතී යයි සිතා නොපැවසීමි. දැන් මුගලන් ඇස් ලැබ කියමියි කියා භික්ෂූන් විසින් ඔහුගේ පෙර කර්මය විමසුවේ පැහැදිලි කර දුන්හ.
කාශ්‍යප බුද්ධ කාලයේදී සුමංගල නම් සිටුවරයෙක් රන් ගඩොල් බිම අතුරා එකසිය විසි රියනක් දිගට එපමණ ධනයක් විසුරුවා මහා විහාරයක් කළේය. එපමණම වියදම්කර උත්සවයක් කළේය. ඔහු උදෙන්ම බුදුන් වෙත (කාශ්‍යප) යන්නේ නුවර දොරටුවේ එක් ශාලාවක කසාවතක් හිසට පෙරවාගෙන මඩ තැවරුණු පාදයෙන් යුතුව නිදාසිටි එක් සොරෙක් දැක. මඩතවරාගෙන රාත්‍රියේ ගමන්කර දවල් නිදන්නෙකැයි කීවේය. සොරා මුහුණ විවරකර සිටුතුමා දැක බලා - හොඳයි කරන්න ඕන දේ දැනගත්තායි වෛරයක් බැද හත්වරක් (සිටුතුමාගේ) කුඹුරට ගිනි තැබුවේය. සත්වරක් ගවගාලේ ගවයින්ගේ පාසින්දේය සත් වතාවක් ගෙය දවාලීය. හේ මෙපමණකින්වත් කෝපය නිවාගන්නට අසමත් වන්නේ ඔහුගේ සුළු සේවකයා සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන ඔබේ සිටුවරයාට වඩාත් ප්‍රිය දෙය කුමක්දැයි විමසා - බුදුන්ගේ ගඳකිළියට වඩා ප්‍රිය දෙයක් නැතැයි අසා එසේ වේවායි. ගඳකිළිය දවා කෝපය නිවාගනිමියි සිතා බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වැඩිවිට - පානය හා පරිභෝගය සඳහා තිබුණ ජලය තිබූ කළ බිඳ දමා ගන්ධ කුටියට ගිනි තැබීය. සිටු තුමා ගඳකිළිය ගිනිගන්නේ යයි අසා ගිනි ඇවිලෙන විට ඇවිත් ගඳකිළියේ දැවෙන හැටි බලා කෙස් ගහක තරම්වත් දොම්නසක් ඇති කර නොගෙන වම් අත හකුළුවා දකුණතින් මහත් අත්පොළසන් දුනි. අනතුරුව ඔහු අසල සිටි අය මෙපමණ ධනයක් වැයකර කරන ලද ගඳකිළිය දැවෙද්දී සතුටු වෙන්නේදැයි විමසූහ.
දරුවනි මේ ගිනිවලට අසාධාරණ වූ බුදුසසුනේ ධනය නිධන් කිරීමට ලැබෙන හෙයින් නැවතද මෙබඳු ධනයක් වියදම්කර බුදුරදුන්ට ගඳකිළියක් කරන්නට ලබන්නෙමියි සතුටු සිත් ඇත්තේ අත්පොළසන් දුනිමි. පැවසුවේය. හේ නැවතද එබඳුම ධනයක් වැයකර ගඳකිළියක් කරවා විසිදහසක් භික්ෂූන් සහිත බුදුරදුන්ට දානයක් පිරිනැමුවේය. මේ දුටු සොරා මම මොහු නොමරා නිහඬව කරවන්නට නොහැකි වේ යැයි සිතා මොහු මරන්නෙමියි ඉණෙහි කිනිසි බැඳ දින හතක් විහාරයේ හැසිරෙන්නේ ඉඩක් නොලැබුණි. මහසිටුවරයා ද දින හතක් මහදන් දී බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට ස්වාමීනි එක් පුරුෂයෙක් විසින් මගේත් සත්වරක් දවාලීය. ගවගාලේ ගවයින්ගේ පා හත්වරක් සිඳ දැම්මේය. සත්වරක් ගෙය දවාලීය. දැන් මේ ගඳකිළිය ද ඔහු විසින් දවන ලදී. මම මේ දානයේ පළමු කොටස ඔහුට දෙමි.