10. දණ්‌ඩ වර්ගය
1. සවග මහණුන්ගේ කථා පුවත.
“සබ්බේ තසන්ති” යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩසිටිය දී ෂඩ්වර්ගීය (හයේ කණ්ඩායම වූ) භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළ සේක.
එක් අවස්ථාවකදී භික්ෂූන් දහසයේ කණ්ඩායමක් විසින් සෙනසුන් පිළියෙළ කරන අතරතුරදී - සයවර්ගීය භික්ෂූන් - අපි වඩා වැඩිහිටි අය වෙමු. එනිසා මෙය අපට අයත් වේ. යයි කියා සිටියදී. එම දහසය වර්ගීය භික්ෂූන් විසින් අපි නොදන්නෙමු. අප විසින් මෙය පළමුවෙන් පිළියෙළ කරන ලදැයි පැවසූවිට - එම භික්ෂූන්ට පහර දෙන ලදී. දහසය වර්ගීය භික්ෂූහු මරණ බියෙන් යුතුව මහා හඬින් විලාප නගන්නට වූහ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ හඬ අසා මේ මහ ශබ්දය කුමක්දැයි විමසා - මේ හේතුවෙන් යයි දැනගත් විට මහණෙනි ! මෙතැන් සිට භික්ෂූන් විසින් නම් මෙසේ නොකළ යුතුය. යම් භික්ෂුවක් නැවත මෙසේ පහර දෙයිද ඇවත් සිදුවේයයි “පහරදාන විනය සිඛ පදය” පනවන ලදහ. මෙම ශික්ෂාපදය පනවා මහණෙනි ! තමන් දඬුවමට බියවන්නා සේම අනෙක් අයද දඬුවමට බිය වෙතැයිද, මරණයට බිය වේයයිද. දැනගෙන භික්ෂුවක් විසින් අන් භික්ෂුවකට පහර නොදිය යුතුය. ඝාතනය නොකළ යුතුයයි පවසා, පෙර පසු සම්බන්ධ කර දහම් දෙසමින් මෙම ගාථාව දේශනා කළහ.
බිය වෙති හැම දෙනම මරණෙට දඬුවමට
හොඳ නැහැ මරණ දඬුවම් නැති වරදකට
තම සිත තම සිරුර අරගෙන උවමකට
සතෙකුටම මෙත පතුරනු දියුණුවට
සියල්ලෝ දඬුවමට බියවෙති සියල්ලෝ මරණයට බියවෙති - තමාගේ බියවීම උපමා වශයෙන් ගෙන සත්ත්ව හිංසාවෙන් හා ඝාතනයෙන් වැළකිය යුතුය.
එහි සබ්බේ තසන්ති - යනු සියළු සත්ත්වයෝ තමා කෙරෙහි දඬු මුඟුරු පතිත වන විට ඒ දඬුවමට - දඬුවම්වලට බියවෙති. මච්චුනො මරණයට ද බියවෙත්ම ය. මෙම දේශනයේ ව්‍යඤ්ජනාර්ථය, සම්පූර්ණ අර්ථය නම් අවශේෂ වෙයි. යම් ලෙස රජු විසින් සියල්ලන් එක් රැස් වේවායි. අණබෙර යැවූවිට - රජ මහ ඇමති අත්හැර සෙසු අය රැස්වෙති. මෙලෙසම සියල්ලෝ බියවෙත් යයි පැවසූවිටද ආජානේය ඇත් - අස් හා කේශර සිංහයෝ ද රහතන්වහන්සේලා ද යන මේ සිව් පිරිස අත්හැර අනෙක් අය බිය වෙතියි දතයුතු මොවුන් අතර රහතන් වහන්සේලා නම් සක්කාය දෘෂ්ටිය දුරුකර ඇති හෙයින් කයේ බිඳීමක් විනා මියයන කෙනෙක් නොදකින්නේ බිය නොවෙති. අනෙක් තිදෙන මමය මාගේය යන දෘෂ්ටියෙන් බලවත් නිසා තමන්ට ප්‍රතිපක්ෂ වූ කෙනෙක් නොදකින්නේ බිය නො වෙති.
න හන්‍යාන න ඝාතයෙ, යම්සේ මා මෙන්ම අනෙක් සත්ත්වයෝ ද මරණයට බියවෙතියි අන් අය නොපෙළති අන් සතුනට අන් අය ලවා හෝ හිංසා නොකරවති යන අරුත් දේ
දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ඵලය ආදීයට පත්වූහ.
සවග මහණුන්ගේ කථා පුවත.
2. සවග මහණුන් පිළිබඳ දෙවැනි කථා පුවත.
“සබ්බේ තසන්තීති” මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී ඡබ්බග්ගිය (ෂඩ්වර්ගීය) භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
එම භික්ෂූන් විසින් එක් අවස්ථාවක දී යම් කරුණක් නිසාම පළමු ලෙසම පහර දීම කළහ. එවැනි කරුණක් නිසාම පහර දෙන අයුරු දක්වා අත් ඔසවා උළුක් කළහ. මෙහිදී ද බුදුහු ඔවුන්ගේ ඝෝෂාව අසා මේ කුමක්දැයි විමසා මෙම සිදුවීම ගැන දැනගත් පසු - මහණෙනි. මෙතැන් සිට භික්ෂුවකට මෙසේ නො කළ යුතුය. යමෙක් මෙලෙස භික්ෂුවකට පහරදීම කරයිද ඔහු මේ ඇවතට පත්වන්නේ යයි (පහරදීමට අත එසවීමේ) තලසත්තික ශික්ෂාපදය පමුණුවා මහණෙනි. භික්ෂුවක් විසින් යම්ලෙස තමන් තමන් පිළිබඳව එලෙසම අන් අය ගැනද සිතා මා ලෙසටම අන් අය ද ජීවිතයට ප්‍රිය වේ යයි තේරුම් ගෙන අන්අයට හිංසා නොකළ යුතුය ඝාතනය නොකළ යුතුයයි පවසා අනුපිළිවෙල සසඳා දහම් දෙසමින් මෙම ගාථා ධර්මය දෙසූහ.
හැම දෙන කැමතියි තම ජීවිතයට
අකමැති වේමැයි ගුටිබැට කෑමට
තමන්ගේ දිවියම ගෙන උපමාවට
හිරිහැර නොකරනු අනුන්ට කිසිවිට
එහිදී සබ්බේසං ජීවිතං පියන්ති යනු - රහතන් වහන්සේලා හැර අනෙක් සත්ත්වයින්ට ජීවිතය ප්‍රිය වේ. මධුර වේ රහත්හු නම් ජීවිතය පිළිබඳවත් මරණය පිළිබඳවත් උපේක්ෂා සහගත වෙති. සෙසු අය පළමු දැක්වූ පරිදිමය
දෙසුම අවසාන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වූහ.
සවග මහණුන් පිළිබඳ දෙවැනි කථා පුවත.