3-4. බොහෝ කුමාරවරුන්ගේ කථාපුවත
“සුඛකාමානි භූතානී” - යන මේ දම් දෙසුම ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී දරුවන් පිරිසක් නිමිති කරගෙන දෙසූහ.
එක් දිනක් බුදුරජාණන් වහන්සේ සැවත් නුවර පිඬු පිණිස පිවිසියේ අතරමග දී දරුවන් බොහෝ දෙනෙක් ගැරැඩියෙකුට දණ්ඩකින් පහර දෙනු දැක. දරුවනි ! කුමක් කරන්නේදැයි විමසූහ. අපි දණ්ඩෙන් සර්පයෙකු මරන්නෙමුයි පැවසූහ. කුමක් හෙයින් මරන්නේදැයි විමසා දෂ්ටකරයි යන බියෙන් මරන්නෙමුයි පැවසූවිට, නුඹලා තමන්ට සැපයක් කරගන්නේ යයි සිතමින් මේ සතා මැරීමෙන් ඉපදෙන හැමතැනකදීම සුවය නො ලබන්නෝය. තම සුවය සිතන්නවුන් විසින් අන් අය නැසීම සුදුසු නොවේයි පවසා පිළිවෙළ කථාව සසඳා දහම් දෙසමින් මේ ගාථාව පැවසූහ.
සුව කැමති සත්නට
එපා දුක් ගෙන දෙන්නට
දුක් දෙන දනන් හට
නිරය දුක් සිදුවේ ගෙවන්නට
එපා දුක් ගෙන දෙන්නට
දුක් දෙන දනන් හට
නිරය දුක් සිදුවේ ගෙවන්නට
අවිමුගුරු අරගෙන
මිනිසුන් සතුන් නොමරන
මෙත්සිතින් වැජඹෙන
දනෝවෙති දෙව්සුවය වළඳන
මිනිසුන් සතුන් නොමරන
මෙත්සිතින් වැජඹෙන
දනෝවෙති දෙව්සුවය වළඳන
“සැප කැමැතිව යමෙක් (දණ්ඩකින්) දඬුවම් කිරීමෙන් අන් සතුන් පෙළන්නේද එබඳු ඇය සැප කැමතිවුවද පරලොවදී සැප නොලබති සැප කැමැත්තේ දඬුවම් දීමෙන් අන් සතුන් නොපෙළත් ද? ඔවුහු පරලොව දී සැප ලබති.
එහි යො දණ්ඩෙන - යනු යම් පුද්ගලයෙක් දණ්ඩකින් හෝ ගල් කැට කැබලි ආදියෙන් හෝ පෙළන්නේද?
පෙච්ච සො නලභතෙ සුඛං - යනු ඒ පුද්ගලයා පරලොවදී මිනිස් සුවයක් හෝ දිව්ය සුවයක් හෝ පරමාර්ථ වශයෙන් නිවන් සුවයක් හෝ නො ලබයි. පෙච්ච සො ලභතෙ - යනු යම් පුද්ගලයෙක් පරලොවදී කියන ලද ලෙසට තුන් ආකාර වූ සුවයක් ලබයි යන අර්ථ දෙයි.
දේශනය අවසානයේ දී පන්සියයක් වූ ඒ දරුවෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ.
බොහෝ කුමාරවරුන්ගේ කථාපුවත
5-6. කුණ්ඩධාන තෙරුන්ගේ කතා පුවත
“ මාවොච ඵරුසං කඤ්චි” යන මේ දෙසුම ශාස්තෲන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩසිටිය දී කුණ්ඩධාන තෙරුන් නිමිති කරගෙන දේශනාකළ සේක.
උන්වහන්සේ පැවදි වූ දින පටන් එක් ස්ත්රී රුවක් තෙරුන් සමගම හැසිරෙයි. ඇයව තෙරුන් වහන්සේට නොපෙනේ. නමුත් මහජනයා දකී. ඇතුළුගම පිඬුපිණිස හැසිරෙන විටද මිනිස්සු එක් දානයක් පුදා - ස්වාමීනි මෙය ඔබවහන්සේටය. මෙය ඔබ වහන්සේගේ සහායිකාවටයයි කියමින් දෙවැනි දානයක්ද දෙති.
(මෙසේ වන්නට කාරණා කවරේද යත්) - අතීතයේ කාශ්යප බුද්ධ කාලයේදී යහළු භික්ෂූහු දෙනමක් එක මවකගේ කුසින් ඉපදුණ ලෙස ඉතා දැඩි සමගියෙන් විසූහ. දීර්ඝායුෂ්ක කාලයේ දී අවුරුදු පහක් හෝ අට වසරක් පාසා හෝ භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම සඳහා එක්රැස් වෙති. එනිසා ඒ භික්ෂූන් වහන්සේලා දෙනමද පොහොය කරන ගෙට යන්නෙමුයි. වාසය කළ තැනින් නික්මුණාහුය.
තවුතිසා භාවනා වසන දේවතාවියක් මේ තෙරවරුන් දැක මේ දැඩි සමඟිය බිඳින්නට හැකිදැයි සිතා තමාගේ බාල බැවින් (පව්කාරසිත නිසා) එසේ කිරීමට සිතා ගත්තාය. ඉක්බිති එක් භික්ෂුවක් විසින් ඇවැත්නි, මොහොතක් ඉන්න, මට ශරීරකෘත්ය කිරීමට අවශ්යයයි පවසා මදක් ඈතට ගියේය. ඒ දේවතාවිය එහිදී ගැහැනියකගේ වෙසක් මවාගෙන තෙරුන් ගියතැනට පිවිස. නික්මෙන අවස්ථාවේදී එක් අතකින් කෙස් කළඹ ද අනෙක් අතින් ඇඳසිටි රෙද්ද ද (වස්ත්රයද) සකස් කරමින් තෙරුන්ගේ පිටුපසින් නික්මී ආවාය. උන්වහන්සේ ඇය නොදකී. ඇය එද්දී පෙරටුව ගමන් කළ භික්ෂූන් වහන්සේ නැවතී. බලමින් සිටින්නේ ඒ ස්ත්රිය එන අයුරු දුටුවේය. ඇය එම තෙරුන් දුටුබව දැනගෙන අතුරුදහන් වූවාය. මේ නිසා අනෙක් භික්ෂුව තමා ළඟට පැමිණි අවස්ථාවේ දී - ඇවැත්නි ! සිල්බිඳුනා නේදැයි විමසුවේය. නැත ඇවැත්නි මම එබඳු දෙයකට පත්නොවුවෙමි යයි පැවසූහ.
මේ දැන් ඔබ පසුපසින් ආ තරුණ ස්ත්රිය (ඇඳිවත හදමින් පැමිණිය) දිටුවෙමි. ඔබ එසේ නොවේයයි පවසන්නේ කුමක් හෙයින්ද? එවිට අනෙක් භික්ෂුව හිසමත හෙණයක් වැටුන සේ ඇවැත්නි මා නොනසවයි ද මම එබඳු වරදක් නොකෙළෙමි යයි ද පැවසූහ. එවිට අනෙක් සහායක භික්ෂුව මම දැන් දෑසින් දුටුදෙය නුඹ නො අදහන්නේදැයි සැරයටි කෙළවර කඩා දමා යන්නට ගියේය. පොහොය කරන ගෙයි ද මොහු සමග මම පොහොය නොකරමි යි වාඩි වූයේය. අනෙක් භික්ෂුව ස්වාමීනි මගේ සිල්වත්බවේ ඉතා කුඩා පලුද්දක් හෝ නැතැයි භික්ෂූන්ට දන්වා සිටියේය. අනිත් තෙරුන් ද දෑසින් දකින ලද දේ පැවසුවේය. දේවතාවිය මෙම භික්ෂුව සමග පොහොය නොකරන බව දැක - මා විසින් බැරෑරුම් දෙයක් කරන ලදැයි සිතා ස්වාමීනි මම නිසා තෙරුන්ගේ සිල් බිඳීමක් සිදුනොවීය මම උන්වහන්සේ පරීක්ෂා කිරීම සඳහා එය කෙළෙමි. ඒ නිසා මුන්වහන්සේ සමග පොහොය කරන්නැයි පවසා සිටියාය. උන්වහන්සේ ඇය අහසෙහි සිට කියනා විට අදහාගෙන පොහොය කරන ලදී. (පිරිසිදු යයි සිතා පොහොය කළත්) ඒ තෙරුන් වහන්සේ පෙර දී මෙන් මෘදු සිතක් නොවීය. දේවතාවිය විසින් පෙර දින දී කරන ලද කර්මය මෙපමණි.
ආයු කෙළවර තෙරුන් වහන්සේලා සුවසේ ඉපදුණහ. දේවතාවිය අවීචියේ ඉපදී බුද්ධාන්තර කල්පයක් එහි පැසී මේ බුද්ධෝත්පාද සමයේදී සැවත් නුවර ඉපිද වැඩිවියට පත්ව සසුනේ පැවිදිවිය. උපසම්පදාවද ලැබුවේය. ඔහු පැවිදි වූ දා සිට ඒ ස්ත්රී රුව පෙර ලෙසටම පෙනෙන්නට විය.
මේ නිසාම උන්වහන්සේට කුණ්ඩධාන යන නම යෙදූහ. ඔහු එසේ හැසිරෙනු දැක භික්ෂූන් වහන්සේලා අනේපිඬු සිටුතුමන්ට සිටුතුමනි ! මේ දුසිල් තැනැත්තා ඔබේ විහාරයෙන් බැහැර කරන්න. මොහු (මේ භික්ෂුව) නිසා අනෙක් භික්ෂූන්ට ද අපකීර්තියක් ඇතිවේ යයි පැවසූහ. සිටුවරයා, ඇයි ස්වාමීනි ! බුදුරජාණන් වහන්සේ විහාරයේ නොසිටිත්ද? උපාසකතුමනි බුදුහු සිටිතියි පැවසූහ. එසේ නම් ස්වාමීනි තථාගතයන් වහන්සේ (කළයුතු දේ) දනිතියි පැවසීය. එහෙත් භික්ෂූන් වහන්සේලා ගොස් විශාඛා උපාසිකාවට ද දැනුම් දුන්හ. ඇය ද සිටුතුමා කී ලෙසටම පිළිතුරු දුන්නාය.
භික්ෂූහු ඔවුන් විසින් කී වචනය නොපිළිගෙන - රජතුමා වෙත ගොස් මහරජ, කුණ්ඩධාන තෙරුන් එක් ස්ත්රියක් සමග නිතර සැරිසරමින් සියළු භික්ෂූන්ට අපකීර්තිය ඇති කරයි. එනිසා මහරජ ඔබ විසින් මේ භික්ෂුව ඔබතුමන්ගේ බල ප්රදේශයෙන් (විජිතයෙන්) පිටමන් කරන්න යයි පැවසූහ. රජතුමා ස්වාමීනි ඔහු කොහේ සිටීද? මහරජ දෙව්රම් විහාරය තුළ සිටී. කිනම් ආවාස කුටියේ සිටීද? අසවල් කුටුයේ යයි පැවසූහ. හොඳයි එසේනම් ඔබ වහන්සේලා යන්න මම ඔහුව අල්වාගන්නෙමියි පැවසීය. රජතුමා සවස විහාරයට ගොස් එම සෙනසුන මිනිසුන් ලවා වටකරවා තෙරුන් සිටින කුටියට අභිමුඛව සිටියේය. තෙරුන් වහන්සේ මහා ශබ්ධය අසා විහාරයෙන් නික්මී දොරටුව ඉදිරියේ සිටියහ. ඒ ස්ත්රී රුවද පිටුපස සිටිනු රජ දුටුවේය.
තෙරුන් වහන්සේ රජුගේ පැමිණීම දැන නැගි සිටියහ. රජතුමා තෙරුන් නොවැන්දේය. ඒ ස්ත්රීරූපය ද නො දුටුවේය. ඔහු දොර අස්සේ ද ඇඳයට ද බලන්නේ නොදැක තෙරුන්ට මෙසේ කීවේය. ස්වාමීනි ! මෙතැන එක් ස්ත්රියක් දුටුවෙමි. ඇය කිනම් කෙනෙක්දැයි විමසීය. මහරජ මම නොදකිමි. මම දැන් ඇය ඔබවහන්සේ පිටුපස සිටිනු දුටුවෙමි. කීවිට - නොදනිමි මහරජයයි පැවසූහ. රජු මේ කුමක් දැයි සිතමින් ස්වාමීනි ! මෙහි ඉන්න යයි පවසා, තෙරුන් වහන්සේ එහි සිටිවිට නැවත ඇය තෙරුන් පිටුපස සිටියාය. රජු ඇය දැක නැවත උඩ තලයට නැගුනි. ඇය ගියබව දැන තෙරුන් වාඩිවිය. නැවතද රජු ඇය සියළු තැන්හි බලන්නේ නොදැක - ස්වාමීනි ඇය කවර කෙනෙක්දැයි නැවත විමසීය. මම නොදකිමියි තෙරුන් පැවසූහ. ස්වාමීනි දැන් ඇය ඔබ පිටුපස සිටිනු දුටුවෙමි. එසේය මහරජ - මහජනයාද මා පසුපස කාන්තාවක් යන්නේ යයි කියති. මම නම් නොදකිමි පැවසූහ. රජතුමා ප්රතිරූපයක් යයි සිතා නැවත තෙරුන් වහන්සේට නැගී සිටින්නැයි පවසා තෙරුන් ඉදිරි පස සිටියේ නැවත ද ස්ත්රීරූපය තෙරුන් පිටුපස දැක ඉදිරියෙන් නැගී සිට බලන්නේ ඒ රුව නොදුටුවේය. නැවත තෙරුන්ගෙන් දුටුවේ දැයි විමසා මම නො දුටුවෙමියි පැවසූවිට ප්රතිරූපයක් යයි නිශ්චය කරගෙන තෙරුන්ට පැවසීය. ස්වාමීනි මෙබඳු කෙළෙසීමක් ඔබ වහන්සේ පිටුපසින් හැසිරෙන කළ කිසිවෙක් ඔබ වහන්සේට ආහාර නොදෙන්නේ නම් නිතර මගේ මාළිගයට පිවිසෙන්න මමම ඔබ වහන්සේට සිවුපසයෙන් උවැටන් කරමියි ආරාධනා කොට ගියේය.