9-10. දේවදත්ත වස්තුව
‘අනික්කසාවො’ යනාදි මේ ධර්මදේශනාව බුදුන් දෙව්රම වැඩ වසන සමයෙහි රජගහනුවර දෙව්දතුන්ගේ කාෂායවස්ත්‍ර ලාභයක් අරහයා දේශනාකරනලදි.
එක් කලෙක අගසවු දෙනම පන්සීය බැගින් වූ තම තමන්ගේ පිරිවර භික්ෂූන්ද කැටුව බුදුන්ගෙන් අවසර ලබා දෙව්‍රමින් පිටත්ව රජගහනුවරට ගියහ. රජගහනුවර වැසි දෙදෙනා තුන්දෙනා හෝ බොහෝදෙනා එකතුව ආගන්තුක දාන දුන්හ.
ඉක්බිති දිනක ආයුෂ්මත් සැරියුත් ස්ථවිරයන්වහන්සේ අනුමෝදනාවක් කරමින් උපාසකවරුනි, එක් පුද්ගලයෙක් තමන් දන් දෙයි. අනුන් ඊට සම්මාදන් කරනොගනියි. හෙතෙම උපනුපන් තන්හි හෝගසම්පත් ලබයි. පිරිවර සම්පත් නොලබයි. එකෙක් තමන් නොදෙයි. අනුන් සමාදන් කරවයි. හෙතෙම උපනුපන් තන්හි පිරිවර සම්පත් ලබයි. භෝග සම්පත් නොලබයි. එකෙක් තමනුත් නොදෙයි. අනුනුත් සම්මාදන් නොකරවයි. හෙතෙම උපනුපන් තන්හි කැඳ ටිකත් පවා නොලබයි. අනාථවූ ප්‍රත්‍යය නොලබන්නෙක් වෙයි. එකෙක් තමනුත් දන් දෙයි, අනුනුත් ඊට සමාදන් කරවයි. හෙතෙම උපනුපන් තැන්වල ආත්මභාව සියගණන් දහස්ගණන් ලක්ෂ ගණන්වලදී භවභෝග සම්පත් මෙම පරිවාර සම්පාද ලබන්නේයයි දහම් දෙසූහ.
ඒ පිරිස මැද සිටි එක් ඥානවන්ත පුරුෂයෙක් මේ බණ අසා සිට, ධර්ම දේශනාව අසිරිමත්ය, හොඳ කරුණක් කියන ලදැයි කියා, මා විසින් මේ කියන ලද දෙයාකාර සම්පත්ම ලැබෙන පිනක් කළයුතුයයි සිතා, ස්වාමීනි, හෙට මගේ දානය පිළිගනු මැනවයි තෙරණුවන්ට ආරාධනාකෙළේය. උපාසකය, ඔබට කොපමණ භික්ෂූන් අවශ්‍යද? ස්වාමීනි, ඔබේ පිරිවර කෙතෙක්ද, උපාසකය, දහසක් පමණය. ස්වාමීනි, ඒ සියලුදෙනාත් සමඟම මගේ ආරාධනය පිළිගනු මැනවි. තෙරණුවෝ ආරාධනය පිළිගත්හ.
උපාසකතෙම නුවර වීථිවල ඇවිදිමින් මවුපියවරුනි, මම භික්ෂූන් දහසකට දානය සඳහා ආරාධනා කෙළෙමි. ඔබට භික්ෂුන් කීනමකට දන් දියහැකිද, ඔබ කීනමකට දැ’යි සම්මාදම් කළේය. මිනිස්සු තමතමන්ගේ ශක්ති ප්‍රමාණයෙන්, අපි දහනමකට දෙන්නෙමු, අපි විසිනමකට, අපි සියනමකට ආදි වශයෙන් භාරගත්හ. උපාසකතෙම, එසේ නම් එක් තැනකට එකතු වී එකටම දානය පිසන්නෙමුයයි සියල්ලෝම දාන උපකරණත් සමඟ එක් තැනකට රැස්කරවූහ.
ඉන්පසු එක් කෙළෙඹියෙක් ලක්ෂයක් අගනා සුවඳ කසාවතක් ගෙනවුත් දී යම් විදියකින් ඔබේ දන්වැටට අඩුපාඩුවක් වුවහොත් මෙය විකුණා අඩුපාඩු පිරිමසා ගන්න. අඩුපාඩුවක් නූනොත් මෙය තමන් කැමති හිමිනමකට පූජා කරන්නැයි කීවේය. ඔහුගේ දන්වැට සියල්ලෙන් සම්පූර්ණ විය. කිසිදු අඩුපාඩුවක් නොවීය. ඔහු පිරිස අමතා, පින්වතුනි, මේ කසාවත එක් කෙළඹියෙක් මට දුන්නේය. දැන් මෙය ඉතිරිව තිබෙයි. මෙය කාට දෙන්නෙමුදැයි ඇසීය.
ඇතැම්හු, එය සැරියුත් හිමියන්ට දෙමු, තවත් අය මේ සැරියුත්හිමියෝ අස්වනු පැසෙන කාලයේ අවුත් ආපසු වඩින්නාහුය, මේ දෙව්දත් හිමියෝ අපේ මංගල අමංගලාදි හැම අවස්ථාවලදීම අපට සහාය වෙති. දිය පුරවා තබන මහසැළියක් මෙන් නිරන්තරයෙන් අප සමඟ සිටිති. උන්වහන්සේට දෙමු යයි කීහ. සියලු දෙනාගේ කථාවෙන් දෙව්දත්හිමියන්ට දෙමු කියන්නෝ බහුතරයක් වූහ. අනතුරුව එය දෙව්දත් හිමියන්ට පූජා කළාහුය. දෙව්දත්තෙරණුවෝ එය කපා මසා රඳන් කොට (පඬු පොවා) හැඳ පෙරවාගෙන ඒමේ අත හැසුරුණාහ. ඒ දුටු මිනිස්සු මෙය දෙව්දතුන්ට නුසුදුසුය. සැරියුත් හිමියන්ටම සුදුසුය. දෙව්දත්තෙරණුවෝ තමන්ට නොගැළපෙන්නක් හැඳ පෙරව හැසිරෙතියි කියන්ටවූහ.
ඉක්බිති එක් දිසාවාසී භික්ෂුනමක් රජගහනුවර සිට සැවැත් නුවරට ගොස් බුදුන් වැඳ තොරතුරු කථාකරමින් සිටින අතර බුදුරජාණන්වහන්සේ විසින් අගසවු දෙනමගේ සැප විහරණ පිළිබඳව විචාරනලදුව මුලපටන් සියලු පුවත් දන්වා සිටියේය. බුදුහු, මහණ, දෙව්දත් තමන්ට නොගැළපෙන වස්ත්‍ර දරා සිටියේ අද පමණක් නොවෙයි. පෙරත් එසේ දැරුවේමයයි වදාරා මේ ඉකුත්වන ගෙනහැර දැක්වූහ.