11-12. අගසවු වස්තුව
‘අසාරෙ සාරමතිනො’ ආදි මේ ධර්ම දේශනාව බුදුන් වේළුවනයෙහි වාසයකරන කාලයෙහි අගසව්වන් විසින් දන්වන ලද නමුත් සංජයගේ නොපැමිණීම අරභයා දේශනා කරන ලදි.
මේ එහි අනුපිළිවෙළ කථාවයි. අප බුදුන් මෙයින් චතුරාසංඛ්‍යකල්පලක්ෂයකටත් අධික කාලයක් අමරවතී නම් නුවර සුමේධ නම් බ්‍රාහ්මණ කුමරෙක්ව, සියලු ශිල්පයන්හි පරතෙරට පත්ව, මවුපියන්ගේ ඇවෑමෙන් නොයෙක් කෝටි සංඛ්‍යාත ධන පරිත්‍යගකොට ඍෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව ධ්‍යාන අභිඥාලාභීව හිමවතෙහි වාසයකෙළේය. දිනක් මේ තවුස්තෙමේ අහසින් යන්නේ දීපංකර දසබලයන්වහන්සේට සුදසුන් විහාරයේ සිට රම්ම නගරයට පිවිසෙනු සඳහා මාර්ගය පිළිසකර කරන ජනයා දැක, තමනුත් එයින් මාර්ග කොටසක් භාරගෙන එය නිමවීමටත් කලින් වැඩමවූ බුදුරදුන්ට, තමන් ඒදණ්ඩක්කොට මඩෙහි වැතිරී, ශ්‍රාවක සංඝයා සමඟ බුදුරජාණන්වහන්සේ මඩ නොපාගා, මා පාගාගෙන වඩිනා සේක්වායි බිම දිගාවී වැදහොත්තේය.
බුදුරජාණන්වහන්සේ ඔහු දුටු ගමන්ම මේ බුද්ධංකුරයෙකි. අනාගතයේ මෙයින් චතුරාසංඛ්‍යකල්ප ලක්ෂයක් ගියතැන මොහු ගෞතම නමින් බුදුවන්නේයයි ප්‍රකාශ කළහ. ඒ දීපංකර බුදුන්ගෙන් පසුව කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සි, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුනීත, පියදස්සී, අත්ථදස්සි, ධම්මදස්සි, සිද්ධත්ථ, තිස්ස, ථුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසන්ධ, කෝණාගමන, කස්සප යනුවෙන් ලොව ආලෝකමත් කරමින් උපදින්නාවූ තෙවිසි බුදුවරුන් සමීපයෙන් විවරණ ලබා දසපාරමී දස උපපාරමී දසපරමාර්ථපාරමී වශයෙන් සමතිසක් පාරමීන් සපුරා වෙස්සන්තර ආත්මභාවයෙහිදී පොළොව කම්පා කරවමින් මහදන්දී අඹුදරුවනුත් පරිත්‍යාගකොට ආයුකෙළවර තුසීපුරයෙහි ඉපද ආයු ඇතිතාක් එහි සිට දසදහසක් සක්වළ දෙවියන් රැස්ව,
මහාවීරයාණනි,
මවුකුස ඉපදුමට මේ සුදුසු කාලයයි
එහෙයින් මෙලොව ඉපිද
දෙවියන් සහිත තුන්ලොව
නිවනට පමුණුවනු මැනවි
[missing trans]
යනාදි ක්‍රමයෙන් ආරාධනා කළ කල්හි, පස්මහ බැලුම් බලා දෙව්ලොවින් චුතව ශාක්‍යරාජකුලයෙහි ඉපිද එහි මහ සම්පත් විඳිමින් පිළිවෙළින් පිරිපුන් යොවුන්වියට පැමිණ ඍතුවට ගැළපෙන ප්‍රාසාද තුනක දෙව්ලොව සිරි වැනි රජසිරි අනුභව කොට උයන් කෙළියට යන අතර පිළිවෙළින් ජරාවටත්, රෝගයටත්, මරණයට පත්වූවන් ත්‍රිවිධ දේවදුතයන් සේ දැක, උපන් සංවේග ඇතිව නැවතී සිවුවෙනි වරට පැවිදිරුවක් දැක පැවිද්ද යහපතැයි එහි රුචිය උපදවාගත්හ. එදින එහි ගතකොට මඟුල්පොකුණු තීරයෙහි සිටින අතර, කපුවෙසක් ගෙන එහි පැමිණි විශ්වකර්ම දෙව්පුතුන් විසින් ගෙන එන ලද රාහුලපුත් කුමරු උපන්බව දැක්වෙන පණිවුඩය අතට ගෙන පුත්‍රස්නේහයේ බලවත් බව වටහා ගෙන, එම බන්ධනය මුහුකුරා යෑමට ප්‍රථම මෙය සිඳ දැමිය යුතු යයි සවස නුවරට පිවිසෙන විට
නිවුණාය ඒ මව
නිවුණේය ඒ පියතෙම
නිවුණීය ඒ පියළඳ
මෙවන් හිමියෙකු ඇති සඳ
යනාදීන් තම නැන්දගේ දුවණිය වූ කිසාගෝතමියගේ නිබ්බුතපද අසා, මෑ මට නිබ්බුතපද ඇස්වීයයි තම මුතුහර මුදා ඈට යවා තම යහන්ගැබට වැද සිරියහනෙහි වැදහොත්තේය. එහිදී නිද්‍රෝපගත (නින්දට වැටුණු) නාටිකාංගනාවන්ගේ නොයෙක් විප්‍රකාර දැක කළකිරී ඡන්න ඇමතිත් සමඟ දසදහසක් සක්වළ දෙවියන් විසින් පිරිවරන ලදුව මහබිනික්මන් කොට අනෝමා නම් නදී තීරයට පැමිණ පැවිදිව ක්‍රමයෙන් රජගහ නුවරට ගොස් එහි පිඬු සිඟා පාණ්ඩව පර්වතප්‍රාන්තයෙහි සිටින විට මගධ රජුන් විසින් රාජ්‍යය භාර ගන්නැයි අයැදි කල එය ප්‍රතික්ෂේප කළහ. බුදුවූ පසු තම විජිතයට එන්නැයි කළ ඇරයුම භාර ගත්හ. ඉන්පසු ආළාර උද්දක යන දෙදෙනා වෙත එළඹුණාහ. ඔවුන්ගෙන් විශේෂ අධිගමයක් නොලද හැකි බව දැන පසුබට නොවී සය වසරක් මහා ප්‍රධන් වීර්ය කොට වෙසක් පුන් පොහෝදා උදැසනම සුජාතාව විසින් දෙන ලද පායාසය වළඳා නේරංජරා නදිය වෙත පැමිණියහ. එහිදී රන්පාත්‍රය නදියෙහි පා කොට යවා එම නදීතිරයෙහි මහවන ලැහැබ තුළ නොයෙක් සමවත් සුවෙන් දිවාකල් යවා සවස සොත්ථිය නම් බමුණා දුන් ඊතණ ගෙන කාළ නම් නාරජුන් කළ ගුණ ගායනා අසා මහාබෝමැඩ වෙත එළඹුණහ. එහි තණ අතුරුවා, සියලු කෙලෙසුන්ගෙන් මගේ සිත මිදෙන තුරු, මේ පර්යංකය නොහරින්නෙමියි ප්‍රතිඥා කොට පෙරදිගට මුහුණ ලා හිඳගෙන හිරු බැස යෑමටත් පෙර මාරබල නසා ප්‍රථම යාමයෙහි පුබ්බේනිවාසඥානයත්, මැදුම්යම චුතූපපාතඥානයත්, පැසුළුයම පච්චයාකාරඥානයත් ලබා දශබල චතුර්වෛශාරද්‍යාදි සියලු ගුණයන්ගෙන් ප්‍රතිමණ්ඩිත සර්වඥතාඥානය ද ලබා සත්සතියක් බෝමැඩ ගත කොට අටවෙනි සතියෙහි අජපල්නුගරුක මුල සිටිමින් ධර්මයෙහි ගැඹුරු බව මෙනෙහි කළසේක. ඉන්පසු දහම් දෙසුමෙහි අල්පෝත්සාහී බවට පැමිණ, දසදහසක් සක්වළ මහාබ්‍රහ්ම පිරිවර සහිතව පැමිණි, සහම්පතී මහබඹහු විසින් ආරාධනා කළ කල්හි, බුදු ඇසින් ලොව බලා, බඹහුගේ ඇරයුම ද පිළිගෙන, ප්‍රථමයෙන්ම කාට දහම් දෙසන්නෙම්දැයි බලා ආළාර උද්දක තවුසන් කළුරිය කොට ඇති බැවින්, පංචවග්ගිය භික්ෂූන්ගේ උපකාර සිහිකොට හුනස්නෙන් නැගිට කාශිපුරයට වඩින ගමන් අතරමඟදි උපක නම් ආජීවකයා සමඟ කථා කොට ඇසළ පුන්පොහෝදින ඉසිපතන මිගදායට, පංචවග්ගිය භික්ෂුන් වසන තැනට එළඹිසේක. එහිදී අනුචිත වචනයෙන් (බුදුන්ට ආවුසො යයි කීම) අමතන ඔවුන්ට තමන් බුදු වූ බැවින් එසේ කථා නොකරන ලෙස හඳුන්වා දී අඤ්ඤාකොණ්ඩඤ්ඤ ප්‍රමුඛ අටළොස් කෙළක් පමණ අයට දහම් අමා පැන් පොවා ධර්මචක්‍ර සූත්‍ර දේශනාව පවත්වා එයින් පස්වෙනි සතියෙහි ඒ සියලු භික්ෂූන් රහත්බවෙහි පිහිටුවා වදාළහ. එදිනම යසකුල පුතුන්ගේ හේතුසම්පත් දැක, එදිනම රෑ කළකිරී ගෙය හැර ගිය ඔහු අමතා, යස මෙහි එන්නැයි අඬගසා ඒ රෑම සෝවාන් ඵලයට පමුණුවා දෙවෙනි දවස රහත්බවටද පමුණුවාලූහ. ඔහුගේ සෙසු සිව්පනස් දෙනෙක් වූ යහළුවන්ද ඒහිභික්ෂු පැවිද්දෙන් පැවිදි කොට රහත්බවෙහිද පිහිටුවාලුහ.