13-14. නන්ද ස්ථවිර වස්තුව
‘යථාගාරං’ ආදි මේ ධර්මදේශනාව බුදුරජාණන්වහන්සේ දෙව්රම වැඩවසන සමයෙහි ආයුෂ්මත් නන්ද හිමියන් අරභයා දෙසූසේක.
ධර්මචක්ර දේශනාව පැවැත්වූ බුදුහු රජගහ නුවරට වැඩමවා වේළුවනයෙහි වසනසේක්, ‘මගේ පුතා කැඳවාගෙනවුත් මට පෙන්වව් යයි’ ශුද්ධෝදන මහරජුන් දහසක් පිරිවර ඇති දූතයන් දසදෙනාගෙන් සියල්ලන්ටම පසුව ගොස් රහත්බවට පැමිණි කාළුදායි තෙරුන් විසින් කිඹුල්වතට වැඩමවීමට සුදුසු කාලයයයි මාර්ග වර්ණනා කරන ලදි. ඉන්පසු බුදුහු විසිදහසක් පමණ රහතුන් පිරිවරා කපිලවස්තුවට වැඩමවා නෑ සමාගමයෙහි වැටීම කරණකොට වෙස්සන්තර ජාතකය වදාරා දෙවෙනි දින පිඬු පිණිස වැඩමවා ‘උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්ය’ ආදි ගාථාව වදාළහ. එයින් පියරජු සෝවාන් ඵලයෙහි පිහිටුවා ‘ධම්මං චරෙ’ ආදි ගාථාවෙන් මහාප්රජාපතී ගෝතමිය සෝවාන් ඵලයෙහිද, රජුන් සකෘදාගාමි ඵලයෙහිද පිහිටුවූහ.
එදින බත්කිස අවසානයෙහි රාහුලමාතාවගේ ගුණ කථාව නිසා ‘ඡන්දකිණ්ණර’ ජාතකය දේශනාකොට එයින් දෙවෙනි දිනයෙහි නන්දකුමරුගේ අභිෂේකය, ගෘහප්රවේශය, විවාහමංගල්යය යන කටයුතු පැවැත්වෙන අතර පිඬු පිණිස වැඩමවා නන්දකුමරුන් අතට පාත්රය දී මංගල කරුණු කියාදී අසුනින් නැගිට වඩිනවිට නන්දකුමරුන් අතට දුන් පාත්රය නොගත්සේක. ඔහුද බුදුන් කෙරෙහි ගෞරවයෙන් ‘ස්වාමීනි, ඔබවහන්සේගේ පාත්රය ගනුමැනවැයි කියන්ට අසමත්විය. හේ මෙසේ සිතීය. ‘බුදුහු ඉණිමං හිසදී පාත්රය ගනු ඇති’. බුදුහු එතනදී පාත්රය නොගත්හ. කුමරු, ඉණිමඟ යටදී ගනු ඇතැයි සිතීය. එහිදීද නොගත්හ. රජමිදුලේදී ගනු ඇති, බුදුහු එතනදීද නොගත්හ. කුමරු නවතිනු කැමැත්තෙන්, යෑමට අරුචියෙන් යන නමුත් ගෞරවය නිසා පාත්රය ගන්නැයි කීමට අසමත්විය. මෙතනදී ගනු ඇති, අතනදී ගනු ඇතැයි සිතමින් නන්ද බුදුන් පසුපසින් යයි.
එවේලෙහි, ආර්යාවනි, භාග්යවතුන්වහන්සේ නන්දකුමරු රැගෙන ගියෝය. ඔබගෙන් ඔහු වෙන්කරන්නේයයි පිරිවර ස්ත්රීහු ජනපදකළ්යාණියට දන්වා සිටියහ. ඈ දියබිඳු වැගිරෙන අඬක් වියළි අඬක් පීරු කෙසින් යුක්තව වේගයෙන් දුවගොස්, ආය පුත්රය, වහා එන්නැයි කීවාය. ඇගේ ඒ වචනය කුමරුගේ හදවතේ හරස්ව වැටුණා මෙන් ඔහුට දැනුණේය. ශාස්තෘන්වහසේත් ඔහුගේ අතින් පාත්රය නොගෙනම විහාරයට ගෙනගොස් නන්ද පැවිදි වන්නෙහිදැයි ඇසූහ. හෙතෙම බුද්ධ ගෞරවයෙන් පැවිදි නොවන්නෙමියි නොකියා, එය පැවිදි වන්නෙමියි කීය. බුදුහු එසේනම් නන්ද පැවිදි කරව්යයි භික්ෂුන් අමතා වදාළහ. බුදුරදුන් කපිලවස්තුවට ගොස් තුන්වෙනි දින නන්දකුමරු පැවිදිකරවන ලදහ.
සත්වෙනි දින රාහුලමාතාව රාහුල කුමරු හැඳපලඳවා බුදුන් හමුවට යැව්වාය. ‘දරුව, මේ විසිදහසක් ශ්රමණයන් පිරිවරාගත්, රන්වන් පැහැ ඇති සිරුරක් දරන, බ්රාහ්මයකුට සමාන වර්ණවත් ශ්රමණයන්වහන්සේ දෙස බලන්න. මේ ඔබේ පියාය. මුන්වහන්සේ ගෙයින් නික්ම ගිය පසු අප දැක්කේ නැත. ඔබ යන්න, එතුමාගෙන් ඒ දායාද ඉල්ලන්න. පියාණනි, මම ඔබේ පුත්කුමරා වෙමි. මම අභිෂේක ලබා සක්විතිරජ වන්නෙමි. මට ධනයෙන් ප්රයෝජන ඇත. මට ඒ ධනය දෙනු මැනවි. පියා සතු ධනයට පුතා හිමිකාරයෙකුයයි කියවයි පිටත්කර යැව්වාය.
කුමරා බුදුන් ළඟට යාමෙන්ම පිතෘස්නේහය හය ලබා එම ප්රීති වූ සිතින්, ශ්රමණයන්වහන්ස, ඔබේ සෙවණැල්ලත් ඉතා සැපයි ආදි මෙවැනි තමන්ට ඔබින තවත් බොළඳ වචන කියමින් සිටියේය. භාග්යවතුන්වහන්සේ එදින බත්කිස නිමවා අනුමෝදනාකොට අසුනෙන් නැඟිට වැඩිසේක. කුමරාද, ශ්රමණයන්වහන්ස, මට දායාද දෙන්න, මට දායාද දෙන්නැයි භාග්යවතුන් පිටුපසම ගියේය. භාග්යවතුන්වහන්සේ කුමරා නොනැවැත්වූහ. පිරිවර ජනයෝද භාග්යවතුන් සමඟ යන ළදරු කුමරු නැවැත්වීමට අපොහොසත්වූහ. මෙසේ කුමරා භාග්යවතුන්වහන්සේ සමඟම ආරාමයට ගියේය.
ඉන්පසු භාග්යවතුන්වහන්සේ මෙසේ සිතූහ - මේ කුමරා පියාසතු ධනය බලාපොරොත්තුවෙයි. ඒ ධනය විපත් දෙමින් සසර බැඳ තැබීමට හේතුය. දැන් ඉතින් මොහුට බෝධිකාලයෙහි ලැබූ සප්තවිධ ආර්යධනය හිමිකර දෙමි. ලෝකෝත්තර දායාදයට මොහු හිමිකාරයකු කරන්නෙමියි සිතා, එසේම ශාරිපුත්රය, ඔබ මේ රාහුල කුමරා පැවිදි කරන්නැයි වදාළහ. තෙරුන්වහන්සේ රහල්කුමරු පැවිදි කළහ. කුමරා පැවිදි කිරීමෙන් ශුද්ධෝදනරජුට අධිකමාත්ර දුකක් හටගත්තේය. ඒ දුක ඉවසා දරාගත නොහැකිවූ රජු භාග්යවතුන්වහන්සේ ළඟට ගොස් භාග්යවතුන්වහන්ස, මවුපියන් අනුනොදත් දරුවන් පැවිදි නොකිරීම මැනවැයි වරයක් ඉල්ලා සිටියේය.
භාග්යවතුන්වහන්සේ ඔහුට ඒ වරය දී, නැවත එක් දවසක රජමාලිගයේදී උදේ දන් වළඳා අවසානයේදී, එකත්පසෙක හුන් රජු, ස්වාමීනි, ඔබවහන්සේ දුෂ්කරක්රියා කරන කාලයෙහි එක් දෙවියෙක් මා වෙත පැමිණ ඔබේ පුතා මැරුණේයයි කීවේය. මම ඔහුගේ වචනය භාර නොගෙන මගේ පුතා බුදුවී මිස නොමැරෙනේයයි ප්රතික්ෂේප කෙළෙමි. රජු එසේ කී කල්හි, මහරජතුමනි, දැන් ඔබ එබඳු කතා කෙසේ අදහන්නෙහිද, පූර්වයෙහි ඔබේ පුතා මළේයයි ඇට කැබලි පවා පෙන්වා කීවිටද ඔබ එය නොපිළිගත්තාහුයයි වදාරා, මේ කරුණ නිමිතිකොටගෙන මහාධම්මපාල ජාතකය දෙසූසේක. කථා කෙළවර රජු අනාගාමී ඵලයෙහි පිහිටියේය.
මෙසේ භාග්යවතුන්වහන්සේ, රජු ත්රිවිධ ඵලයෙහි පිහිටුවා භික්ෂුසංඝයා පිරිවරා යළි රජගහ නුවරට වැඩමවා අනාථපිණ්ඩික සිටුවරයාගෙන් සැවැත්නුවරට ඒම පිණිස පිළිගනු ලැබූ ප්රතිඥා ඇති හෙයින් දෙව්රම වැඩ අවසන්කොට එහි ගොස් වැඩ විසූහ.