7-8. චූළකාල-මහාකාල වස්තුව
‘සුභානුපස්සිං විහරන්තං’ යන මේ ධර්ම දේශනාව ශාස්තෘන්වහන්සේ සෙතව්‍ය නම් නුවර ආශ්‍රයෙහි වැඩසිටි කාලයේ චූළකාල, මහාකාල දෙදෙනා අරභයා දේශනා කළසේක.
සෙතව්‍ය නගරවාසී චූලකාළ, මජ්ඣිමකාල, මහාකාලයයි කෙළෙඹි පුත්‍රයෝ තිදෙනෙක් විසූහ. එයින් වැඩිමාලු බාල දෙදෙනා ඒ ඒ දිනවල ගොස් ගැල්වලින් බඩු ආනයනය කරති. මජ්ඣිමකාල, ගෙනා බඩු විකුණයි. පසු කලක මේ සහෝදරයන් දෙදෙනා ගැල් පන්සීයක නොයෙක් බඩු පටවාගෙන සැවැත් නුවරට ගොස් සැවතත් ජේතවනයත් අතර ගැල් මිදුවාහුය. ඔවුන්ගෙන් මහාකාල සවස් වරුවේ සුවඳ මල් ආදිය රැගෙන බණ අසනු පිණිස යන සැවැත්නුවරවාසී ආර්යශ්‍රාවකයන් දැක,මේ අය කොහේ යන්නහුදැයි අසා දැනගෙන තමනුත් යායුතුයයි සිතා, බාල සොහොයුරාට කථා කොට, දරුව, ‘ගැල් පිළිබඳව සැලකිලිමත්වන්න. මම බණ ඇසීමට යන්නෙමි’යි කියා ගොස් බුදුන් වැඳ පිරිස් කෙළවර හුන්නේය.
බුදුපියාණෝ ඔහු දැක ඔහුට ගැළපෙන පරිදි පිළිවෙළ කථාව දේශනා කරමින්, දුක්ඛක්ඛන්ධ ආදී නොයෙක් ආකාරයෙන් කාමයන්ගේ දෝෂයද ලාමක බවද කිළුටු සහිත බවද ප්‍රකාශ කළහ. ඒ අසා සිටි මහාකාල තෙමේ, ‘සියල්ල හැරදමා යායුතුය, පරලොව යන්නෙකු සමඟ වස්තුද නෑයෝද පිටුපසින් නොයෙත්. මේ ගෘහවාසයෙන් මට වැඩක් නැත. පැවිදි වන්නෙමි’යි සිතා, මහජනයා බුදුන් වැඳ ගිය කල්හි බුදුන් ළඟට ගොස් පැවිද්ද ඉල්ලා සිටියේය. ඔබට කවුරුන් හෝ මේ බව දැන්විය යුත්තෙක් නැද්දැයි ඇසූ විට, ස්වාමීනි, මගේ බාල සොහොයුරා ඇතැයි කීවේය. එසේනම් ඔහුගෙන් අසා එන්නැයි බුදුහු වදාළහ. ඔහු එසේයයි කියා ගොස් සොහොයුරා ළඟට කැඳවා, දරුව, මේ සියලු සම්පත් ඔබම භාරගන්නැයි කීවේය. ‘සොහොයුර ඔබ කුමක් කරන්නෙහිද’ ‘මම බුදුන් සමීපයෙහි පැවිදි වෙමි’. චූළකාල ඔහුගෙන් නොයෙක් අයුරින් ඇවිටිලි කළ නමුත් නවතා ගනු නොහැකිව එසේනම් ඔබේ කැමැත්තක් කරගන්නැයි කිවේය. මහාකාල ගොස් බුදුන් ළඟ පැවිදි විය. මම සොහොයුරාත් සිවුරු හරවාගෙනම සිවුරු හරින්නෙමියි චූළකාලද පැවිදි විය.
පසු කලෙක මහාකාල හිමියෝ උපසම්පදාවද ලබා බුදුන් වෙත පැමිණ මේ සස්නෙහි ධුර කෙතෙක්දැයි විචාරා, බුදුරදුන් විසින් ධුර දෙකෙකියි වදාළ කල්හි, ස්වාමීනි, මම මහලුව පැවිදි වූ හෙයින් ග්‍රන්ථ ධූරය පිරීමට නොකැමැත්තෙමි, විදර්ශනාධූරය පුරන්නෙමියි රහත්බව දක්වා කමටහන් අසාගෙන සෝසානික ධුතාංගය (සොහොනෙහිම විසීම) සමාදන්ව රාත්‍රී ප්‍රථම යාමයගෙවී සියල්ලන් නින්දට වැටුණු පසු සොහොනට ගොස් අලුයම සියල්ලන් අවදිවීමට පෙර විහාරයට එති.
ඉක්බිති මිනී පුළුස්සන කාලි නම් සොහොන්පාලිකාවක් තෙරුන් හිඳින ඇවිදින තැන් දැක, මෙහි එන්නේ කවුද? ඔහු අල්ලා ගන්නෙමියි බැලූ නමුත් අල්ලා ගත නොහැකිව එක් දිනක් සොහොන්කුටිය තුළම පහනක් දල්වා දූපුතුන්ද රැගෙන ගොස් එක් පැත්තක සැඟවී සිටියාය. මැදුම් රැය එහි එන්නා වූ තෙරුන් දැක ළඟට ගොස් වැඳ ස්වාමීනි, මෙහි වසන්නේ ඔබදැයි විචාළාය. උපාසිකාව එසේය. ස්වාමීනි, සොහොනෙහි වසන්නහු විසින් (ඊට අදාළ) වත්පිළිවෙත් උගතයුතුය. තෙරුන්වහන්සේ, මම ඔබ කියන වතාවතක පිහිටන්නෙමියි නොකියා, උපාසිකාවනි, කුමක් කළ යුතුව ඇද්දැයි ඇසූහ.
ස්වාමීනි, සොහොනෙහි වසන්නහු විසින් එහි වසනබව සොහොන්ගොව්වන්ටද, විහාරයෙහි මහතෙරුන්ටද, ග්‍රාම භෝජකයාටද, දැන්විය යුතුය. කුමක් හෙයින්ද? ධනහිමියෝ සොරුන් පිටුපස පාපියවර ඔස්සේ (පදානුපදික) දුව එනවිට සොරු සුසානයෙහි බඩු දමා දුවති. ඉන්පසු මිනිස්සු සොහොනේ වැසියන්ට හිරිහැර කරති. මුලින් කී අයට කලින් කියා තිබූ කල්හි, අපි මේ පින්වතා මෙතෙක් කලක පටන් මෙහි වසන බව දන්නෙමු. මේ සොරෙක් නොවේයයි තාඩන පීඩන වළකාලති. එහෙයින් ඔවුන්ට දැන්වීම වටනේය. වෙන කුමක් කළ යුතුද? කුසීත නොවියයුතුය. පටන්ගත් වීර්යයෙන් යුක්ත විය යුතුය. කපටි කෛරාටික මායාකාරයකු නොවී යහපත් අදහසින් විසිය යුතුය. සවස සියල්ලන් නින්දට ගිය පසු විහාරයෙන් ආයුතුය. උදේ සියල්ලන් අවදි වීමට ප්‍රථම විහාරයට යායුතුය. ස්වාමීනි, ඉතින් ඔබවහන්සේ මෙහි මේ අයුරින් වසනසේක් නම් ඔබවහන්සේගේ පැවිදිකිස මුදුන් පමුණුවා ගතහැකි වන්නේය. ස්වාමීනි. මළසිරුරු ගෙනවුත් මෙහි දැමු පසු මම එය කම්බිලිකුළුගෙයක් මත තබා සුවඳමල් ආදියෙන් සත්කාරකොට පිළිස්සීම කරන්නෙමි. එසේ පිළිස්සිය නොහැකි නම් චිතකය දල්වා උලෙන් ඇණ ඇද බැහැරට ගෙන පොරොවෙන් කොටා කැබලිකැබලිවලට කපා ගින්නෙහි බහා දවාලන්නෙමි’යි කීවාය. තෙරණුවෝ යහපත නැගණිය, එක් මිනියක රූපාරම්මණයක් ගතහැකි විටක මට එය කියන්නැ’යි කීහ. ඈ මැනවයි පිළිගත්තාය. තෙරණුවෝ මෙසේ මනාප පරිදි සොහොනෙහි ශ්‍රමණධර්මය පුරති. චූළකාල නිරන්තරයෙන් මහත් උනන්දුවෙන් ගේදොර ගැන සිතයි. අඹුදරුවන් සිහි කරයි. මගේ සොහොයුරා බැරෑරුම් දෙයක් කෙළේයයිද සිතයි.