6. කෝසම්බක වස්තුව
‘පරෙ ච න විජානන්ති’ ආදි මේ ධර්මදේශනාව බුදුන් දෙව්රම වැඩසිටි කාලයක කොසඹෑ නුවර භික්ෂූන් අරහයා දේශනා කරන ලදි.
කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි පන්සියය බැගින් පිරිවර ඇති විනයධර, ධම්මකථික නමින් ප්‍රකට භික්ෂු දෙනමක් වැඩ සිටියහ. දිනක් ධම්මකථික භික්ෂුනම ශරීරකෘත්‍ය කොට, පාවිච්චි කළ ජලයෙන් ඉතිරි කොටස එම භාජනයෙහිම තියෙද්දී නික්ම ගියේය. පසුව විනයධරනම වැසිකිළියට අවුත් ඒ ඉතිරිකොට ගිය ජලය දැක පිටතට අවුත් අනිත් භික්ෂුන්ගෙන් ඇවැත්නි, මෙයින් ඇවතක් වරදක් සිදුවන බව නොදන්නෙහිද? එසේය නොදන්නෙමි. ඇවැත්නි, මෙහි වරදක් ඇත. එසේ නම් ඊට පිළියම් කරන්නෙමියි ඒ නම කීවේය. ඇවැත්නි, එසේවුවත් ඔබ මෙය නොදැන අසිහියෙන් කෙළේ නම් ඇවතක් නැතැයි විනයධරනම කීවේය. ධම්මකථික නම එහි ඇවතක් නැත යන කල්පනාව ඇතිකර ගත්තේය.
විනයධර නම තමන්ගේ ඇසුරෙහි හුන් අයට, මේ ධම්මකථික තෙමේ ඇවතකට පැමිණත් නොදන්නෙමියි දැන්වීයයි කීය. ඒ පිරිස ධම්මකථිකගේ පිරිස මැද ඔබලාගේ උපධ්‍යායයෝ ඇවතකට පැමිණත් ඒබව නොදනිතියි කීහ. ඔවුහු ගොස් තම උපධ්‍යායන්ට ඒ බව දන්වූහ. ධම්මකථික භික්ෂුව මේ විනයධරතෙම පළමුව ඇවැත් නැතැයි කියා දැන් ඇවැත් ඇතැයි කියයි. මොහු මුසාවාදියෙකියි කීවේය. ඒ පිරිස ගොස් නුඹලාගේ උපධ්‍යායයෝ මුසාවාදියෙකියි කීහ. මෙසේ ඔවුනොවුන් අතර කලහය ටිකෙන් ටික වැඩී ගියේය.
ඉක්බිති විනයධරතෙම අවස්ථාවක් බලාසිට ධම්මකථික භික්ෂුවට වරද නොදැකීම පිළිබඳව ‘උක්ඛෙපනිය’ නම් කර්මය කළේය. එතැන් පටන් ඒ භික්ෂූන්ට ප්‍රත්‍යය සැපයූ දායකයෝද, උපස්ථායකයෝද දෙකොටසකට බිඳී ගියහ. ඔවුන්ගේ අවවාද පිළිගන්නා භික්ෂුණියෝද, ආරක්ෂක දේවතාවෝද, දැක මිත්‍ර හා හක්තිමත්වූ අයද, අහසෙහිවූ දෙවියෝද ආදී වශයෙන් බඹලොව දක්වා සියලු පුහුදුන්හු දෙපක්ෂයක්වූහ. චාතුර්මහාරාජිකයේ පටන් අකනිටා බඹලොව දක්වා මේ කෝලාහලය පැතිරගියේය.
පසුව වෙනත් භික්ෂුනමක් බුදුන් වෙත එළඹ, “උක්ෂේපනිය පනිය කර්මය කළවුන් විසින් මේ ධර්මකථිකතෙම ධාර්මික කර්මයකින්ම උක්ෂිප්තය. අධාර්මික කමයකින් උක්ෂේප කරන ලද්දේය යනු උක්ෂේපනය ලත් අය අනුව යන්නන්ගේ ලබ්ධියයි. පිළිගැනීමයි. එය කළවුන් විසින් වළකනු ලබන නමුත් ඔවුන් ඒ උක්ඛිත්තයා අනුව පිරිවරා හැසිරෙනබව” සැලකර සිටියේය. බුදුරජාණන්වහන්සේ ‘මහණෙනි, සමඟි වව්යයි දෙවරක්ම කියායැවූ නමුත් ස්වාමීනි, ඔවුහු සමඟි වීමට නොකැමැත්තාහුයයි අසා තුන්වෙනි වර, භික්ෂු සංඝයා බිඳුණා, භික්ෂු සංඝයා බිඳුණාහයි ඔවුන් ළඟට ගොස් උක්ෂේපකයන්ගේ උක්ෂේපණයෙහිත් සෙස්සනගේ ඇවත නොදැනීමෙහිත් ආදීනව කියා දී යළි ඒ සියලු දෙනාටම එහි එකම සීමාවක දී උපොසථාදිය අනුදැන වදාරා භක්තාග්‍රයෙහි (දානශාලාවෙහි) කලහකාරයින්ට අසුනක් අතර ඉඩ තබා හිඳිය යුතුයයි භක්තාග්‍රයෙහි වත් පනවා, තවමත් කලහකරුවන් ඇතැයි දැන එහි වැඩමවා, ‘මහණෙනි, කෝලාහලයෙන් වැඩක් නැහැ’ ආදිය කියාදී, මහණෙනි, මේ භණ්ඩන, කලහ, විග්‍රහ, විවාදාදිය අනර්ථකරයි. කලහය, දබරය, කෝලාහලය, මතභේද නිසා ලටුකිකා නම් කැටකිරිල්ලිය ඇත්රජෙකු ජීවිතක්ෂයට පවා පත්කළා’යයි කියා, මහණෙනි, සමඟි වව්, විවාද නොකරව් විවාදය නිසාම නොයෙක් දහස් ගණන් වටුවෝ ජීවිතක්ෂයට පැමිණියාහුයි වට්ටක ජාතකය දේශනා කළහ. මෙසේ කියද්දීත් ඔවුන් බුදුන්ගේ වචනය නොපිළිගන්නා කල්හි, බුදුන් වෙහෙසට පත්වනු බලා හිඳිය නොහැකි එක් ධර්මවාදී භික්ෂුවක්, ස්වාමීනි, ධර්මස්වාමිවූ භාග්‍යවතුන්වහන්සේ, අල්පොත්සාහ (වෙහෙස විය නොහැකි) ඇති සේක. දිට්ඨධම්මසුඛ විහරණයෙහි යෙදෙන සේක්වා! අපි මේ අඩදබර කලහ විග්‍රහ විවාදාදියෙන් ප්‍රකට වන්නෙමුයයි කීකල්හි බුදුපියාණෝ අතීත කථාවක් ගෙනහැරපෑහ.
මහණෙනි, පෙර වූ කථාවක් කියමි. බඹදත් නමින් කසීරජ කෙනෙක් රජකරන සමයෙහි දීඝිති කෝසල නම් රජුගේ රජයත් පැහැරගෙන, අන්‍ය වේශයකින් හැසිරුණු පියරජුත් මරාදමන ලද බවද දැන දීඝාවු නම් කුමරා, තම දිවියත් පරදුවට තබා එතැන් පටන් ඔවුන් සමඟිව විසූහයිද කියාදී, මහණෙනි, මෙහි ඔබට මේ හැසිරීම නොහොබී. ඔබ මේ සවක්ඛාත වූ ධර්මවිහරණයෙහි පැවිදිවූවාහු ඔවුනොවුන්ට ක්ෂමාවිය යුත්තාහ. සුවච වියයුතුය ආදී අවවාදයෙනුත් ඔවුන් සමඟි කළ නොහැකි විය.
භාග්‍යවතුන්වහන්සේ ඒ සමූහයාගෙන් වෙන්වී, එයින් කළකිරී ‘මම දැන් තනිවී දුකෙන් වසමි. මේ භික්ෂූහු මගේ වචනය නොපිළිගනිති. මම දැන් මේ පිරිසෙන් වෙන්ව එකලාව වසන්නෙම්නම් යෙහෙකියි සිතා කොසඹෑ නුවර පිඬු සිඟා භික්ෂු සංඝයාට නොදන්වාම තමන්ගේ පාසිවුරුත් රැගෙන බාලකලොණකාරාමයට වැඩමවා, එහි සිටි භගු ස්ථවිරයන්ට එකලාව සිටීමේ අනුසස් කියාදී පාරිලෙය්‍ය වනය බලා පිටත් වූහ. එහි දී බුදුරජාණන්වහන්සේ පාරිලෙය්‍යක වනය ඇසුරු කොට රක්ෂිත වනලැහැබෙහි වූ භද්‍රශාල මූලයෙහි පාරිලෙය්‍යක නම් ඇතු විසින් කළ උවටැන් පිළිගනිමින් වස් විසූසේක.
කොසඹෑ නුවරවාසී උපාසකවරුද විහාරයට ගොස් බුදුන් නොදැක, භික්ෂූන්ගෙන් ස්වාමීනි, බුදුරදුන් කොහිදැයි විචාරා පාරිලෙය්‍ය වනයට වැඩිය බව කීකල්හි ‘ස්වාමීනි, ඒ කුමක් නිසාද? උන්වහන්සේ අප සමඟි කිරීමට වෑයම් කළහ. එහෙත් අපි සමඟි නොවුවෙමුයි කීවිට, ඇයි ස්වාමීනි, ඔබවහන්සේලා ශාස්තෘන්වහන්සේ ළඟ පැවිදි උපසම්පදා ලබා සිටියදීත් උන්වහන්සේ සමඟි කරවනවිට සමඟි නොවූයේදයි විචාරා, එසේය ඇවැත්නි අපි සමඟි නොවූම්හයි කීහ. මොවුහු බුදුන් ළඟ පැවිදිව උන්වහන්සේ සමඟි කරවද්දීත් සමඟි නොවූහ. අපි මොවුන් නිසා බුදුන් දකින්නට නොලබම්හ. මොවුන්ට මින්පසු ආසන නොදෙම්හ. වැඳීම් පිදීම් නොකරම්හයි කතිකාකරගත්හ. උපාසකවරු එතැන් සිට ඒ භික්ෂූන් සමඟ කථා නොකළහ. පිණ්ඩපාතාදි ප්‍රත්‍ය පවා නොදුන්හ. අල්පාහාර වූ ඒ භික්ෂූහු වියළී ගියහ. ඉන්පසු සෘජු සිත් ඇතිකරගෙන ඔවුනොවුන් වැරදි දෙසාගෙන, ක්ෂමා කරවාගෙන, උපාසකවරුනි, අපි සමඟි වූයෙමු. ඔබලාත් අපට පෙර පරිදිම සැලකීම් ආදිය කරව්යයි කීවාහුය. ස්වාමීනි, ඔබ බුදුන් සමා කරගත්තාහුදැයි උපාසකවරු ඇසූහ. ඇවැත්නි නැත. එසේ නම් බුදුන් සමා කරවාගන්න. බුදුන් සමා කරවා ගත්පසු අපිත් ඔබට පෙර පරිදිම පවතින්නෙමුයයි කීහ. එය වස් අතරතුර කාලය වූ නිසා ඒ භික්ෂුහු බුදුන් හමුවට යා නොහැකිව ඉතාමත් දුකසේ කාලය ගෙවූහ.
පාරිලෙය්‍ය ඇතාගෙන් උවටැන් ලබමින් බුදුරජාණන්වහන්සේ සුවසේ කාලය ගතකළ සේක. ඒ ඇත්රජාත් ඇත් රංචුවෙන් වෙන්ව සුවසේ විසීම පිණිසම වනසණ්ඩයට පිවිස සිටියේය.