5. කාලියකින්නගේ උත්පත්ති කථාව
‘නහි වෙරෙන’ ආදී මේ දම්දෙසුම ශාස්තෘන්වහන්සේ දෙව්රම වසන කාලයෙහි එක්තරා වඳ ස්ත්‍රියක් අරභයා දේශනා කළසේක.
එක් කෙළෙඹි පුත්‍රයෙක් තම පියා මළ පසු කුඹුරෙත් ගෙදරත් සියලු වැඩ තමන්ම කරමින් මව පෝෂණ කෙළේය. දිනක් ඔහුගේ මව, දරුව ඔබට කුමරියක් ගෙන එන්නෙම්දැයි විමසුවාය. මෑණියනි, එසේ නොකියන්න. මම දිවි ඇතිතාක් ඔබ පෝෂණය කරන්නෙමි. දරුව කුඹුරෙත් ගෙදරත් සියලු වැඩ ඔබම කරන්නෙහිය. එය මගේ හිතට සැපයක් නොවෙයි, ඒ නිසා කුමරියක් ගෙනෙන්නෙමියි කීවාය. කෙළෙඹියා, නැවත නැවතත් ඉල්ලීම ප්‍රතික්ෂේපකොට පසුව නිහඩවිය. මව එක් ගෙයකට යනු කැමැත්තෙන් පිටත් වූවාය. පුනා කිනම් ගේකට යන්නෙහිදැයි අසා, අසවල් ගෙයටයයි කීකල, ඇගේ ගමන වළක්වා තමන් කැමති ගෙයක් ගැන දන්වා සිටියේය.
මව එහි ගොස් කුමරියක් කැමති කරවාගෙන දිනත් නියම කරගෙන කුමරිය කැඳවාගෙන ආවාය. ඒ ස්ත්‍රිය වඳ ගැහැණියකි. ඉන්පසු මව පුතා අමතා, පුතා, ඔබ ඔබගේ කැමැත්ත අනුව කුමරියක නියම කෙළෙහිය. ඈ දන් වඳ ගැහැණියකි. පුතුන් නැතිකල අපේ කුලය වැනසෙයි. ප්‍රවේණිය දිගට ගලා නොයයි. එහෙයින් වෙනත් කුමරියක් ඔබට ගෙන එන්නෙමියි කීවාය. ඔහු එපා කියද්දීත් මව නැවත නැවතත් ඒ ගැනම කථාකළාය. වඳ ගැහැණිය මේ කථාව අසා සිට, පුතුන්ට මවුපියන්ගේ වචන ඉක්මවිය නොහැක. ඉතින් වෙනත් එකියක් ගෙනාවොත් මා දාසියක ලෙස පරිහරණය කරනු ඇති. මා විසින්ම එක් කුලකුමරියක ගෙනාවොත් වඩා සුදුසුයයි සිතා එක් ගෙයකට ගොස් ඔහු සඳහා කුමරියක ගැන කථා කළ විට, ඇයි ඔබ සිටියදී තවත් එකියක් කුමටදැයි ප්‍රතික්ෂේප කළහ. මම වඳියක වෙමි. දරුවන් නැති කුලය වැනසෙයි. නුඹලාගේ දුවණිය පුතෙකු හෝ දුවක ලත් විට ඒ ගෙදර සියලූ ධනයේ අයිතිකරු වන්නේය. එහෙයින් ඈ මට භාර දෙන්නැයි ඔවුන් සතුටු කරවාගෙන කැඳවාගෙනවුත් සිය හිමියාගේ ගෙදර නවතාගත්තාය.
ඉන්පසු ඈට මෙබඳු සිතක් පහළ විය. යම් ලෙසකින් මෑ පුතෙකු හෝ දුවක ලදහොත් මැයම මෙහි ධනයට හිමිකාරිය වන්නීය. එහෙයින් මෑ දරුවකු නොලබන්නියක බවට පත්කිරීමේ විධියක් කරන්ට වුවමනාය. එසේ සිතා ඈ අලුතෙන් කැඳවාගෙන ආ අයට මෙසේ කීවාය. සොඳුරිය යම් විටක ඔබ කුස දරු ගැබක් පිහිටියහොත් ඒ බව මට දන්වන්න.
දෙවැන්නී මැනවයි පිළිගෙන ගැබක් පිහිටිකල දැන්වුවාය. ඈට නිතර කැඳ බත් දෙන්නී පළමු තැනැත්තීය. එහෙයින් ඈ ආහාරත් සමග ගබ්සා වන බෙහෙතක් යොදා ගැබ වැට්ටුවාය. දෙවෙනි වරටත් ගැබ පිහිටිකල දැන්නුවාය. ඈ දෙවෙනි වරටත් ගැබ හෙළාලූවාය. ඉන්පසු දෙවැන්නියගේ යහළු ස්ත්‍රීහු ඇයි ඔබේ සපත්නිය දරු ගැබට අනතුරු කරන්නීදැයි ඇසුවාහ. ඈ සියලු පුවත් ඔවුන්ට කීවාය. මෝඩ ගැහැණිය, ඇයි එසේ කරන්නේ? ඈ ඔබේ ඉසුරට බියෙන් ගැබ හෙළන බෙහෙත් ආහාරත් සමඟ ඔබට දෙයි. එයින් ඔබ ගබ්සා වෙයි. මින්පසු මෙසේ නොකරන්නැයි කීවාහුය. තෙවෙනිවර ඈ ගැබ පිහිටිබව නොකීවාය.
ඉන්පසු මහත්වී යන ඇගේ උදරය දැක ගැබ පිහිටිබව මට නොකීවේ ඇයිදැයි පළමුවැන්නී ඇසුවාය. ඔබ මා මෙහි කැඳවාගෙන අවුත් දෙවතාවක්ම මගේ ගැබ හෙළා දැමුවාය, ඉතින් තවත් ඔබට කියන්නේ කුමටදැයි කීකල දැන්නම් මා නැසුණා වෙමියි සිතා දෙවැන්නාගේ ප්‍රමාදයක් බලා සිට, ගැබ මුහුකුරා ගිය අවස්ථාවේ බෙහෙත් යෙදු අහරක් දුන්නාය. ගැබ මෝරා ඇති හෙයින් වැටෙන්නට නොහැකිව හරස් විය. ක්‍රෑර වේදනා ඇති විය. ජීවිතය ගැන පවා සැක ඇතිවිය. ‘තීම මා මෙහි ගෙන අවුත් දැන් තීම මගේ දරුවන් තිදෙනෙක් නසා දැමුවෙහිය. දැන් මාත් නැසෙයි. මා මෙයින් නික්ම යකින්නක්ව ඉපදී තිගේ දරුවන් කෑමට සමර්ථවෙම්වා’යි ඈ ප්‍රාර්ථනා කළාය. එසේ පැතූ ඈ මියගොස් ඒ ගෙදරම බැළලියකව උපන්නාය. ස්වාමියා අනිත් තැනැත්තිය අල්වාගෙන තී මගේ කුලපරපුර සිඳ දැමුවායයි වැලමිටි දණහිස් ආදිය හොඳට තළා දැමුවේය. ඒ ආබාධවලින්ම මියගිය ඈ ඒ ගෙදරම කිකිළියකව උපන්නාය.
ඉපදී බිජු දැමුවාය. බැළලිය විත් ඒවා කාදැමුවාය. දෙවැන්නී මගේ බිජු කාදමා දැන් මාත් කනු කැමැත්තීය. මෙයින් චුතව දරුවන් සහිත මැය කෑමට හැකිවෙම්වායි පතා මියගොස් දිවිදෙනකව උපන්නීය. බැළලිය මියගොස් මුවදෙනකව උපන්නාය. මුවදෙන දරුවන් වදන අවස්ථාවේ දිවිදෙන අවුත් තෙවරක්ම ඇගේ දරුවන් කෑවාය. මුවදෙන මැරෙන අවස්ථාවේ මේ දිවිදෙන තෙවරක්ම මගේ දරුවන් කා දැන් මාත් කයි. මම මෙයින් චුතව දරුවන් සහ මෑත් කෑමට හැකිවෙම්වායි ප්‍රාර්ථනා කොට මියගොස් යකින්නක්ව උපන්නාය. දිවිදෙන මියගොස් සැවැත්නුවර කුලදුවක්ව උපන්නීය. ඈ වැඩිවියට පැමිණ ළඟ ගමක පතිකුලයට ගියාය. පසුව පුතෙකු වැදුවාය. යකින්න ඇගේ ප්‍රිය යෙහෙළියකගේ වෙසින් අවුත් මගේ යෙහෙළිය කොහිදැයි විචාරා ඇතුළු ගබඩාවේ පුතෙකු වැදුවායයි දැන පුතෙක් ද, දුවක්දැයි බලන්නෙමියි ඇතුළු ගැබට වැද බලන්නී දරුවා දැක වහා රැගෙන කාදමුවාය. දෙවෙනි වරද එසේම කෑවාය.
ගැබ්බරින් බරවු කුලදුව තෙවෙනි වර සැමියා අමතා, හිමියෙනි, මෙහිදී එක් යකින්නක් මගේ පුතුන් දෙදෙනෙක්ම කා පලා ගියාය. මේ වර මගේ මුල්ගෙට ගොස් වදන්නෙමි’යි කියා එහි ගොස් වැදුවාය.