3-4. ථුල්ලතිස්ස ස්ථවිර වස්තුව
‘අක්කොච්ඡිමං’ ආදී මේ දේශනාව බුදුරජාණන්වහන්සේ දෙව්රම වැඩවාසය කරන සමයෙහි තිස්සතෙරුන් අරභයා දෙසුසේක.
ඒ ආයුෂ්මතුන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේගේ පියාගේ නැගණිකෙනෙකුන්ගේ පුත්‍රයෙකි. මහලුවී පැවිදි වුහ. බුදුන්ට උපන් ලාභසත්කාර වළඳා ස්ථූලවූ සිරුරු ඇතිව මටසිලිටි සිවුරු හැඳ පෙරවාගෙන බොහෝ වේලාවල විහාරය මැද තිබුණු උපස්ථාන ශාලාවෙහි සිටියහ. බුදුන් දකිනු කැමැත්තෙන් එහි පැමිණි ආගන්තුක භික්ෂුහූ මේත් එක් මහතෙරනමකියි සිතා ඔහු ළඟට ගොස් වතාවත් දක්වති. පා මැඩීම් ආදිය අවශ්‍යදැයි විචාරති. හෙතෙම නිහඬවෙයි. දිනක් එක් ළදරුනමක් ඔහු වෙත පැමිණ, ඔබට දැන් වස් කීයක්දැයි විචාරා, මට වස් නැත. මහලුවී පැවිදිවීමියි කී කල්හි, ඇයි දුර්විනීත මහල්ල ඔබ තමන්ගේ ප්‍රමාණය නොදන්නෙහිය. මෙපමණ මහලු තෙරුන්වහන්සේලා දැකදැකත් සතුටුසාමිචී කථාවක් පමණකුත් නොකරන්නෙහිය. වතාවත් විමසූ විට නිහඬ වන්නෙහිය. මේ කරන්නේ වරදක්යයි කුකුසක්වත් ඇති නොවන්නේදැයි අසුරු ගැසීය.
හෙතෙම ක්ෂත්රිය මාන්නය උපදවා, ඔබ මේ පැමිණ සිටින්නේ කවුරුන් ළඟට දැයි අසා, බුදුන් සමීපයට යයි කී කල, මා කවුරුන්දැයි දන්නහුද, තෙපි සමූලඝාතනය කරදමමියි හඬමින් දුක් දොම්නස්ව බුදුන් සමීපයට ගියේය. බුදුරජාණන්වහන්සේ, තිස්ස දුකින් දොම්නසින් ඇසේ කදුළු පුරාවාගෙන අඬමින් ආවේ ඇයිදැයි ඇසූහ. ඒ භික්ෂුහුත් මොහු ගොස් කුමක් හෝ කලබලයක් කරනුඇතියි සිතා ඔහු සමඟම බුදුන් සමීපයට ගොස් වැඳ එකත්පසෙක සිටියාහුය.
තිස්ස භික්ෂුතෙම, ස්වාමීනි, මේ භික්ෂූහු මට බැණ නින්දා පරිභව කෙරෙත්යයි කීය. තිස්ස ඔබ සිටියේ කොහිද? ස්වාමීනි, වෙහෙර මැද උපස්ථාන ශාලාවේ. මේ භික්ෂුන් එනවා ඔබ දැක්කෙහිද? ස්වාමීනි, එසේය. ඔබ නැඟිට පෙර ගමන් කෙළෙහිද? නැත ස්වාමීනි, එසේ නොකෙළෙමි. සිවුරු පිරිකර ගැනීමට ඇසුවෙහිද? නැත ස්වාමීනී, අවශ්‍ය වතාවත් හෝ පැන් ගැන විමසුවෙහිද? නැත ස්වාමීනි, අසුන් පනවා පාමැඩීම් ආදිය කෙළෙහිද? නැත ස්වාමීනි.
තිස්ස වැඩිමහලු භික්ෂුන් වෙනුවෙන් මේ සියල්ල කළයුතුයි. එසේ නොකරන්නෙකු වෙහෙර මැද සිටීම නොවටී. දෝෂය ඔබේමය. මේ භික්ෂූන් වැඳ ක්ෂමා කරවාගන්න. ස්වාමීනී, මේ භික්ෂූහු මට ආක්‍රෝෂ පරිභව කළහ. මම මොවුන්ගෙන් සමාව නොගනිමි. තිස්ස එසේ නොකරව. වැරැද්ද ඔබේමය. ඔවුන්ගෙන් සමාව ගන්න. ස්වාමීනි, මම ඔවුන්ගෙන් සමාව නොගන්නෙමි.
ඉන්පසු ඒ භික්ෂූහු, ‘ස්වාමීනී තිස්ස අකීකරුයි, අකීකරුයි ස්වාමීනි’, යයි කී කල්හි මහණෙනි, මොහු අකීකරු වූයේ දැන් පමණක් නොවෙයි. පෙරත් මොහු අකීකරුවුයේමයයි වදාළ කල්හි, ස්වාමීනී, දැන් මොහු අකීකරු බව අපි දනිමු. පෙර මොහු කුමක් කෙළේදැයි විචාළ කල්හි එසේනම් මහණෙනි අසව්යයි වදාරා අතීතකථාව ගෙනහැර දැක්වුහ.
පෙර බරණැස් රජුන් රජකරන කාලයෙහි දේවල නම් තවුසා අටමසක් හිමාලයෙහි වාසයකොට ලුණු ඇඹුල් ඇති ආහාර ගැනීම පිණිස සිවුමසක් පමණ නගරාශ්රයේ වසනු කැමැත්තෙන් හිමවතින් පිටත්ව ආවේය. නුවර දොරටුව ළඟදී ළමයින් දැක මේ නගරයට එන පැවිද්දන් ලැගුම් ගන්නේ කොහිදැයි ඇසුවේය. ස්වාමීනී කුම්භකාරයාගේ ශාලාවෙහියයි ඔවුහු පිළිතුරු දුන්හ.
තවුසා කුම්භකාරශාලාව ළඟට ගොස් දොරටුවෙහි සිට භාර්ගවය, ඔබට අපහසුවක් නැත්නම් මේ ශාලාවෙහි එක්රැයක් නවතින්නටදැයි ඇසීය. ස්වාමීනි, රාත්‍රී කාලයෙහි මට ශාලාවෙන් වැඩක් නැත. ශාලාවත් ලොකුය. මනාප හැටියකට විසුව මැනවයි කියා කුම්භකාරයා ශාලාව තවුසාට භාරකෙළේය. දේවල තවුසා එහි ලැගුම්ගෙන සිටිනවිට නාරද නම් වෙනත් තවුසෙක්ද හිමවතින් අවුත් එම ශාලාවෙහි එක් රැයක් නැවතීමට ඉල්ලා සිටියේය. කුම්භකාරයා, පළමුව පැමිණි තවුසා මොහු සමඟ එක්ව විසීමට කැමතිවූවත් නැතත් තමන් බේරී කටයුතු කළයුතුයයි සිතා ස්වාමීනි, පළමුව පැමිණි අය කැමති නම් ඔහුගේ කැමැත්ත ඇතිව වසනු මැනවයි කීය. ඔහු මුලින් පැමිණි දේවල වෙත පැමිණ ආචාර්යවරයාණෙනි, ඔබට අපහසුවක් නැත්නම් මමත් මෙහි රැයක් නවතින්නටදැයි ඇසීය. ශාලාව ලොකුයි ඇවිත් එක්පැත්තක ඉන්නැයි කීකල්හි ඇතුළට පැමිණ පළමුව පැමිණි අයගේ ඈතින් හුන්නේය. පසුව දෙදෙනාම සතුටුසාමිචී කථා කරමින් නින්දටවන්හ.
නාරද තවුසා නිදනකල දේවල සිටි තැනින් දොරත් සලකාබලා නිදාගත්තේය. දේවල තවුසා නිදනකල්හි තමන් පළමුව සිටි තැන නොසිට තැන් මාරුකොට දොරටුව මැද හරස් අතට නිදාගත්තේය. නාරද රාත්‍රියෙහි එළියට යනවිට දේවලගේ ජටාව පෑගුවේය. ‘මා පාගන්නේ කවුදැ’යි ඇසුවිට, ආචාර්යය ඒ මමයයි නාරද පිළිතුරු දුන්නේය. එම්බල කූට ජටිලය, කැලේ සිට අවුත් මගේ ජටාව පාගන්නේ ඇයිදැයි ඇසීය. ඇඳුරුතුමනි, ඔබ මෙතැන නිදනබවක් නොදන්නෙමි, මට සමාවන්නැයි කියා ඔහු කෑගසද්දීම පිටතට ගියේය.
දේවල, මොහු දැන් ආපසු එන විටත් මා පාගනු ඇතැයි සිතා හිස තිබු තැනට පයත් පය තිබූ තැනට හිසත් තබා නිදාගත්තේය. නාරද තවුසෝද යළි ඇතුළට එන්නාහු මම පළමුවත් ආචාර්යයන්ට වරදක් කෙළෙමි. දැන් ඔහුගේ පා ඇති පැත්තෙන් ඇතුළු වන්නෙමියි සිතා ඒ පැත්තෙන් එනවිට දේවලගේ බොටුව පෑගුණේය. මේ කවුදැයි ඇසූවිට ආචාරිනී, මම යයි නාරද පිළිතුරු දුන්නේය. ඇයි කූට ජටිලය, පළමුව ජටාව පාගා දැන් බෙල්ලම පාගන්නෙහිය. තට ශාපකරන්නෙමියි කීකල, ආචාරිනී, මගේ වරදක් නැත. මම ඔබ මෙසේ නිදන බවක් නොදත්තෙමියි කීය. පළමුත් ආචාරීන්ට කරදරයක්වූ නිසා දැන් පා ඇති පැත්තෙන් එන්නෙමියි එසේ කෙළෙමි. (නොදැන වු වරදට) මට සමාවුව මැනවැයි ඉල්ලා සිටියේය. කූටජටිලය, මම තොපට ශාපකරමි. ආචාරිනී, එසේ නොකළ මැනවයි කියද්දීත් දේවල එබස් නාසා -