2. මට්ටකුණ්ඩලී වස්තුව
‘මනො පුබ්බංගමා ධම්මා’ යනාදි දෙවෙනි ගාථාවත් සැවැත්නුවර විසූ මට්ටකුණ්ඩලී අරභයා දෙශනා කරනලදි.
සැවැත්නුවර අදින්නපුබ්බක නම් බමුණෙක් වාසය කෙළේය. ඔහු කිසිම කෙනෙකුට කවදාවත් කිසිම දෙයක් නුදුන් කෙනෙකි. එහෙයින්ම ඔහු අදින්නපුබ්බක (නොදීපු) බමුණා යන නමින් ප්‍රකටවිය. ඔහුට එක් පුතෙක් සිටියේය. ඒ පුතා ඉතා ප්‍රියය, මනාපය. පුතාට පළඳනාවක් කරවන්නට කැමති පියා ‘රන්කරුවෙකුට මෙය දැන්නුවොත් ගෙවීම් කරන්ට සිදුවන්නේය’ යි සිතා තමාම රත්‍රන් ගෙන තළා මොටවු කඩතොලු සහිත, ඔපමට්ටම් නැති කුණ්ඩලාභරණයක් තනා පැළඳවීය. ඒ නිසා ඔහු මට්ටකුණ්ඩලී නම්විය. පුතා සොළොස්වියපත් කල ඔහුට පාණ්ඩුරෝගය වැළදිණි. මව පුතා දෙස බලා බ්‍රාහ්මණය, ඔබේ පුතාට රෝගයක් හටගැනී තිබේ. ඔහුට වෙදකම් කරවයි කීවාය.
සොඳුර, වෙදෙකු ගෙන්නුවොත් ඔහුට කෑමබීමත් වේතනත් දෙන්නට සිදුවෙයි. ඇයි ඔබට මගේ ධන විනාශය නොපෙනෙන්නෙහිදැයි ඇසීය. එසේ නම් අපි කුමක් කරමුදැයි ඈ ඇසුවාය. ධනය වියදම් නොවන ආකාරයක් කරමුයයි බමුණා පිළිතුරු දුන්නේය. එසේ කී ඔහු වෙදුන් ළඟට ගොස් අසවල් අසවල් රෝගයට නුඹලා කවර නම් බෙහෙත් දෙන්නහුදැයි, අසා අසවල් ගස්වැල්වල මුල් පොතු කොළ ආදිය දෙන්නෙමු යයි කීකල බමුණා වෙදවරු කී කී දේවල් ගෙනවුත් පුතාට දෙයි. මෙසේ කරගෙන යනවිට පුතාගේ රෝගය බලවත්විය. පිළියම් නොකළහැකි අසාධ්‍ය තත්ත්වයට පත්විය. බමුණා පුතාගේ රෝගය බලවත් බවත් අසාධ්‍ය බවත් දැක ඒක් වෛද්‍යවරයෙකු කැඳවාගත්තේය. ඔහු රෝගියා බලා මට වෙනත් කටයුත්තක් ඇත. අනික් වෛද්‍යවරයෙකු කැඳවා පිළියම් කරන්නැයි කියා වෙදකම් නොකර යන්ට ගියේය. බමුණා, පුතා මරණාසන්නව සිටින හෙයින් මොහු බලන්ට එන අය ගේ ඇතුළේ තිබෙන වස්තු සම්පත් දකිතියි, රෝගියා බැහැරක තැබිය යුතුයයි සිතා පුතා ඇතුළු ගෙයින් පිටතට ගෙන එළියේ ඇඳක නිදිකෙරෙව්වේය.
එදින උදෑසන භාග්‍යවතුන්වහන්සේ මහාකරුණාසමාපත්තියෙන් නැගිට, පෙර බුදුවරයන් විසිනුත් පුරුදු කරනලද ආකාරයෙන්, කුසලබල වැඩීඇති, විනේයජනබන්ධුන් (හික්මීම ලැබිය හැකි අය) දැකීම සඳහා බුදුඇසින් ලොව බලන්නාහු දසදහසක්සක්වළ නුවණදැල පතුරුවා හැරියෝය. (ලොව දෙස බැලුහ.) මට්ටකුණ්ඩලී පිටත ආලින්දයේ වැදහොත් අයුරින්ම නොසෙල්වී සිටියේය. බුදුහු ඒ දුටහ. ඇතුළු ගෙයින් පිටතට ගෙන ඇඳක හොවාලුබවද දැන මා එහි යෑමෙන් වැඩක් ඇද්දැයි විමසා බැලුකල,
මේ මානවකයා මා කෙරෙහි සිත පහදවා කළුරියකොට තව්තිසා දෙව්ලොව තිස්යොදුනක් පමණවූ රන්විමනෙක උපදින්නේය. දෙවඟනන් දහසක් පමණ ඔහුට පිරිවර වන්නේය. පිය බමුණාත් පුතා දවා අඬමින් සොහොනෙහි හැසිරෙන්නේය. දිව්‍යපුත්‍රයා තුන්ගවු පමණවු සිරුර ගැල් සැටක් පමණ අබරණින් සැරසී දෙවඟනන් දහස පිරිවරා සිටින සිය භවය දෙස බලා කවර නම් පිනකින් මා මේ සම්පත් ලද්දෙමිදැයි විමසනවිට, මා කෙරෙහි සිත පහදවා ගැනීමෙන් මේ සා සම්පත් ලත්බව දැනගෙන, ධන වියදමට බියෙන් මාපියා මට බෙහෙත් නොකොට සිට දැන් සොහොනට ගොස් හඬයි. ඔහු විපිළිසරට පත්කරවන්නෙමියි සොහොන ළඟ මට්ටකුණ්ඩලී වේශයෙන් අවුත් හඬයි. එවිට බමුණා ඔබ කවරෙක්දැයි අසයි. මම ඔබ පුත් මට්ටකුණ්ඩලී වෙමි. කොහි උපන්නෙහිදැයි ඇසූකල මා කෙරෙහි සිත පහදවා ගැනීමෙන් තව්තිසාවේ උපනිමියි දන්වන්නේය.
එකල බමුණා ඔබවහන්සේ කෙරෙහි සිත පහදවා දෙව්ලොව උපන්නෝ ඇද්දැයි මා විචාරන්නේය. එවිට මම ඔහුට සිය ගණනින් මෙතෙක්‍ය, දහස් ගණනින් මෙතරම්‍ය. ලක්ෂ ගණනින් මෙපමණක්‍යයි කියා ප්‍රමාණ කොට කීම දුෂ්කරබවද පැහැදිලිකොට ධම්මපදයෙන් ගාථාවක්ද කියන්නෙමි. ගාථා කෙළවර අසූහාර දහසක් ප්‍රාණින්ට ධර්මාවබෝධය ලැබෙන්නේය. මට්ටකුණ්ඩලී සෝවාන් වෙයි. අදින්නපුබ්බකද සෝවාන් වෙයි යන කරුණු පෙනී ගියේය.
මෙසේ මේ කුලපුත්‍රයා නිසා මහත්වූ ධර්මයාගයක් වන්නේයයි දැනවදාරා දෙවෙනි දිනයේ සිරුරු පිළියම් කොට මහාභික්ෂුසංඝයා පිරිවරා සැවැත්නුවර පිඬුපිණිස සැරිසරා අනුක්‍රමයෙන් බමුණාගේ ගෙදරට වැඩියෝය.
ඒ වේලාවෙහි මට්ටකුණ්ඩලී ඇතුළුගෙට මුහුණලා වැතිර සිටියේය. බුදුරජාණන්වහන්සේ තමන් ඔහුට නොපෙනෙනබව දැන එක් රශ්මියක් විහිදුවාලූහ. මානවකයා මේ කිනම් ආලෝකයක්දැයි නිදා සිටින ගමන්ම අනික් පැත්තට පෙරළී බුදුරදුන් දැක, මගේ අන්ධබාලපියා නිසා මෙබඳුවූ බුදුන් වෙත පැමිණ කායික වතාවතක් කිරීමට හෝ දානයක් දීමට හෝ දහමක් ඇසීමට නොලැබිණි. දැන් මගේ අතුත් නොනැමෙයි. වෙනත් කළහැකි දෙයක නැතැයි සිතම පහදවා ගත්තේය. මොහුට මෙපමණක් ඇතියි බුදුරජාණන්වහන්සේ වැඩිසේක. ඔහු තථාගතයන්වහන්සේ ඇස් හමුවෙන් ඉවත්ව යද්දීම (නොපෙනී යද්දී) ප්‍රසාද සිතින්ම කාලක්‍රියා කොට නිදා පිබිදියාක්මෙන් දෙව්ලොව තිස්යොදුන් පමණ ස්වර්ණ විමානයක උපන්නේය.