18. සුමනා දේවියගේ කථා වස්තුව
‘ඉධ නන්දති’ යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩවසන සමයෙහි සුමනාදේවිය අරභයා දෙසූසේක.
සැවැත්නුවර අනේපිඬුසිටුතුමාගේ ගෙදර දවස් පතා භික්ෂූහු දෙදහසක් දන් වළඳති. විශාඛා මහා උපාසිකාවගේ ගෙදරත් එසේය. සැවැත්නුවර යමෙක් දන්දෙනු කැමැත්තේ නම් ඒ අය ඒ දෙදෙනාගේ අවසරය ලබාගෙනම දන් දෙති. කුමක් නිසාද? ඔබගේ අග්රදානයට අත්පිඬුසිටුතුමා හෝ විශාඛා මහා උපාසිකාව හෝ ආවෙහිදැයි විචාළවිට නොආවාහුයයි කීවොත් ලක්ෂයක් වියදම් කොට පිළියෙළ කළ දානයක් වුවද ඒ දානය කුමක්දැයි මිනිස්සු අවමානයෙන් කථාකරති. අනේපිඬු විශාඛා දෙදෙනම භික්ෂූන්ගේ රුචියත්, සුදුසු වැඩකටයුතුත් හොඳින් දනිත්, ඔවුන් විචාරා දානය පිළියෙළ කළ විට භික්ෂූහු සිත්සේ වළඳත්, එහෙයින් දන්දෙනු කැමැත්තෝ ඔවුන් ගෙන්වාගෙනම දන්දෙති. මේ හේතුවෙන් තම තමන්ගේ ගෙවල්වලදී භික්ෂුන් වැළඳවීමට බොහෝ අයට අවකාශ නොලැබේ. ඉක්බිති විශාඛාවෝ මගේ ස්ථානයේ සිට (මා මෙන්) භික්ෂු සංඝයා වැළඳවීමට සුදුසුදැයි සොයා බලන්නාහු තම පුතාගේ දුවණිය ඊට සුදුසු බව දැක ඈ තමන්ගේ තැන තැබුවෝය.
ඒ දුවණිතොමෝ ඒ විශාඛා උවැසියගේ නිවසෙහි භික්ෂූන් වළඳවයි. අනේපිඬු සිටුතෙමේත් මහාසුභද්රානම් දෙටුදුවණිය සිය තනතුරෙහි තැබීය. ඕතොමෝ භික්ෂූන්ගේ වතාවත් කරන්නී, බණ අසන්න සෝවාන්ව පතිකුලයකට ගියාය. අනතුරුව චූලසුභද්රාව එකී තනතුරෙහි තැබීය. ඕතොමෝත් එසේම කටයුතු කොට සෝවාන්ව පතිකුලයකට ගියාය. ඉන්පසු සුමනාදේවී නම් කනිටු දුවණියෝ ඒ තනතුරෙහි තැබූහ. ඕතොමෝ සකෘදාගාමීව කුමරියක ලෙසම සිටියාය. නැවත ඕතොමෝ ආහාරඅරුචියෙන් රෝගාතුරව පියා දකිනු කැමතිව පියා තමා ළඟට කැඳෙව්වාය. අනේපිඬුසිටුතෙමේ දන්ගෙදරකදීම ඇගේ පණිවුඩ ලියුම අසා වහාම එහි ගොස්, දුව සුමනාවනි, මේ කිමෙක්දැයි ඇසීය. ඕතොමෝ ඒ සිටාණන්ගෙන් බාල සොහොයුර ඇයිදැයි ඇසුවාය. දුවණියනි. නන්දොඩවන්නෙහිද? බාල සොහොයුර, මම නන්නොදඩමි. දුවණිය ඔබ භයවූයෙහිද? බාල සොහොයුර, මම බය නොවූයෙමියි මෙපමණක්ම කියා මිය පරලොව ගියාය. සිටුතෙමේත් සෝවාන් වූයේ නමුදු සිටුදුවගේ වියෝවෙන් උපන් ශෝකය ඉවසාගත නොහැකිව දූගේ සිරුර පිළිබඳ අවසන්කටයුතු කරවා අඬමින් බුදුන් සමීපයට ගියේය.
බුදුරජාණන්වහන්සේ, ගෘහපතිය, කුමක් නිසා දුක්වී, දොම්නසින්, කඳුළු පිරි ඇසින් යුක්තව හඬමින් ආවෙහිදැයි ඇසූහ. ස්වාමීනි, මගේ දුව සුමනාදේවී කළුරිය කළායයි කීවේය. ඉතින් කුමක් නිසා ශෝක කරන්නෙහිද? මරණය ඒකාන්ත නොවේද? ස්වාමීනි. මම එය දනිමි. එහෙත් මගේ මේ විලිලජ්ජා දෙකෙන් පිරිපුන් දුවණියෝ මරණාසන්න මොහොතෙහි සිහිය එළවාගන්නට නොහැකිව නන්දොඩවමින් මළාහ. එයින් මට බොහෝ දුක්දොම්නස් උපදී. මහසිටාණනි, ඈ කුමක් කීවෙහිද? ස්වාමීනි, මම දුව සුමනායයි ඈ ඇමතීමි. ඈ බාලමලණුවනියි මගෙන් ඇසුවාය. මම යළිත් දුව සුමනායයි ඈට කථාකෙළෙමි. ඔබ නන්දොඩවන්නෙහිදැයි මම ඇසුවෙමි. බාල සහෝදරය, මම නන්දොඩවන්නේ නැතැයි ඈ කීවාය. දුව ඔබ බිය වූයෙහිදැයි ඇසීමි. කනිටු සොහොයුරාණනි, මම බිය නොවෙමියි මෙපමණක්ම කියා ඈ කළුරිය කළාය. ඉක්බිති භාග්යවතුන්වහසේ සිටාණනි, ඔබේ දුව නන්දොඩවන්නේ නැතැයි වදාළහ. එසේ නම් කුමක් හෙයින් මට එසේ කීවාද? කනිටු බැවින්මය ගෘහපතිය. ඔබේ දුව වනාහි මගඵලවලින් ඔබට වඩා මහලුය. ඔබ සෝතාපන්නයෙකි. ඔබේ දුව සකෘදාගාමීය. ඕ මාර්ගඵලවලින් මහලු බැවින් මෙසේ කීවායයි වදාළහ. ස්වාමීනි, එය එසේද? එය ගෘහපතිය. ස්වාමීනි, දැන් ඈ කොහි උපන්නීද? තුසිත භවනෙහියයි වදාළ කල්හි ස්වාමීනි, මගේ දුව මෙහි නෑදයන් අතර ප්රීතිවෙමින් සිට මෙයින් පිටත්වී ගොසිනිදු සතුටුවන තැනකම උපන්නී නේදැයි කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ ඔහුට එසේය ගෘහපතියයයි වදාරා, ගෘහපතිය, පැවිදි හෝ ගිහි හෝ වේවා නොපමාවූවාහු නම් මෙලොවත් පරලොවත් සතුටුවෙත්මයයි වදාරා මේ ගාථාවද ප්රකාශ කළහ:
කළ පින් ඇත්තා මොලොව සතුටු වෙයි
කළ පින් ඇත්තා එලොව සතුටු වෙයි
මම පින් කෙළෙමියි බොහෝ සතුටු වෙයි
සුගතියෙ ගොස් තව තවත් සතුටු වෙයි
කළ පින් ඇත්තා එලොව සතුටු වෙයි
මම පින් කෙළෙමියි බොහෝ සතුටු වෙයි
සුගතියෙ ගොස් තව තවත් සතුටු වෙයි
ඒ ගාථාවෙහි ඉධ යනු මේ ලෝකයෙහි යන අරුත්ය. පින්කම් කිරීමෙන් වන සතුටින් සතුටුවෙයි. පෙච්ච යනු පරලොව විපාක නන්දනයෙන් (අනුභවයෙන්) සතුටු වෙයි. කතපුඤ්ඤො යනු නානාප්රකාර පින්කරන තැනැත්තායි. උභයත්ථ යනු මෙලොව මා විසින් කුසල් කරනලදි. පවු නොකරනලදැයි සතුටු වෙයි. පරලොව එහි විපාක අනුභව කරන කල්හිත් සතුටු වෙයි. පුඤ්ඤං මෙඉති පුඤ්ඤංමෙ යනු මොලොව සතුටුවන තැනැත්තේ සොම්නස් මාත්රයෙන් පවා කර්ම ප්රීතිය නිසා සතුටු වෙයි. භිය්යොඉති භිය්යො යනු විපාක (වින්දන) නන්දනයෙන් සුගතියට ගියේ සත්පනස්කෙළක් හවුරුදුද, අවුරුදු හැටලක්ෂයක්ද දිව්යමයවූ සැප වළදමින් තුසීපුරෙහි අතිශයින් සතුටුවන්නේයයි වදාළසේක.
ගාථා කෙළවර බොහෝ දෙනා සෝවාන් ආදි මාර්ගඵලවලට පැමිණියාහුය. ධර්මදේශනාව මහජනයාට සාර්ථක විය.
දහතුන්වන සුමනා දේවියගේ කථා වස්තුවයි.
19-20. යහළු භික්ෂු දෙනමගේ වස්තුව
‘බහුම්පි චෙ’ ආදි මේ ධර්මදේශනාව බුදුරජාණන්වහන්සේ දෙව්රම වැඩවසන සමයෙහි යහළු භික්ෂූන් දෙනමක් අරභයා දේශනා කළ සේක.
සැවැත් නුවර වැසි යහළුකුලපුත්රයෝ දෙදෙනෙක් විහාරයට ගොස් බුදුන්ගේ ධර්මදේශනාව අසා වස්තූන් හැරදමා සසුනට ළයදී පැවිදිව පස්වසක් ආචාර්ය උපාධ්යයයන්වහන්සේ සමීපයෙහි වැස බුදුන්වෙත පැමිණ සසුනේ ධුර කෙතෙක්දැයි විචාරා විපස්සනාධූර ග්රන්ථධූරයන් විස්තර වශයෙන් අසා දැන එයින් එක්නමක්, ස්වාමීනි, මම මහලුකල පැවිදිවීමි. ග්රන්ථධූරය පුරන්නට අපොහොසත් වෙමි. විදර්ශනාධූරය පුරන්නෙමියි අර්හත්වය දක්වා විදර්ශනා කියවාගෙන බොහෝ වෑයම් කොට සිව්පිළිසිඹියා හා සමඟ රහත්බවට පැමිණියේය. අනිත් භික්ෂුව මම ග්රන්ථධූරය පුරන්නෙමියි පිළිවෙළින් ත්රිපිටක බුද්ධධර්මය උගෙන ගියගිය තැන්වල ධර්මදේශනා කෙරෙයි. මධුරස්වරයෙන් කථා කරයි. පන්සීයක් භික්ෂුන්ට ධර්මය කියාදෙයි. අටළොස් මහා සංඝගණයකට (පිරිසකට) ආචාර්යවරයා විය.
භික්ෂුහු බුදුන් වෙත පැමිණ කමටහන් ඉල්වාගෙන අනිත් විපස්සක තෙරුන් වසන තැනට ගොස් උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි භාවනාකොට රහත්බවට පත්ව තෙරුන් වැඳ බුදුන් දකිනු කැමැත්තම්හයි කියති. තෙරණුවෝ ඇවැත්නී, යව්. මගේ වචනයෙන් බුදුන් වැඳ අසූමහාසවුතෙරවරුනුත් වදිව්. මගේ යහළු තෙරුන්ද අපේ ආචාර්යයන්වහන්සේ ඔබ වඳිතියි කියව්යයි පිටත් කොළෝය.
ඒ භික්ෂුහු විහාරයට ගොස් බුදුරදුන්ද, අසුමහතෙරවරුන්ද වැඳ ස්වාමීනි, අපේ ආචාර්යවරයන්වහන්සේ ඔබ වඳිතියි කීකල්හි අනිත් භික්ෂුව (ග්රන්ථ ධුරය පුරන) මේ කවුරුන්දැයි විචාළ කල්හි, ස්වාමීනි, ඔබගේ යහළු භික්ෂුවයයි කියති. මෙසේ ඒ (විපස්සක) තෙරුන් නැවත නැවතත් පණිවුඩ එවන කල්හි මද කලක් ඉවසා සිට මෑත භාගයෙහි එය ඉවසා සිටිය නොහැකිව අප ඇඳුරුතුමෝ ඔබ වඳිතියි කීකල, ඔබේ යහළු භික්ෂුවයයි දැන්වූ පසු තෙපි ඔවුන් ළඟින් කුමක් ඉගෙන ගත්තාහුදැයි අසා දීඝනිකාය ආදි සඟිවලින් කුමක් උගත්තුද, තුන්පිටකයෙන් එක් පිටකයක් හෝ උගත්තුද, සතරපද ගාථාවක් පවා නොදනියි. ඔහු පංශුකූල සිවුරු පොරවා පැවිදි වූ ළඟදීම කැලෑවට ගියේය. බොහෝ අතවැස්සන් නම් ලැබීය. ඔහු මෙහි ආවිට ප්රශ්න ඇසිය යුතුයයි සිතා ගත්තේය.