19-20. යහළු භික්ෂු දෙනමගේ වස්තුව
‘බහුම්පි චෙ’ ආදි මේ ධර්මදේශනාව බුදුරජාණන්වහන්සේ දෙව්රම වැඩවසන සමයෙහි යහළු භික්ෂූන් දෙනමක් අරභයා දේශනා කළ සේක.
සැවැත් නුවර වැසි යහළුකුලපුත්‍රයෝ දෙදෙනෙක් විහාරයට ගොස් බුදුන්ගේ ධර්මදේශනාව අසා වස්තූන් හැරදමා සසුනට ළයදී පැවිදිව පස්වසක් ආචාර්ය උපාධ්‍යයයන්වහන්සේ සමීපයෙහි වැස බුදුන්වෙත පැමිණ සසුනේ ධුර කෙතෙක්දැයි විචාරා විපස්සනාධූර ග්‍රන්ථධූරයන් විස්තර වශයෙන් අසා දැන එයින් එක්නමක්, ස්වාමීනි, මම මහලුකල පැවිදිවීමි. ග්‍රන්ථධූරය පුරන්නට අපොහොසත් වෙමි. විදර්ශනාධූරය පුරන්නෙමියි අර්හත්වය දක්වා විදර්ශනා කියවාගෙන බොහෝ වෑයම් කොට සිව්පිළිසිඹියා හා සමඟ රහත්බවට පැමිණියේය. අනිත් භික්ෂුව මම ග්‍රන්ථධූරය පුරන්නෙමියි පිළිවෙළින් ත්‍රිපිටක බුද්ධධර්මය උගෙන ගියගිය තැන්වල ධර්මදේශනා කෙරෙයි. මධුරස්වරයෙන් කථා කරයි. පන්සීයක් භික්ෂුන්ට ධර්මය කියාදෙයි. අටළොස් මහා සංඝගණයකට (පිරිසකට) ආචාර්යවරයා විය.
භික්ෂුහු බුදුන් වෙත පැමිණ කමටහන් ඉල්වාගෙන අනිත් විපස්සක තෙරුන් වසන තැනට ගොස් උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි භාවනාකොට රහත්බවට පත්ව තෙරුන් වැඳ බුදුන් දකිනු කැමැත්තම්හයි කියති. තෙරණුවෝ ඇවැත්නී, යව්. මගේ වචනයෙන් බුදුන් වැඳ අසූමහාසවුතෙරවරුනුත් වදිව්. මගේ යහළු තෙරුන්ද අපේ ආචාර්යයන්වහන්සේ ඔබ වඳිතියි කියව්යයි පිටත් කොළෝය.
ඒ භික්ෂුහු විහාරයට ගොස් බුදුරදුන්ද, අසුමහතෙරවරුන්ද වැඳ ස්වාමීනි, අපේ ආචාර්යවරයන්වහන්සේ ඔබ වඳිතියි කීකල්හි අනිත් භික්ෂුව (ග්‍රන්ථ ධුරය පුරන) මේ කවුරුන්දැයි විචාළ කල්හි, ස්වාමීනි, ඔබගේ යහළු භික්ෂුවයයි කියති. මෙසේ ඒ (විපස්සක) තෙරුන් නැවත නැවතත් පණිවුඩ එවන කල්හි මද කලක් ඉවසා සිට මෑත භාගයෙහි එය ඉවසා සිටිය නොහැකිව අප ඇඳුරුතුමෝ ඔබ වඳිතියි කීකල, ඔබේ යහළු භික්ෂුවයයි දැන්වූ පසු තෙපි ඔවුන් ළඟින් කුමක් ඉගෙන ගත්තාහුදැයි අසා දීඝනිකාය ආදි සඟිවලින් කුමක් උගත්තුද, තුන්පිටකයෙන් එක් පිටකයක් හෝ උගත්තුද, සතරපද ගාථාවක් පවා නොදනියි. ඔහු පංශුකූල සිවුරු පොරවා පැවිදි වූ ළඟදීම කැලෑවට ගියේය. බොහෝ අතවැස්සන් නම් ලැබීය. ඔහු මෙහි ආවිට ප්‍රශ්න ඇසිය යුතුයයි සිතා ගත්තේය.
ඉන් පසු කාලයක අනික් (විපස්සක) තෙරණුවෝ බුදුන් දක්නට අවුත් යහළුතෙරුන් සමීපයෙහි පාසිවුරු තබා ගොස් බුදුන්ද අසූමහා ශ්‍රාවකයන්ද වැඳ යහළුතෙරුන්ගේ වාසස්ථානයට ආපසු පැමිණියෝය. ඒ ග්‍රන්ථධූරීන තෙරණුවෝ උන්වහන්සේට අවශ්‍ය වතාවත් කරවා, සමප්‍රමාණ අසුනක් ගෙන ප්‍රශ්න විචාරන්නෙමියි හිඳගත්හ. එකෙණෙහි ශාස්තෘන්වහන්සේ, මේ තෙමේ මගේ මෙබඳු පුතණුවන් වෙහෙසා අපාගතවන්නේයයි ඔහු කෙරෙහි අනුකම්පාවෙන් විහාර චාරිකාවේ හැසිරෙන්නාක් මෙන් ඔවුන් සිටි තැනට වැඩමවා පැනවූ බුද්ධාසනයෙහි වැඩහුන්සේක. ඒ ඒ තැන්වල වැඩහිඳින භික්ෂුහු බුද්ධාසනයක් පනවා හිඳිත්මය. ශාස්තෘන්වහන්සේ ප්‍රකෘතියෙන්ම එසේ පනවා තිබූ අසුන්හි වැඩහුන්සේක. එසේ වැඩසිට ග්‍රන්ථධූරීන භික්ෂුවගෙන් ප්‍රථමධ්‍යානය පිළිබඳවද, රූපාරූපසමාපත්ති පිළිබඳවද ප්‍රශ්න විචාළසේක. අනිත් තැනැත්තේ ඒ සියල්ලට පිළිතුරු දුන්නේය.
ඉන් අනතුරුව ඒ භික්ෂුවගෙන් සෝවාන් මාර්ගය පිළිබඳ ප්‍රශ්නයක් විචාළෝය. ග්‍රන්ථධූරීන භික්ෂුවට එය කියනු නොහැකිවිය. ඉන්පසු ක්ෂීණාශ්‍රව (විදර්ශක) තෙරණුවන්ගෙන් ඒ ප්‍රශ්නයම අසන ලදහ. තෙරණුවෝ ඊට පිළිතුරු දුන්හ. ශාස්තෘන්වහන්සේ සාධුකාරයෙන් එය යහපතැයි පිළිගත්සේක. එසේ සතුට පළකොට සෙසු මාර්ගයන් පිළිබඳවද පිළිවෙළින් ප්‍රශ්න විචාළහ. ග්‍රන්ථක භික්ෂුව ඒ එකකට හෝ පිළිතුරු දීමට අපොහොසත්වූ අතර ක්ෂීණාශ්‍රව රහතන්වහන්සේ විචාළ විචාළ ප්‍රශ්න විසඳාලූහ. ශාස්තෘන්වහන්සේ මෙසේ සතර තැනක සාධුකාර දුන්සේක.
ඒ අසා සිටි භූම්‍යස්ථ (පොළාව ඇසුරෙහි සිටින) දෙවියන් ආදිකොට ඇති බඹලොව දක්වා සියලු දෙවියෝද, නාග සුපර්ණයෝද සාධුකාර දුන්හ. ඒ සාධුකාරය අසා ඒ ග්‍රන්ථික භික්ෂුවගේ අතවැසියෝත්, සද්ධිවිහාරිකයෝත්, බුදුරදුන් විසින් මේ කරන ලද්දේ කුමක්ද? කිසිවක්ම නොදන්නා මහලු තෙරුන්ට සිවුතැනකදී සාධුකාර දුන්හ. සකල පර්යාප්තිධර, (ත්‍රිපිටකධාරී) භික්ෂූන් පන්සීයකට ප්‍රධාන අපේ ආචාර්යයන්වහන්සේට ප්‍රශංසා මාත්‍රයකුදු නැත යනුවෙන් දොස් කියන්ට වූහ.
ඉක්බිති තථාගතයන්වහන්සේ මේ කියන්නේ මොනවාදැයි විචාරා ඒ කරුණ දන්වා සිටිපසු, මහණෙනි, තොපගේ ගුරුවරයා මගේ සසුනෙහි, කුලියට හරකුන් රකින ගොපල්ලෙකු මෙනි. මගේ පුත් විදර්ශක භික්ෂුව මනාප පරිද්දෙන් පස්ගෝරසයන් පරිභෝජනය කරන ගව ස්වාමියෙකු වැනියයි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ:
බණදහම් දැනගෙන කියන නමුත් එහි නොයෙදෙන
ගොපල්ලෙකි ඔහු නම් අනුන් හරකුන් බලාගන්නා
ඔහුට පස්ගෝරස බිඳක් හෝ නොලැබී යයි
ටිකක් බණ දැනගෙන කියන දහමෙහි හැසිරෙන
රා දොස් මෝහ හැරදා මිදුණු සිතකින් යුතුවන