17. දෙව්දත් තෙරුන්ගේ වස්තුව
‘ඉධ තප්පති’ ආදි මේ ධර්මදේශනාව බුදුන් දෙව්රම වසන කාලයෙහි දෙව්දත්තෙරුන් අරභයා දේශනා කරන ලදි.
දේවදත්ත වස්තුව - පැවිදි වූ කාලයේ පටන් පොළොව පලාගෙන පෘථිවිය තුළට පිවිසීම දක්වා වූ දෙව්දත් අරභයා කියනලද සියලු පුවත් ඇතුළු ජාතකකථා විස්තර වශයෙන් දක්වා ඇත. මෙහි දැක්වෙන්නේ ඒ විස්තරයෙහි කෙටි කිරීමකි.
මල්ලරජදරුවන් සතු අනුපිය නම් නියම්ගමක් විය. බුදුරජාණන්වහන්සේ ලක්ෂණ ප්‍රතිග්‍රහණ (ශරීර ලකුණු ප්‍රකාශ කළ) දිනයෙහිම අසූදහසක් නෑයන් විසින් රජවුවත්, බුදුවුවත් ක්ෂත්‍රියයන් පිරිවරා හැසිරෙන්නේ යයි අසූදහසක් කුමාරවරු ප්‍රතිඥා දුන්හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පැවිදි වූ කල්හි, භද්දිය රජය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන මේ ශාක්‍ය පුත්‍රයන් සදෙන පැවිදි නොවී සිටිනු දැක, අපි අපේ පුතුන් පැවිදි කරවීමු. මේ ශාක්‍යයෝ සදෙන නොනෑයෝය. ඔවුන් පැවිදි නොවන්නේ එහෙයිනැයි හඟිමු යන ආකාරයේ කතාවක් ඉපැදවූහ.
ඉක්බිති මහානාම ශාක්‍යතෙම අනුරුද්ධ කුමරුන් වෙත ගොස් සොහොයුර, අපගේ කුලයෙන් (පවුලෙන්) පැවිදි වූවෙක් නැත. එහෙයින් ඔබ හෝ පැවිදි වියයුතුය, නැතහොත් මා හෝ පැවිදි වියයුතුයයි කියා සිටියේය. ඒ කුමරා මහත් ධනසම්පත් ඇත්තෙකි. සියුමැලි කෙනෙකි. ඔහු කිසිදාක නැත යන වචනය අසා නැත. දිනක් ඒ ක්ෂත්‍රිය කුමාරවරු සදෙනා එක්ව (කැටුම්වලට ඔට්ටු අල්ලා) පන්දු ක්‍රීඩාවෙහි යෙදී සිටියහ. අනුරුද්ධ පන්දු ක්‍රීඩාවේදී කැවුමෙන් පැරදුණේය. තවත් කැවුම් ගෙනෙන්නැයි මව වෙත පණිවුඩකරුවෙකු යැවීය. මව තවත් කැවුම් පිස ඒව්වාය. කුමාරවරු කැවුම් කා තවත් ක්‍රීඩා කළාහුය. නැවත නැවතත් අනුරුද්ධ කුමරුට පරාජය හිමිවිය. මෙසේ තුන්වරක්ම ඔහුගේ මව කැවුම් තනා එව්වාය. සිව්වෙනි වාරයේදී කැවුම් නැතැයි පණිවුඩයක් යැවුවාය.
අනුරුද්ධ කුමරා නැත යන වචනය මින්පෙර අසා නොතිබුණු හෙයින් නැති කැවුම් (නත්ථිපුවෙ) යනුද තවත් කැවුම් විශේෂයකියි සිතා, නැති කැවුම් එවන්නැයි පණිවුඩකරු අත කියායැවුවේය. ඔහු ගොස් ආර්යාවනි, නැතිකැවුම් දෙන්නැයි කී පසු මගේ පුතා නැත යන වචනය අසා නැත. දැන් ඔහුට එය එක් උපායකින් උගන්වන්නෙමියි එක් හිස් රන්තලියක් ගෙන තවත් තලියකින් එය වසා පුතා වෙත යැවුවාය.
නගරාරක්ෂක දෙවියෝ ඒ දැක මෙසේ සිතූහ. අනුරුද්ධ ශාක්‍යකුමරා මින් පෙර ආත්මයකදී අන්නභාර නමින් උපන් කාලයකදී තම බත් කොටස උපරිට්ඨ නම් පසේබුදුන්ට දන්දී, මට නැත යන වචනය අසන්ට නොලැබේවා, බොජුන් උපදින තැන් ගැන දැනීමක් පවා නැතිවේවායි ප්‍රාර්ථනයක් තැබීය. යම් හෙයකින් මේ කුමරා හිස් තළියක් දැක්කොත් (එය නොවැළැක්වීමේ වරදට) අපට දිව්‍යසභාවට ඇතුළුවීමට ඉඩක් නොලැබෙයි. අපේ හිස්ද සත්කඩකට පැලීයනු ඇතැයි සලකා ඒ තළිය දිව්‍යමය කැවුමෙන් පුරවාලූහ. ඒ රන්තැටිය ක්‍රීඩාමණ්ඩපයෙහි තබා වැසුම් හැරිපමණින් කැවුම් සුවඳ මුළු නගරය පුරා පැතිරී ගියේය. එයින් කැවුම් කෑල්ලක් කටේ තැබූ පමණින් සත්දහසක් රසනහර පිරී පිනා ගියේය.
අනුරුද්ධ කුමරාමෙසේ සිතීය. මම මගේ මවට ප්‍රියයෙක් නොවෙමි. මෙතෙක් කල් මේ නැතිකැවුම් පිස නොදුන්නේ ඒ නිසා වියයුතුය. මෙයින් පසු නම් මම අනිත් කැවුමක් නොකන්නෙමි. මෙසේසිතා ගෙට ගොස් මවගෙන් මෙසේ ඇසුවේය. මෑණියනි, මා ඔබට ප්‍රියද? අප්‍රියද? දරුව, එක් ඇසක් ඇත්තහුට ඒ ඇස මෙන්ද ස්වකීය හදවත මෙන්ද ඔබ මට ප්‍රියයි. මෑණියනි, එසේ නම් කුමක් හෙයින් මෙතෙක් කල් මට මේ නැති කැවුම් පිස නොදුන්නෙහි ද? ඕතොමෝ උපස්ථායකයාගෙන් දරුව, තැටියෙහි යමක් ඇද්දැයි ඇසුවාය. ආර්යාවනි, තැටිය කැවුමෙන් පිරී ඇත. මා නම් මෙබඳු කැවුම් මින්පෙර කිසි විටෙකත් දැක නැත. ඕතොමෝ මෙසේ සිතුවාය. මගේ පුතා පින් ඇති, කළ ප්‍රාර්ථනා ඇත්තකුම වියයුතුය. මේ කැවුම් තැටිය දෙවියන් විසින් පුරවා යවන ලද්දේ වියයුතුය.
පුතා අම්මාට මෙසේ කීවේය. මැණියනි, මම මෙවක් පටන් වෙනත් කැවුමක් නම් නොකන්නෙමි. නැතිකැවුම්ම පිසිනු මැනවි. ඕතොමෝද එවක් පටන් කැවුම් කනු කැමැත්තෙමියි කීකල හිස් තැටියක් තවත් හිස්තැටියකින් වසා ඔහු වෙත යැවුවාය. මෙසේ ගිහිගෙයි සිටිනතාක්ම ඔහුට දෙවියෝම දිවකැවුම් යැවුවාහ.
මෙපමණකුත් නොදන්නා ඔහු පැවිද්ද නම් කුමක්දැයි කෙසේ දැනගන්නේද? එහෙයින් පැවිද්ද නම් කුමක්දැයි සොහොයුරාගෙන් විමසා, කෙස් රැවුල් කපා, කහවත් දරා, දඩුමැස්සක හෝ වේවැල් ඇඳක හෝ නිදාගෙන, පිඬු පිණිස හැසිරෙන්නකු වියයුතුය. පැවිද්ද නම් මේයයි කීකල්හි, සොහොයුර, මම සිවුමැලි වෙමි. මට පැවිදි විය නොහැකියයි කීවේය.
සහෝදරය, එසේ නම් කර්මාන්ත ඉගෙන ගිහිගෙයි වසව. අප දෙදෙනාගෙන් එකෙකු පැවිදි නොවී සිටිනු බැරියයි කීකල්හි, මේ කර්මාන්තයයි කියන්නේ කුමක්දැයි විචාළේය. බත් උපදනා තැනවත් නොදන්නා මේ කුලපුත්‍රයා කර්මාන්ත නම් මොනවාදැයි කෙසේ දැනගන්ටද? දිනක් මේ කුමාරවරුන් තිදෙනා අතර බත් උපදින තැන ගැන කථාවක් ඇතිවිය. බත් උපදින්නේ වීකොටුවෙහි (වී රැස්කර තබන බිස්සට) යයි කිම්බිල කීවේය. භද්දිය ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. ඔබ බත් උපදින තැනවත් නොදන්නෙහිය. බත් උපදින්නේ සැළියෙහියයි ඔහු කියාසිටියේය. අනුරුද්ධ මෙසේ කීවේය. ඔබ දෙදෙනාම බත් උපදින තැන නොදන්නහුය. බත් උපදින්නේ රනින් කළ නෙළුම්මල් හා මල් කැකුළු ඇති රන්තළියේ යයි ඔහු කියා සිටියේය.
ඔවුනතුරෙන් කිම්බිලකුමරා එක් දිනක කොටුගුලෙන් පහතට වී බාගන්නා හැටි දැක, මේ වී තොටුගුලෙහිම හටගන්නට ඇතියි සිතාගත්තේය. භද්දිය දිනක් හැළියකින් බත් බෙදනු බලා සිට බත් උපදින්නේ සැළියෙනියි සිතා ගත්තේය. අනුරුද්ධ වී කොටනු දැක නැත. බත් බෙදන හැටිද දැක නැත. ඔහු දැක ඇත්තේ බත් බෙදා ඇති තළිය තමන් ඉදිරියේ තබනහැටි පමණකි. කනුකැමති වේලාවෙහි තැටියෙහි බත් හටගන්නේයයි ඔහු අදහස් කරගෙන සිටියේය. මෙසේ ඒ තිදෙනාම බත් උපදනා තැන නොදැන සිටියාහ.
එහෙයින් මේ අනුරුද්ධ තෙමේ කර්මාන්තයයි කියන්නේ මොනවාදැයි විචාරා, ඒ සඳහා පළමුව සීසෑව යුතුය යනාදී අවුරුදු පතා කළයුතු කටයුතු සම්භාරය ගැන අසා, කවදා නම් මේ කර්මාන්තයන්ගේ කෙළවරක් දැක්ක හැකිද? කවදා නම් අපි උත්සාහයෙන් වැඩ කරන්නන් බවට පත්වී භෝගසම්පත් වළඳන්නෙමුදැයි කියා කර්මාන්තයන්ගේ කෙළවරක් දැක්ක නොහැකි බව කීපසු, එසේ නම් ඔබම ගිහිගෙයි වසනු මැනව. මට මෙයින් වැඩක් නැතැයි මව ළඟට ගොස්, මෑණියනි, මට පැවිදි වීමට අවසර දෙනු මැනවැයි ඉල්ලා සිටියේය. මව ඒ ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්ෂේප කොට, ඉදින් ඔබේ යහළුවූ භද්දිය රජු පැවිදි වන්නේ නම් ඔහුත් සමඟ ඔබත් පැවිදි වන්නැයි කීවාය. අනුරුද්ධ කුමරා ඒ අසා භද්දිය ළඟට ගොස්, මිත්‍රය, මාගේ පැවිද්ද ඔබ හා බැඳී ඇත, ආදි නොයෙක් ඇවිටිලි කියා එතැන සිට ඉදිරියෙහි එන සත්වෙනි දිනයෙහි තමාත් සමඟ පැවිදිවීමට ගිවිස ගත්තේය.