උදාන ගාථා වර්ණනාව
363. “යුධඤ්ජයො සොමනස්සො අයොඝර භිසෙන ච
සොනනන්‍දො මූග පක්‍ඛො කපිරාජා සච්ච ස්වහයො”
364. “වට්ටකො මච්ඡ රාජා ච කණ්හ දීපායනො ඉසි
සුතසොමො පුන ආසිං සාමො ච එකරාජහු
උපෙක්‍ඛා පාරමී ආසි ඉති වුත්තං මහෙසිනා”
“යුධඤ්ජයො” යනාදිය උද්දාන ගාථාවෝය. එහි “භිසෙන” යනු ‘භිස’ යන්නෙන් මහා කඤ්චන චරිතය දක්වයි. “සොනනන්‍දො” යනු මෙයින් සෝනපණ්ඩිත චරිතය දක්වයි. එසේම “මූග පක්‍ඛො” යනු “මුගපක්‍ඛ” යන්නෙන් තේමිය පණ්ඩිත චරිතය දක්වයි. “උපෙක්‍ඛා පාරමී” ශීර්ෂයෙන් මහා ලෝමහංස චරිතය දක්වයි. “ආසි ඉතිවුත්තං මහෙසිනා” යනු “සාරිපුත්තය, නුඹට දැන් දේශනා කරන ලද්දේ යම්සේද, මෙසේ මේ ආකාරයට මහත් වූ දාන පාරමී ආදී බෝධිසම්භාර ධර්‍මයන් සෙවීමෙන් බෝධිසත්ත්‍ව වූ මහර්ෂි වූ මා විසින් එකල්හි වසන ලද්දේ, පුරුදු කරන ලද්දේ, හැසිරෙන ලද්දේ, පිළිපදින ලද්දේ විය, වූයේය යන අර්‍ථයයි. දැන් පාරමිතා සම්පූර්‍ණ කිරිම් වශයෙන් බොහෝ කල් පැවතියාවූ මෙහි කියන ලද්දාවූද නොකියන ලද්දාවූද තමන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව එක්කොට යම් අර්‍ථයක් සඳහා එය පවත්වන ලද්දේ ද එයද කෙටියෙන් දැක්වීමට “එවං බහුවිධං” යනාදී ගාථාව දේශනා කළහ.
එහි “එවං” යනු මේ කියන ලද ක්‍රමයෙන් “බහුවිධං දුකචං” යනු අකිති පණ්ඩිත ආදීන්ගේ කාලයෙහි කරකොළ ආදිය ආහාර වූ නිසාත් එයද යාචකයාට දී ආහාරයෙන් තොරවීම් ආදියෙන්ද බහුවිධ වූ නානප්‍රකාර දුක්ද, එසේම කුරුරාජාදි කාලයෙහි ශක්‍රසම්පත් සමාන “සම්පත්තිච” සම්පත්ද “බහු විධා” නානප්‍රකාරය. “භවාභවෙ” යනු කුඩා වූද මහත් වූද භවයෙහි. නැතහොත් භවාභව යනු වෘද්ධිහානි. විවිධාකාර වූ දුක් අනුභව කොට එවායින් නොපෙළෙමින් ද විවිධාකාර වූ සම්පත් අනුභවකොට ඒවායින් නො අදිනු ලබමින්ද පාරමී සම්පූර්‍ණ කිරීමෙහි නියැලුනෙක්ම වී එයට සුදුසු ප්‍රතිපත්තියෙහි යෙදුනේ උතුම් වූ අනුත්තර වූ සම්මා සම්බෝධි සඞ්ඛ්‍යාත සර්‍වඥතා ඥානයට පැමිණියේ වෙමි, අවබෝධ කළේ වෙමි’යි යන අර්‍ථයයි.
දැන් යම් පාරමිතාවන්ගේ සම්පූර්‍ණ කිරීමක් සඳහා මෙබඳු දුෂ්කර චර්‍ය්‍යාවක් බොහෝ කලක් පවත්වන ලද්දේ ද ඒවා නිරවශේෂයෙන් සම්පූර්‍ණ කළ බවත් එය කරණ කොට ගෙන පැමිණිය යුතු ඵලයට තමන් වහන්සේ පැමිණි බවද දැක්වීමට “දත්‍වා දාතබ්බකං දානං සීලං පුරෙත්‍වසෙසතො” යනාදිය දේශනා කරන ලදී.
එහි “දත්‍වා දාතබ්බකං දානං” යනු එකල්හි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කර ගැනීම පිණිස අග්‍රයාන ප්‍රතිපදාවට පිළිපන්නා වූ මහාබෝධිසත්ත්‍වයන් විසින් දිය යුතු බාහිර රාජ්‍යාදී දෙය්‍ය ධර්‍ම ද, අභ්‍යන්තර ශරීරඞ්ග ඇස් ආදිය ද දී පරිත්‍යාග කොට එහෙයින්ම උතුම් වූ ධන පරිත්‍යාගය, පුත්‍ර පරිත්‍යාගය, දාර (භාර්යා) පරිත්‍යාගය, අඞ්ග පරිත්‍යාගය, රාජ්‍ය පරිත්‍යාගය යන පඤ්ච මහා පරිත්‍යාගය කෙළවර කොට ඇති දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්‍ථ පාරමී වශයෙන් ප්‍රභේද ගත වූ දානය නිරවශේෂයෙන් සම්පාදනය කොට යන අර්‍ථයයි. එහි අකිත්ති බ්‍රාහ්මණ කාලයෙහි සඞ්ඛ බ්‍රාහ්මණ කාලයෙහි යන මේ ආදී මෙහි ආවාවූද, මෙහි සඳහන් නොවූ විසය්හ සිටු කාලයෙහි වේලාම කාලයෙහිද යන මේ ආදී කාලයන්හි ද වශයෙන් මහා පුරුෂයන් දාන පාරමිතාව පිරූ ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නම් නැත. නියත වශයෙන්ම සස පණ්ඩිත කාලයෙහි:-
“භික්‍ෂාව සඳහා පැමිණි සක් බමුණා දැක ස්වකීය ආත්මය පරිත්‍යාග කෙළෙමි. දීම කරණ කොට ගෙන මා හා සමවූවෙක් නැත. මේ මාගේ දාන පාරමිතාවයි” (ජාතක පාලිය)
මෙසේ ආත්ම පරිත්‍යාග කරන්නා වූ බෝසතුන්ගේ දාන පාරමිතාව පරමත්‍ථ පාරමී නම් විය. සෙසු ආත්මභාවයන්හි සුදුසු පරිදි දාන පාරමිතා දාන උපපාරමිතාවෝ දත යුත්තාහ.
“සීලං පුරෙත්‍වසෙසතො” යනු එසේම නිරවශේෂ වශයෙන් කායික සංවරය, වාචසික සංවරය, කායවාග් සංවරය, ඉන්‍ද්‍රිය සංවරය, ඉන්‍ද්‍රිය සංවරය, භෝජනයෙහි පමණ දැනීම, සුපිරිසිදු ආජීවය යන මේ ආදී බෝධිසත්ත්‍ව ශීලය සම්පූර්‍ණ කරන්නහු විසින් ශීල පාරමී, ශීල උපපාරමී, ශීල පරමාර්ථ පාරමී යයි ප්‍රභේද ගත පිරිය යුතු සියලු ශීලය පුරා මනාකොට සම්පාදනය කොට. මෙහිද සීලවනාගරාජ කාලයෙහි චම්පෙය්‍ය නාගරාජ කාලයෙහි යයි මේ ආදී මෙහි ආ කාලයන්හිද, මෙහි සඳහන් නොවූ මහා කපි කාලයෙහි ඡද්දන්ත කාලයෙහි යන මේ ආදී කාලයන්හි ද වශයෙන් මහාසත්ත්‍වයන් ශීල පාරමිතාව පිරූ ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නම් නැත. නියත වශයෙන් වනාහි උන්වහන්සේ සඞ්ඛපාලව උපන් කල්හි:-