14. ඒකරාජ චරියා වර්ණනාව
354. “පුනාපරං යදා හොමි එකරාජාති විස්සුතො
පරමං සීලං අධිට්ඨාය පසාසාමි මහා මහිං
355. දසකුසල කම්මපථෙ වත්තා මි අනවස්සෙතො
චතූහි සඞ්ගහවත්‍ථුහි සඞ්ගණහාමි මහාජනං
356. “එවං මෙ අප්පමත්තස්ස ඉධ ලොකෙ පරත්‍ථච
දබ්බසෙනො උපාගනත්‍වා අච්ඡින්‍දන්තො පුරං මමාති. (චරියා පිටක)
“නැවත අනික් (චරිතයක් කියන්නෙමි) යම්කලෙක්හි (මම) ඒකරාජ යයි ප්‍රසිද්ධ වීම්ද (එකල්හි) උතුම් වූ ශීලය ඉටාගෙන මහා පෘථිවිය අනුශාසනා කෙළෙමි.
දශකුශල කර්‍මපථයෙහි නිරවශේෂ වශයෙන් සමාදන්ව පැවතීමි. සතර සංග්‍රහ වස්තුවෙන් මහා ජනයා සංග්‍රහ කෙළෙමි.
මෙසේ මෙලොව හා පරලොව පිළිබඳ අර්‍ථයෙහි මා අප්‍රමාදව වසන කල්හි දබ්බසේන පැමිණ මාගේ නගරය බලාත්කාරයෙන් ගන්නේ”
තුදුස්වන (ඒකරාජ චරිතයෙහි) “එකරාජාති විස්සුතො” යනු “ඒකරාජ” යන අන්වර්ථ නාමයෙන් දඹදිව් තලයෙහි ප්‍රකට වූ.
මහාසත්ත්‍වයෝ වනාහි බරණැස් රජුගේ පුතා වී උපන්හ. වැඩිවියට පත්වූවාහු සියලු ශිල්පයන්හි පරතෙරට පත්වූවෙක් වී පියාණන්ගේ ඇවෑමෙන් රාජ්‍යය කරවන්නාහු කුශල ශීලාචාර ශ්‍රද්ධා ශ්‍රැතාදී අනන්‍ය සාධාරණ විශේෂ ගුණයන්හි යෙදීම් වශයෙන් ද පාරමී සම්පූර්‍ණ කිරීම් වශයෙන් ද දඹදිව් තලයෙහි උන්වහන්සේට දෙවැන්නෙක් නොමැති හෙයින්ද ප්‍රධාන වීම් වශයෙන් ද “එකරාජ” යයි ප්‍රසිද්ධ වූහ. “පරම සීලං අධිට්ඨාය” යනු සුපිරිසිදු කායික වාචසික සඞ්ඛ්‍යාත වූද සුපිරිසිදු මනෝ සමාචාර සඞ්ඛ්‍යාත වූද ඉතා උතුම් දශකුශල කර්‍මපථ ශීලය සමාදන් වීම් වශයෙන්ද ඒවා නොඉක්මවීම් වශයෙන්ද අධිෂ්ඨාන කොට, නොනැගිට, “පසාසාමි මහාමහිං” යනු යොදුන් තුන්සියයක් පමණ වූ කසීරට මහපොළොව අනුශාසනා කරමි, රාජ්‍යය කරවමි.
“දසකුසලකම්ම පථෙ” යනු ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිට සම්මා දිට්ඨිය දක්වා යන මේ දශවිධ කුශලකර්‍ම පථයෙහි නැතහොත් මේවා නිරවශේෂ වශයෙන් සමාදන්ව පවතිමි. “චතූහි සඞ්ගහ වත්‍ථුහි” යනු දානය, ප්‍රිය වචනය, අර්‍ත්‍ථචර්‍ය්‍යාව, සමානාත්මතාව යන මේ සතර සංග්‍රහ වස්තූන්ගෙන්, සංග්‍රහ කරන කාරණයන්ගෙන් යම් කලෙක්හි “ඒකරාජ” යයි ප්‍රසිද්ධ වීම් ද, එකල්හි සුදුසු පරිදි මහජනයාට සංග්‍රහ කරමි”යි සම්බන්‍ධය වේ.
“එවං” යනු දශකුශල කර්‍මපථ ශීලය සම්පූර්‍ණ කිරීම, සතර සංග්‍රහ වස්තූන්ගෙන් මහජනයාට සංග්‍රහ කිරීම යන කී අයුරින් මේ ආකාරයෙන් නොපමා වූවහුගේ “ඉධලොකෙ පරත්‍ථ ච” යනු මේ ලෝකයෙන් යම් අප්‍රමාදී වීමක් ඇත්තේද ඒ දිට්ඨිධම්මික අර්‍ථයෙහිද පරලොව යම් අප්‍රමාදී වීමක් ඇත්තේද එම සම්පරායික අර්‍ථයෙහි ද මාගේ අප්‍රමාදී වීමක් ඇති කල්හි යන අර්‍ථයයි. “දබ්බසෙනො” යනු මෙනමින් යුත් කොසොල් රජ “උපගනත්‍වා” යනු චතුරඞ්ගනී සේනාව සන්නද්ධ කොටගෙන විරුද්ධව ඉදිරියට යෑම් වශයෙන් මගේ රාජ්‍යය සමීපයට පැමිණ “අච්ඡින්‍දන්තො පුරං මම” යනු මගේ බරණැස් නුවර බලහත්කාරයෙන් අල්ලා ගත්තේ.
මේ එහි අනුපිළිවෙල කථාවයි:- මහාසත්ත්‍වයෝ වනාහි එකල්හි නගරයෙහි දොරටු සතරෙහි සතරක් ද, නගරය මැද එකක් ද, වාසල් දොරටුවෙහි එකක් ද වශයෙන් දානශාලා හයක් කරවා දුගීමගී ආදීන් සඳහා දන්දෙති. සිල් රකිති. පෙහෙවස් සමාදන් වෙති. ක්‍ෂාන්ති, මෛත්‍රී, දයා යන ගුණයන්ගෙන් යුක්ත වූවාහු ඇකයෙහි හුන් පුතා සතුටු කරන්නාක් මෙන් සියලු සත්ත්‍වයන් සතුටු කරමින් දැහැමෙන් රාජ්‍යය කරවති. එතුමන්ගේ එක් ඇමතියෙක් අන්තඃපුරය දූෂණය කොට මෑත කාලයෙහි ප්‍රසිද්ධ විය. ඇමතියෝ රජුට දැන්වූහ. රජතුමා විමසා බලන්නේ එය තමන් විසින්ද ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ඒ ඇමතියා කැඳවා “අන්‍ධබාලය, තොප විසින් අයුත්තක් කරන ලද්දේය. නුඹ මගේ රාජ්‍යයෙහි විසීමට නුසුදුසුය තමාගේ ධනයත් අඹුදරුවනුත් රැගෙන වෙනත් තැනකට යව’යි රටින් නෙරපීය.
හෙතෙම කොසොල් ජනපදයට ගොස් දබ්බසේන නම් කොසොල් රජුට උවටැන් කරන්නේ ක්‍රමයෙන් ඔහුගේ විශ්වාසවන්තයෙක් වී එක් දිනක් ඒ රජුට දේවයන් වහන්ස, බරණැස් රාජ්‍යය මැස්සන් නැති මී වදයක් වැන්න. රජ ඉතාමත් මෘදුය. පහසුවෙන්ම ඒ රාජ්‍යය ගැනීමට හැකිය. යනුවෙන් කීය. දබ්බසේන රජ බරණැස් රජුගේ මහානුභාවය කරණකොට ගෙන ඔහුගේ වචනය නො අදහන්නේ මිනිසුන් යවා කසීරට ගම්පහැරවීම් ආදිය කරවා ඒ සොරුන්ට බෝධිසත්ත්‍වයන් විසින් ධනය දී මුදාහළ බව අසා ඉතාමත් ධාර්මික රජෙක් බව දැන බරණැස රාජ්‍යය ගන්නෙමි’යි බලවාහන ගෙන පිටත්ව ගියේය. ඉක්බිති බරණැස් රජුගේ මහා යෝධයෝ කොසොල් රජු එන්නේය’යි අසා “අපගේ රාජ්‍ය සීමාව නොඉක්මවද්දීම ඔහු තළා අල්ලා ගන්නෙමු’යි තම රජුට කීහ.