6. මෛත්‍රී පාරමිතාව
13. සුවණ්ණසාම චරියා වර්ණනාව
351. “සාමො යදා වනෙ ආසිං සක්කෙන අභිනිම්මිතො
පවනෙ සීහ ව්‍යග්ඝෙ ච මෙත්තාය මුපනාමයින්ති. (චරියා පිටක)
“යම්කලෙක්හි වනයෙහි ශක්‍රයා විසින් මනාකොට මවන ලද්දා වූ සාම නම් (කුමරෙක්) වීම්ද (එකල්හි මම) මහවනයෙහි සිංහ ව්‍යාඝ්‍රයන්ද මෛත්‍රියෙහි යෙදවීමි.
තෙළෙස්වන (සාම පණ්ඩිත චරිතයෙහි) “සාමො යදා වනෙ ආසිං” යනු හිමවතෙහි “මිගසම්මත” නම් නදීතෙර මහ වනයෙහි සාමනම් තාපස කුමාරයෙක් යම්කලෙක වූයේද “සක්කෙන අභිනිම්මිතො” යනු සක්දෙව් රජුගේ උපදේශ සම්පත්තියෙන් උපන් හෙයින් ශක්‍රයා විසින් උපදවන ලද ජනිත කළ මේ එහි අනුපිළිවෙළ කථාවයි. යටගිය දවස බරණැස් නුවරට නුදුරෙහි ගං ඉවුරක එක් වැදිගමක් විය. එහි දෙටුවැදිහට පුතෙක් උපන. ඔහුට “දුකූල” යයි නම් කළහ. එම නදියෙන් එතෙරත් එක් වැදිගමක් විය. එහි දෙටුවැදිහට දියණියක් උපන්හ. ඇයට “පාරිකා” යයි නම් කළහ. ඒ දෙදෙනාම බඹලොවින් ආ පිරිසිදු සත්ත්‍වයෝ වූහ. වැඩිවියට පත් ඔවුන්ගේ අකමැත්තෙන්ම ආවාහ විවාහ සිදු කළහ. ඔවුහු දෙදෙනාම කෙලෙස් මුහුදට නොබැස බ්‍රහ්මයන් මෙන් එකතුව විසූහ. කිසිම වැදි ක්‍රියාවක් නො කරති.
ඉක්බිති මවුපියෝ දුකූලයන්හට “දරුව, නුඹ වැදිකම් නොකරහි. ගෘහවාසය නොකැමැත්තෙහි. කුමක් නම් කරන්නෙහිදැයි විචාළහ. හෙතෙම “ඔබවහන්සේලා අනුදන්නා කල්හි පැවිදි වන්නෙමු”යි කීය. “එසේනම් පැවිදිවව්”යයි කීහ. ඔවුහු දෙදෙනාම හිමවතට පිවිස යම්තැනෙක්හි මිගසම්මත නම් නදිය හිමවතින් බැස ගඟට පැමිණියේද එතනට ගොස් ගඟ හැර මිග සම්මත නම් නදියට අභිමුඛව නැගී ගියාහුය. එකල්හි ශක්‍රයාගේ භවන උණු ස්වභාවයක් දැක්වීය. ශක්‍ර තෙම ඒ කාරණය දැන විශ්වකර්‍ම දේවපුත්‍රයා ලවා එහි අසපුවක් මැවීය. ඔවුහු එහි ගොස් පැවිදිව සක්දෙව් රජු විසින් දෙන ලද අසපුවෙහි කාමාවචර මෛත්‍රිය වඩා විසූහ. ශක්‍ර තෙමේද ඔවුන්ට උපස්ථානයට පැමිණෙයි.
හෙතෙම එක් දිනක් ඔවුන්ගේ ඇස් අන්‍ධ වන්නේය’යි දැන එළඹ “ස්වාමීනි, නුඹ වහන්සේලාගේ ඇස්වලට අනතුරක් පෙනේ. පිළිදැඟුම් කරන්නා වූ පුතෙකු ලැබීමට වටී. නුඹවහන්සේලාගේ පිරිසිදු සිත් ඇති බව දනිමි. එබැවින් පාරිකාවන් මල්වර වූ කල්හි අතින් නැබ පිරිමදිනු මැනවි. එසේ තොපට පුතෙක් උපදින්නේය. හෙතෙම තොපට උවටැන් කරන්නේය’යි කියා පිටත්ව ගියේය. දුකූල පණ්ඩිත තෙමේ ඒ කාරණය පාරිකාවන්ට කියා ඇය මල්වර වූ කල්හි නැබ පිරිමැද්දේය. එකල්හි බෝධිසත්ත්‍වයෝ දෙව්ලොවින් චුතව ඇයගේ කුසෙහි පිළිසිඳ ගත්හ. ඇය දසමසක් ඇවෑමෙන් රන්වන් පුතෙකු බිහි කළාය. එනිසාම ඔහුට “සුවණ්ණ සාම” යයි නම් කළහ. මවුපිය දෙදෙනා මෑතකාලයෙහි වැඩිවිය පැමිණ සොළොස් හැවිරිදි පමණ වූ ඔහු රක්නාහු අසපුවෙහි හිඳුවා තමාම වනමුල්ඵලාඵල සඳහා යති.
ඉක්බිති එක්දිනක් වනයෙන් ඵලාඵල රැගෙන නැවතී ආපසු එනවිට අසපුවට නුදුරෙහි දී වැසි නැගි කල්හි රුක් මුලකට පිවිස තුඹසක් මත සිටියාහු ඔවුන්ගේ ශරීරයෙන් දහඩිය ගඳ මුසු වූ දිය එම තුඹස් බිලෙහි සිටි සර්‍පයෙකුගේ නාස් සිදුරට පිවිසි කල්හි සර්‍පයා කිපී නාසාවාතයෙන් පහර දුන්නේය. දෙදෙනාම අන්‍ධව හඬමින් කෑගැසූහ. ඉක්බිති මහාසත්ත්‍වයෝ “මාගේ මවුපියෝ බෙහෝ සුනංගු වෙති. ඔවුන්ගේ පුවත් කවරේදැයි පෙරමගට ගොස් හඬ ගැසූහ. ඔවුහු ඔහුගේ හඬ හැඳින පිළිතුරු හඬ දී දරු සෙනෙහසින් “පුත සාමයෙනි, මෙහි උවදුරක් ඇත. නොඑව’යි කියා හඬ අනුව තමාම පැමිණ එකතුවූහ. හෙතෙම “කවර කරුණකින් ‘නුඹවහන්සේලාගේ ඇස් නැසුනේදැයි විමසා “දරුව, අපි නොදනිමු. වැස්ස වසින කල්හි ගසමුල තුඹස මත සිටියාහු, ඉක්බිති අපි නො දකිමු’යි කී පමණින්ම “එහි සර්‍පයකු විය යුතුය. කිපියා වූ ඌ විසින් නාසා වාතයක් මුදා හළේ වන්නේයයි දැනගත්තේය.