12. සුතසෝම චරියා වර්ණනාව
345. “පුනාපරං යදාහොමි සුතසොමො මහීපති
ගහිතො පොරිසාදෙන බ්‍රාහ්මණ සඞ්ගරංසරිංති” (චරියා පිටක)
ගහිතො පොරිසාදෙන බ්‍රාහ්මණ සඞ්ගරංසරිංති” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි මම සුතසෝම නම් රජෙක් වීම් ද, පෝරිසාද විසින් අල්ලා ගන්නා ලද්දෙම් බ්‍රාහ්මණයාහට (දෙන ලද) ප්‍රතිඥාව සිහි කෙළෙමි’යි
දොළොස්වන (සුතසෝම චරිතයෙහි) “සුතසොමො මහීපතී” යනු එනම් වූ රජ මහාසත්ත්වයෝ වනාහි එකල්හි කුරුරට ඉඳිපත් නුවර කෝරව්‍ය රජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳගත්හ. ඇසීමෙහි සතුටු සිත් ඇති බැවින්ද චන්ද්‍රයා වැනි සෞම්‍ය මුහුණක් ඇති නිසාද “සුතසෝම” යයි හැඳින ගත්හ. මවුපියෝ වැඩිවියට පත්, සියලු ශිල්පයන්හි පරතෙරට පත් ඔහු රාජ්‍යයෙහි අභිෂේක කළාහුය. “ගහිතො පොරිසාදෙන” යනු පුරුෂ වූ, මනුෂ්‍යයන් ආහාර වශයෙන් අනුභව කළ හෙයින් “පෝරිසාද” යයි ලැබූ නම් ඇති බරණැස් රජු විසින් දෙවියන්ට බිලිකම් සඳහා අල්ලා ගන්නා ලද්දේ.
බරණැස් රජ වනාහි එකල්හි මසෙන් තොරව අනුභව නොකරන්නේ අනෙක් මසක් නොලැබූ අරක්කැමියා විසින් මිනීමස් අනුභව කරවන ලද්දේ රස තෘෂ්ණාවෙන් බැඳුනෙක් වී මිනිසුන් මරා මිනීමස් කන්නේ ඇමති පිරිස ප්‍රධාන නුවර වැස්සන් විසින් ද නියම් ජනපදවාසීන් විසින් ද උත්සාහ කරවන ලද “කාලහත්ථි” නම් තමන්ගේ සෙන්පතියා විසින් දේවයන් වහන්ස ඉදින් රජය කැමැත්තේ නම් මිනීමස් අනුභව කිරීමෙන් වෙන්වුව මැනවැ’යි කී කල්හි “රාජ්‍යය අත්හරින්නේ නමුදු මිනීමස් කෑමෙන් වෙන් නොවන්නෙමි’යි කියා ඔවුන් විසින් රටින් නෙරපන ලද්දේ වනයට පිවිස එක් නුගගසක් මුල වසන්නේ කණුවක හැපීමෙන් පාදයෙහි හටගත් වනය සුවවීම සඳහා “මුළු දඹදිව එක් සියයක් රජුන්ගේ ගළලෙයින් බිලිපූජා කරන්නෙමි’යි දෙවියන්ට ආයාචනා කොට සත් දිනක් නිරාහාරව සිටීමෙන් වණය සුව වූ කල්හි “දෙවියන්ගේ ආනුභාවයෙන් මට සුව වූයේයයි හැඟීමෙන් “බිලිකම් සඳහා රජුන් ගෙන එන්නෙමි’ යි යන්නේ අතීත ජන්මයෙහි යහළු වූ යක්ෂයකු සමග එක්ව ඔහු විසින් දුන් මන්ත්‍ර බලයෙන් ඉතා ශක්තිජවපරාක්රමයෙන් යුක්ත වූයේ සත් දිනක් තුළදීම සියයක් රජවරුන් ගෙනවිත් තමා වසන නුගගසෙහි එල්වා බිලිකම් කිරීමට සුදානම් විය.
ඉක්බිති ඒ නුග ගසෙහි අරක්ගත් දෙවියෝ ඒ බලිකර්මයට අකමැති වන්නාහු උපායකින් එය වලක්වන්නෙමි’යි පැවිදි වෙසින් තමා ඔහුට දක්වා ඔහු විසින් ලුහුබඳින ලද්දාහු තුන් යොදුනක් ගොස් නැවත තමාගේ දිව්‍ය රූපය දක්වා “නුඹ බොරු කියන්නෙකි, නුඹ විසින් සියලු දඹදිව රජවරුන් ගෙනවිත් බිලිකම් කරන්නෙමි”යි ප්‍රතිඥා කරන ලදී. දැන් යම් ඒ දුර්වල රජවරුන් පමණක් ගෙනාවෙහිය. ඉදින් දඹදිව අග්‍ර වූ සුතසෝම රජු ගෙන නොඑන්නෙහි නම් නුඹගේ බලිකර්මයෙන් මට වැඩක් නැතැ’යි කීහ.
හෙතෙම “මාවිසින් තමාගේ දේවතාතොමෝ දක්නා ලද්දීය’යි සතුටුව “ස්වාමීනි, නොසිතුව මැනව, මම අදම සුතසෝමයන් ගෙන එන්නෙමි’යි කියා වේගයෙන් “මිගාජින” උයනට ගොස් රැකවලක් නොමැතිව තිබූ පොකුණට බැස පියුම් පතකින් හිස වසාගෙන සිටියේය. ඔහු උයන ඇතුළට ගිය කල්හිම ඉතා අලුයම තුන් යොදුනක් අවට රැකවල් ගත්තාහුය. මහාසත්ත්වයෝ උදෑසනම සැරසූ ඇතුපිට නැගී සිවුරඟ පිරිවරාගෙන නගරයෙන් නික්මුණාහ. එකල්හි නන්ද නම් බ්‍රාහ්මණයා තක්ෂලා නුවරින් “සතාරහ” නම් ගාථා හතරක් ගෙන එකසිය විසි යොදුන් මග ගෙවා එම නගරයට පැමිණියේ නැගෙනහිර දොරටුවෙන් නික්මෙන රජු දැක අත ඔසවා “මහරජ, ඔබතුමාට ජය වේවා”යි කියා ජයාශීර්වාද කළේය.
රජතුමා මඟුලැතු එතනට පමුණුවා “බ්‍රාහ්මණය, නුඹ කොහි සිට එන්නෙහිද? කුමක් කැමති වෙහිද? නුඹට කුමක් දියයුතුදැයි කීය. බ්‍රාහ්මණයා “නුඹවහන්සේ සුභාෂිත ඇසීමෙහි අභිප්‍රාය ඇතෙකැයි අසා සතාරහ ගාථාවන් සතරක් රැගෙන ඔබතුමාට දේශනා කිරීමට පැමිණියේ වෙමි”යි කීය. මහාසත්ත්වයෝ සතුටු සිත් ඇත්තාහු “මම උයනට ගොස් නා පැමිණ අසන්නෙමි, නුඹ කළනොකිරෙව’යි කියා “යව්, බ්‍රාහ්මණයාට අසවල් ගෙයි නවාතැන්ද කෑම ඇඳීමද විධාන කරව්” යයි අණ කරවා උයනට පිවිස මහත් වූ ආරක්ෂාව සංවිධානය කොට මාහැඟි ආභරණ මුදා රැවුල කප්වා සඳුන් සුණු ආදියෙන් උලන ලද ශරීර ඇත්තේ රාජ ඓශ්වර්ය්යයෙන් පොකුණෙහි නා, ගොඩ නැගී දිය සළුව හැඳ සිටියේය.
ඉක්බිති එතුමන්ට සුවඳ මල් මාලාලඞ්කාරයන් එළවූහ. පෝරිසාදයා “සැරසුණු රජතුමා බර වන්නේය. සැහැල්ලු විටම ඔහු ගන්නෙමි’යි හඬගසමින් කඩුව කරකවමින් මම පෝරිසාදයා වෙමි’යි නම අස්වා ජලයෙන් නික්මුණි. ඔහුගේ හඬ අසා ඇතරු ආදීහු ඇතුන් ආදීන්ගෙන් බැස්සාහුය. බලසෙනග දුර සිටියාහුම පලාගියහ. අනෙකෙක් තම ආයුධ හැරදමා වැදහොත්හ. පෝරිසාදයා රජු ඔසවා කර හිඳුවා ඉදිරියට පැමිණි තැනින්ම අටළොස් රියන් පවුර පැන ඉදිරියෙන් වෑහෙන්නා වූ මද ඇති මතැතුන්ගේ කුඹුපාගා පර්වතකුට මෙන් බිම හෙළමින් පවනට බඳු ජවඇති අශ්ව රත්නයන්ද පිට පාගා බිම හෙළමින් රිය හිස් පාගා බිම හෙළමින්. බඹරයක් කරකවන්නාක් මෙන් නිල් වූ නුගකොළ මඩින්නාක් මෙන් එකම වේගයෙන් තුන් යොදුන් මග ගෙවා ලුහුබඳින කිසිවෙකු නො දැක හෙමින් යන්නේ සුත සෝමයන්ගේ හිසකේවලින් ජලබිඳු තමා මත වැටෙන කල්හි “කඳුලු බින්දු” යන හැඟීමෙන් “මේ කිමෙක්ද? සුතසෝම මරණය අනුව ශෝක කරමින් හඬද්දැයි කීයේය.