11. කණ්හදීපායන චරියා වර්ණනාව
332. “පුනාපරං යදාහොමි කණ්හ දීපායනො ඉසි
පරො පඤ්ඤා ස වස්සානි අනභිරතො චරිං අහං
333. “න කොචි එතං ජානාති අනභිරති මනං මම
අහං හි කස්සචි නාචික්‍ඛිං අරති මෙ චරති මානසෙ
334. “සබ්‍රහ්මචාරී මණ්ඩබ්‍යො සහායො මෙ මහා ඉසි
පුබ්බකම්ම සමායුත්තො සූලමාරොපණං ලභි. (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම්කලෙක මම කණ්හදීපායන නම් වූ ඍෂියෙක් වීම් ද (එකල්හි) මම පනස් වසකට අධික වූ (කාලයක්) නො ඇලුණේම වාසය කෙළෙමි.
මාගේ මේ අනභිරති චිත්තය කිසිවෙක් නොදනිති. මමද කිසිවෙකුහටත් මාගේ සිතෙහි අනභිරතිය පවතී යයි නොකීවෙමි.
මාගේ යහළු වූ සබ්‍රහ්මචාරී මණ්ඩව්‍ය නම් වූ මහානුභාවසම්පන්න ඍෂිතෙම පූර්‍ව කර්‍මයකින් යුක්ත වූයේ උල තබනු ලැබීය.”
එකොළොස්වන (කණ්හදීපායන චරිතයෙහි) “කණ්හදීපායනො ඉසි” යනු මෙනමින් යුත් තාපසයෙකි. බෝධිසත්ත්‍වයන් වහන්සේ වනාහි එකල්හි දීපායන නම් වූවාහු තමාගේ යහළු වූ, උල හිඳුවන ලද මණ්ඩබ්‍ය තවුසා වෙත එළඹ ඔහුගේ ශීල ගුණය කරණ කොට ගෙන ඔහු අත්නොහරින්නාහු තුන්යම් රාත්‍රියක් උල හිඳුවා සිටි ඔහුගේ ශරීරයෙන් වැගිරී වැටුණු ලේ බින්දු වියලීම කරණ කොටගෙන කළුවන් ශරීර වූ බැවින් ‘කණ්හදීපායන’ යයි ප්‍රසිද්ධ වූහ. “පරො පඤ්ඤාස වස්සානි” යනු පනස් වසකට අධික වූ කාලයක්. අත්‍යන්ත සංයෝගයෙහි දුතියා විභක්ති වචනයකි. “අනභිරතො චරිං අහං” යනු ප්‍රාන්ත සේනාසනයන්හි මෙන්ම අධිකුශල ධර්‍මයන්හි ද අනභිරති වාසයෙන් වසන්නෙම් මම බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසුරුනෙමි. එකල්හි මහාසත්ත්‍වයෝ පැවිදි වී සත් දිනක් පමණක්ම කැමැත්තෙන් බඹසර විසූහ. ඉන්පසුව අකමැත්තෙන්ම විසූහ.
මහා පුරුෂතෙම නොයෙක් ලක්‍ෂ ගණන් ආත්මභාවයන්හි අභිනිෂ්ක්‍රමණ අධ්‍යාශයෙන් යුක්තව බඹසරෙහි ඇලී කවරහෙයකින් මේ ආත්මභාවයෙහි එහි නොඇලුණු සේක්ද? පුහුදුන් බවෙහි චංචලභාවය නිසාය. කුමක්හෙයින් නැවත ගිහිගෙයි නො විසුවාහු ද? පළමුකොට ගිහිගෙයින් නික්මීමේ අදහසින් කාමයන්හි දොස් දැක පැවිදි වූහ. ඉක්බිති ඔහුට අනුවණින් සිහිකිරීම නිසා නො ඇල්මක් උපන්නේය. හෙතෙම එය දුරුකරන්නට අපොහොසත්වම කර්‍මය හා ඵලය අදහා ඒ මහත් සම්පත් අත්හැර ගිහිගෙයින් නික්මෙන්නේ යමක් දුරු කෙළේද ඉදින් යළි ඒ සඳහාම ආපසු පැමිණියේ නම් “මේ කණ්හදීපායන ඒකාන්තයෙන් කෙළ තොල්ලෙකි. චපලයෙකි’යි යන මේ අපවාදය පිළිකුල් කරමින් තමන්ගේ හිරිඔතප් නැසේය යන බියෙන් නැවතුනේය. තවද “පැවිදි කුශලය නම් බුද්ධාදී නුවණැත්තන් විසින් පසස්නා ලදී. උන්වහන්සේලා විසින් පිහිටුවන ලද්දේය’යි. ඒ නිසාද දුක් සහිතව ද දොම්නස් රහිතව ද කදුළු වැකි මුහුණින් යුක්තව හඬමින් වුවද බඹසර විසීය. ඒ බඹසර හැර නොගියේය. එහෙයින්,
සැදැහැයෙන් ගිහිගෙය හැරපියා ගොස් පෙරලා ගිහි බවට පැමිණි ඒ මොහු එකැතින්ම කෙලතොල්ලෙකි. චපලයෙකි යන මේ වචනයට පිළිකුල් කරමින් නොකැමැත්තෙන් බඹසර හැසිරෙමි. එතෙකුදු වුවත් පැවිද්ද සාධුන්ගේ වාසය යයි බුද්ධාදි උතුමෝ පසසති. මෙසේ හෙයින් මම පින් කරන්නෙම් වෙමි” මෙය කියන ලදී.
“න කොචි එතං ජානාති” යනු මේ මාගේ අනභිරති චිත්තය, බඹසර විසීමෙහි ඇලීමෙන් තොර සිත මනුෂ්‍ය වූ කිසිවෙක් නො දනිති. කුමක් හෙයින්ද? “අහං හි කස්සමි නාචික්‍ඛිං” මාගේ මනසෙහි, සිතෙහි නොඇල්ම හැසිරෙයි, පවතියි යයි කිසිවෙකුට නො කීමි. එබැවින් මනුෂ්‍ය වූ කිසිවෙක් එය නො දනිති යනුයි.
“සබ්‍රහ්ම චාරි” යනු තවුස් පැවිද්ද කරණ කොටගෙන සමාන ශික්‍ෂා ඇති හෙයින් “සබ්‍රහ්මචාරී” වූ “මණ්ඩබ්බො” යනු මේ නම් ඇති. “සහායො” යනු ගිහිකාලයේ මෙන්ම පැවිදි කාලයේද දැඩි මිත්‍රභාවය නිසා ප්‍රිය සහාය වූ. “මහාඉසී” යනු මහත් ආනුභාව ඇති සෘෂිවරයෙක් “පුබ්බකම්ම සමායුත්තො සූලමාරොපනං ලභි” යනු තමාගේ පූර්‍වකර්‍මයකින් කළ අවසරයෙන් යුක්ත වූයේ සූලාරෝපණය ලැබීය, උල තබනු ලැබීය.
මේ එහි අනුපිළිවෙල කථාවයි. අතීතයෙහි වංසරටෙහි කොසැඹෑ නුවර කොසඹෑ නම් රජෙක් රාජ්‍යය කරවීය. එකල්හි බෝධිසත්ත්‍වයන් වහන්සේ එක්තරා නියම් ගමක අසූ කෝටියක් ධනය ඇති මහාසාර බ්‍රාහ්මණයෙකුගේ පුතා වී උපන්හ. නමින් ‘දීපායන’ නම් විය. එබඳුවූම මහාසාර බ්‍රාහ්මණයෙකුගේ පුත් වූ බ්‍රාහ්මණ කුමාරයෙක් ඔහුගේ ප්‍රිය යහළුවා විය. නමින් “මණ්ඩබ්‍ය” නම් වේ. ඔවුහු දෙදෙනාම මෑත කාලයෙහි මවුපියන්ගේ ඇවෑමෙන් කාමයන්හි දොස් දැක මහදන් පවත්වා කාමයන් අත්හැර ඥාතිමිත්‍රයන් හා පිරිවර ජනයා හඬමින් වැලපෙමින් සිටියදී නික්ම හිමවත් පෙදෙසෙහි අසපුවක් කොට පැවිදිව පිඬු සිඟීමෙන් හා වනමුල්ඵල ආහාරයෙන් යැපෙමින් පනස් වසකට වැඩි කාලයක් විසූහ. එහෙත් කාමච්ඡන්‍දය යටපත් කිරීමට නොහැකිවූහ. ඔවුහු ධ්‍යාන මාත්‍රයක්වත් නොඉපදවූහ.