9. වට්ටපෝතක චරියා වර්ණනාව
312. “පුනාපරං යදාහොමි මගධෙ වට්ටපොතකො
අජාත පක්‍ඛො තරුනො මංසපෙසි කුලාවකෙ
313. “මුඛතුණ්ඩෙනාහරත්‍වා මාතා පොසයති මමං
තස්සා ඵස්සෙන ජීවාමි නත්‍ථි මෙ කායිකං බලං
314. “සංවච්ඡරෙ ගිම්හ සමයෙ දවඩාහො පදිප්පති
උපගච්ඡති අම්හාකං පාවකො කණ්හවත්තනී.
315. “ධම ධම ඉති එවං සදායන්තො මහාසිඛී
අනුපුබ්බෙන ඣාපෙන්තො අග්ගී මම මුපාගමි
316. “අග්ගිවෙගභයා භීතා තසිතා මාතා පිතා මම
කුලාවකෙ මං ඡඩ්ඪෙත්‍වා අත්තානං පරිමොච්යුං
317. “පාදෙ පක්චෙ පජහාමි නත්‍ථි මෙ කායිකං බලං
සොහං අගතිකො තත්‍ථ එවං චින්තෙසහංතදා
318. “යෙසාහං උපධාවෙය්‍යං භීතො තසිතවෙධිතො
තෙ මං ඔහාය පක්කන්තා කථං මෙ අජ්ජ කාතවෙ? (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි (මම) මගධ රට වටුපැටවෙක් වීම් ද ළඳරු වූ, මස් වැදැල්ලක් වැනි වූ නොහටගත් පියාපත් ඇත්තා වූ (මම) කැදැල්ලෙහි (විසීමි)
(මගේ මව) මුව තුඩින් (ගොදුරු) ගෙනවිත් මා පෝෂණය කරයි. ඇගේ (ශරීර) ස්පර්‍ශයෙන් මම ජීවත් වෙමි. මට කාය ශක්තියක් නැත.
අවුරුදු පතා ග්‍රීෂ්ම කාලයෙහි ලැව්ගින්නක් ඇවිලෙයි. පාවක නම් වූ කණ්හ වත්තනී නම්වූ (ඒ ගින්න) අප සමීපයට පැමිණියේය.
මෙසේ ‘ධම’ ‘ධම’ යන අනුකරණ ශබ්ද කරමින් මහත් ගිනිසිළු ඇති ඒ ගින්න (වනය) දවමින් ක්‍රමයෙන් මා වෙත පැමිණියේය.
වේගයෙන් එන්නා වූ ගින්නට භයින් භයපත් වූ තැතිගත්තා වූ මාගේ මවුපියෝ කැදැල්ලෙහි මා හැර දමා ස්වකීය ආත්මභාවය මුදාගත්හ.
මාගේ පා දෙක ද පියාපත් ද දිගුකෙළෙමි. (නමුත්) මට ශාරීරික බලයක් නැත්තේය. යාගත නොහැකි ඒ මම එහිම (හිඳ) එකල්හි මෙසේ සිතුවෙමි.
භයපත් වූ තැතිගැන්මෙන් හා වෙවුලීමෙන් යුක්ත වූ මම යම්කෙනෙකුන් සමීපයට දුවන්නෙම් ද ඔවුහු මා හැරදමා පලාගියෝය. මා විසින් අද කෙසේ පිළිපැදිය යුතු ද?
නවවෙනි (වට්ටපෝතක චරිතයෙහි) “මගධෙ වට්ටපොතකො” යනාදියෙහි මේ කෙටි අර්‍ථයයි. මගධරට එක්තරා වන පෙදෙසක වටු යෝනියෙහි ඉපිද බිජුවට බිඳගෙන නික්ම නොබෝකල් වූ බැවින් ළදරු වූයෙම් මස් වැදැල්ලක් වූයෙම් එහෙයින්ම හටනොගත් පියාපත් ඇත්නෙම් වටු පැටවෙක්ව යම් කලෙක මම කැදැල්ලෙහිම වීම්ද
“මුඛ තුණ්ඩෙනාහරිත්‍වා” යනු මගේ මව තමාගේ මුවතුඩින් කලින් කල ගොදුරු ගෙනවිත් මා පෝෂණය කරයි. “තස්සා ඵස්සෙන ජීවාමි” යනු උණුසුම් කිරීම සඳහා මෙන්ම වර්‍ධනය සඳහාද මනාකොට කලින් කල මාගේ සමීපයෙහි විසීම් වශයෙන් ස්පර්‍ශ කරන්නා වූ මාගේ ඒ මවගේ ශරීර ස්පර්‍ශයෙන් ජීවත් වෙමි. වසමි, ආත්මභාවය පවත්වමි. “නත්‍ථි මෙ කායිකං බලං” යනු මට වනාහි ඉතාමත් ළදරු බැවින් කය ඇසුරු කල ශක්තියක් නොමැත.
“සංවච්ඡරෙ” යනු වසරක් වසරක් පාසා “ගිම්හසමයෙ” යනු ග්‍රීෂ්ම කාලයෙහි වියලි ගස් අතු එකිනෙක ගැටීමෙන් හටගත් ගින්නෙන් එම ප්‍රදේශයෙහි “දවඩාහො පදිප්පති” (ලැව්ගින්නක්) ඇවිලෙයි. එය එසේ ඇවිලුනේ. “උපගච්ඡති අම්හාකං” යනු මගේද මවුපියන්ගේ ද යන අපගේ වාසස්ථානය වූ ප්‍රදේශයට. තමන්ට ආධාර වූ, අශුද්ධ ස්ථාන ශුද්ධ කිරීම් වශයෙන් පවිත්‍ර කරන හෙයින් “පාවක” යයිද තමන් ගිය මාර්‍ගයෙහි ඉන්‍ධනයන් අළු බවට පත්කරන හෙයින් “කණ්හ වත්තනී” යයිද ලැබූ නම් ඇති ගින්න වනරුක් පඳුරු දවමින් කලින් කල එළඹේ.
එකල්හිද එසේ එළඹියේ වෙයි. “සද්දායන්තො” යනු ‘ධම’ ‘ධම’ යයි මෙසේ ශබ්ද කරන්නේ මෙය වනාහි ලැව්ගින්නෙහි අනුරාවය දැක්වීමකි. “මහාසිඛී” යනු පර්‍වතකුට හා සමාන ඉන්‍ධන දැවීම් වශයෙන් මහත් වූ ගිනිසිළු මෙයට ඇත්තේනුයි “මහාසිඛි’ වේ. “අනුපුබ්බෙන” පිළිවෙලින් ඒ වන ප්‍රදේශය “ඣාපෙන්තො” දවමින් ගින්න මගේ සමීපයට පැමිණියේය.
“අග්ගිවෙගභයා” යනු වේගයෙන් එන්නා වූ ගින්නට බියෙන් බියපත්වූ, හටගත් සිතේ තැතිගැන්ම ඇති, ලොමුඩැහැගත් ශරීර ඇති, ත්‍රස්ත වූ මවුපියෝ. “අත්තානං පරිමොචයුං” යනු ගින්නෙන් උපද්‍රව නැති තැනකට යාමෙන් තමාගේ සුවපත් බව ඇතිකර ගත්හ. මහාසත්ත්‍වයෝ වනාහි එකල මහා පන්දුවක් පමණ මහත් වූ ශරීර ඇත්තෝ වූහ. මවුපියෝ ඔහු මොනම ක්‍රමයකින්වත් ගෙන යාමට නොහැකිවන්නාහු ආත්ම ස්නේහයෙන් මඬනා ලද සිත් ඇත්තාහු පුත්‍ර ස්නේහය හැරපියා පලාගියහ.
“පාදෙ පක්‍ඛෙ පජහාමි” යනු තමාගේ පාදෙක සහ පියාපත් දෙකද පොළොවෙහි සහ අහසෙහිද ගමනට සැරසෙමින් දිග හරිමි. ඉරියව් පවත්වමි. උත්සාහ කරමි. “පටිහාමි” යයිද පාඨයකි. අහසෙහි ගමනට යෝග්‍ය කිරීමට උත්සාහ කරමි යන අර්‍ථයයි. “පතීහාමි” යයිද ශබ්ද කරති. එහි අර්‍ථය නම් පාදයන් සහ පියාපත් වෙන වෙනම උත්සාහ කරමි. ගමන සඳහා වෑයම් කරමි. ගමනට වෑයම් කිරීම් අර්‍ථයමය. කුමක් හෙයින්ද? යම්හෙයකින් “නත්‍ථි මෙ කායිකං බලං සොහං අගතිකො තත්‍ථ” යනුවෙන් ඒ මම මෙසේ වූයෙම් පා සහ පියාපත් විකල බැවින් ගමනින් තොරවූයෙම් ද මවුපියන් ඉවත්ව යාමෙන් පිළිසරණ නැත්‌තෙම් ද එහෙයිනි. එහි ලැව්ගින්නෙන් උවදුරට පත් වනයෙහි නැතහොත් එම කැදැල්ලෙහි සිටියේම මෙසේ දැන් කියනු ලබන ආකාරයෙන් එකල්හි සිතුවෙමි. මෙහි දෙවෙනි “අහං” යන පදය නිපාත මාත්‍රයක් බව දතයුතුය.