7. මාතඞ්ග චරියා වර්ණනාව
207. “පුනාපරං යදාහොමි ජටිලො උග්ගතාපනො
මාතඞ්ගො නාම නාමෙන සීලවා සුසමාහිතො” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක්හි මම ජටාධර වූ උග්‍ර තපස් ඇත්තා වූ, ශීල සම්පන්න වූ, මනාකොට සංසිඳුනු සිත් ඇත්තා වූ නමින් මාතඞ්ග නම් වූ තාපසයෙක් වීම් ද”
සත්වෙනි (මාතඞ්ග (පණ්ඩිත) චරිතයෙහි) “ජටිලො” යනු ජටා ඇති, ජටා බඳින ලද කෙස් ඇති යන අර්‍ථයයි. “උග්ගතාපනො” යනු මනස සවැනි කොට ඇති ඉන්‍ද්‍රියයන් තැවීමෙන් ද නිග්‍රහ කිරීමෙන්ද තප සඞ්ඛ්‍යාත උග්‍රතපස් මොහුට ඇත්තේනුයි= “උග්ගතාපනො” වේ. දැඩි තපස් හා සංසිඳුණු ඉන්‍ද්‍රිය ඇති යන අර්‍ථයයි. නැතහොත් නොයෙක් ආකාර වූ දිට්ඨ ධමිමික ආදී ප්‍රභේද ඇති අනර්ථයන් එසවූ හෙයින්ද ඉවත දැමූ හෙයින්ද දරුණු භයජනක, භයානක අර්‍ථයෙන් ‘උග්‍ර’ යයි ලැබූ නම් ඇති ක්ලේශයන් වීර්‍ය්‍යයෙන් හා තපසින් තවන හෙයින් උග්‍රයන් තවානුයි “උග්ගතාපනො” වේ. “මතඞ්ගො නාම නාමෙන” යනු නමින් මාතඞ්ග නමි. මාතඞ්ග කුලයෙහි උපන් හෙයින් මෙය ඔහුට ජාතියෙන් ආවා වූ නමකි. “සීලවා” යනු ශීලයෙන් යුත්, සුපිරිසිදු සිල් ඇති, “සුසමාහිතො” යනු උපචාර අර්පණා සමාධීන්ගෙන් මොනවට සමාහිත වූ, ධ්‍යාන සමාපත්තිලාභී යන අර්‍ථයයි.
එකල්හි වනාහි බෝධිසත්ත්‍වයන් වහන්සේ සැඬොල් කුලයෙහි ඉපිද රූපයෙන් ද අයහපත් පෙනුමක් ඇතිව පිටනුවර සැඬොල් ගමෙහි වසති. මාතඞ්ගපණ්ඩිත යනු පවසන නමයි. ඉක්බිති එක් දවසක් ඒ නගරයෙහි නැකත් කෙළි සඳහා ඝෝෂා කළ කල්හි (දැනුම් දුන් කල්හි) බොහෝසෙයින් නගර වැසියෝ නැකත් කෙළි කෙළිති. සොළොස් හැවිරිදි පසළොස් හැවිරිදි පමණ වූ දේව කන්‍යාවක මෙන් රූපයෙන් දර්‍ශනීය වූ පැහැදීම ඇති කරන එක්තරා බ්‍රාහ්මණ මහාසාර කන්‍යාවක් ද තමාගේ සම්පත් පරිදි නැකැත් කෙළි කෙළින්නෙමි’යි බොහෝ කන බුදින දේ ගැල්වල පුරවාගෙන සම්පූර්‍ණයෙන් සුදු වූ වෙළඹක් යෙදූ රථයට නැගී මහත් පිරිවර සහිතව උයන් බිමට යයි. දිට්ඨමඞ්ගලිකා නම් වූ ඈ විරූප රූපය අවමඞ්ගල යයි සිතා එය දැකීමට කැමති නොවේ. එහෙයින්ම ඇයට “දිට්ඨමඞ්ගලිකා” යන නම ඇති විය.
එදින බෝධිසත්ත්‍වයෝ උදෑසනම නැගිට පටපිළිකඩක් හැඳ දිරාගිය කෙළවර ඇති උණ දණ්ඩක් ගෙන භාජනයක් ගත් අත් ඇතිව මිනිසුන් දැක දුරදීම ඔවුන් ඈත් කිරීම සඳහා ඒ උණ දණ්ඩෙන් සංඥා කරමින් නගරයට පිවිසෙති. ඉක්බිති දිට්ඨමඞ්ගලිකා තොමෝ “උස්සරථ උස්සරථ” (දුරුවවු, දුරුවවු) යනුවෙන් මිනිසුන් ඉවත් කරන තම පුරුෂයන් විසින් රැගෙන යනු ලබන්නී නගර දොරටුව මැද මාතඞ්ග දැක “මොහු කවරෙක්දැයි ඇසූහ. “ආර්‍ය්‍යාවෙනි, මාතඞ්ග චණ්ඩාලයා’ යයි කී කල්හි “මෙවැන්නෙකු දැක ගියවුන්ට වැඩක් නම් කොයින්දැයි යානය නැවැත්වුවාය. මිනිස්සු අපි උයනට ගොස් යම් බොහෝ කන බුදින දේ ලබන්නෙමු. ඒ අපට මාතඞ්ග විසින් අනතුරු කරන ලද්දේය’යි කිපී “සැඬොලා ගනිව්” යයි ගල්කැට වලින් පහර දී සිහිනැති වූ මාතඞ්ග බිම දමා ගියහ.
එතුමා බොහෝ වේලාවකින්ම සිහිලැබ නැගිට “කිම ස්වාමිවරුනි, දොරටුව නම් සියල්ලන්ටම සාධාරණ ද? නැතහොත් බ්‍රාහ්මණයන්ට පමණක් කරන ලද්දේදැයි මිනිසුන්ගෙන් ඇසීය. “සියල්ලන්ටම සාධාරණ” යයි ඔවුහු කීහ. මෙසේ සියල්ලන්ට සාධාරණ වූ දොරටුවෙහි එකත්පසෙක ඉවත්ව සිටි මා දිට්ඨමඞ්ගලිකාවගේ මිනිස්සු මේ මහා විපතට පත් කළහයි වීථියෙහි මිනිසුන්ට දන්වා “ඒකාන්තයෙන් මම මැයගේ මානය බිඳින්නෙමි’යි ඇයගේ නිවස දොරකඩට ගොස් “මම දිට්ඨමඞ්ගලිකාව නොලැබුයේ නම් නොනැගිටින්නෙමි’යි වැදහොත්තේය. දිට්ඨමඞ්ගලිකාවගේ පියාගේ දොරකඩ මාතඞ්ග වැද හොත්තේයයි අසා “ඔහුට තුට්ටුවක් දෙව්, ශරීරයෙහි තෙල් ගල්වාගෙන යේවා’යි කීය. එතුමා දිට්ඨමඞ්ගලිකාව නොලැබ නො නැගිටින්නෙමි’යි කීය. ඉක්බිති බ්‍රාහ්මණයා විසින් “තුට්ටු දෙකක් දෙව්, මස්සක්, පාදයක්, කහවණුවක් කහවණු දෙකක්, කහවණු තුනක්, කහවණු සියයක්, දක්වා කහවණු දහසක් දක්වා දෙව්යයි කීකල්හි ද නො පිළිගත්තේමය. මෙසේ ඔවුන් කථාකරමින් සිටියදීම හිරු අවරට ගියේය.