6. රුරුමිගරාජ චරියා වර්ණනාව
“පුනාපරං යදාහොමි සුතන්තකනක සන්තිභො
මිග රාජා රූරු නාම පරම සීලසමාහිතොති” (චරියා පිටක)
මිග රාජා රූරු නාම පරම සීලසමාහිතොති” (චරියා පිටක)
“නැවත අනික් (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි මම මනාව රත්කරන ලද රත්රන් පැහැ ඇති විසුද්ධ ශීලයෙන් හා සංසුන් සිතින් යුක්ත වූ රූරු නම් වූ මුවරජෙක් වීම් ද’යි
සයවෙනි (රූරු (මිග) රාජ චරිතයෙහි) “සුතත්ත කනක සන්තිභො” යනු යම්සේ මැනවින් ඉවත් වූ සියලු කළුලප වෙයිද මෙසේ ගින්නෙහි දමා මනාව රත් කරන ලද රත්රන් සමාන, “මිගරාජා රූරු නාම” යනු ජාතියෙන් ලැබුණු නම් වශයෙන් රූරු නම්වූ මුවරජ, ජාතියෙන් රූරුය. මුවන්ගේ ද රජයි යන අර්ථයි. “පරමසීලසමාහිතො” යනු උත්තම සීල සමාහිත, පිරිසිදු සිල් ඇත්තේ මෙන්ම සන්සුන් සිත් ඇත්තේ ද, නැතහොත් පිරිසිදු ශීලයෙහි මැනවින් පිහිට වූ සිත් ඇත්තේ යයි මෙසේ මෙහි අර්ථය දතයුතුය.
එකල්හි බෝධිසත්ත්වයෝ රූරු මුව යෝනියෙහි උපන්හ. ඔහුගේ සිරුරෙහි පැහැය, මැනවින් තවා මදින ලද රන්පටක පැහැ බඳු විය. අත් පා ලාකඩ රසයෙන් පිරිකම් කළාක් බඳුය. වල්ගය සෙමර මුවෙකුගේ වල්ගයක් බඳුය. අං රිදී දමක් වැනිය. ඇස් මනාකොට මදින ලද මැණික් ගුළි දෙකක් වැනිය. මුඛය එල්ලා තබන ලද රත් පලස් පන්දුවක් වැනිය. හෙතෙම ජන සංසර්ගය අත්හැර විවේක වාසයෙන් වසනු කැමතිව පිරිවර හැරපියා ගඞ්ගා නැවැත්මක සල් ගසින් මුසු වූ සිත්කළු සුපිපි මල් ඇති වනයක හුදකලාව වසයි. එහෙයින්,
196. “රම්මෙ පදෙසෙ රමණීයෙ විවිත්තෙ අමනුස්සකෙ
තත්ථ වාසං උගඤ්ජිං ගඞ්ගාකුලෙ මනොරමෙති
තත්ථ වාසං උගඤ්ජිං ගඞ්ගාකුලෙ මනොරමෙති
“සිත්කළු වූ, රමණීය වූ, ජනශුන්‍ය වූ මිනිසුන්ගේ හැසිරීමක් නැත්තා වූ ප්‍රදේශයෙහි සිත් අලවන්නා වූ ගං ඉවුරෙහි විසීමට පැමිණියෙමි”යි වදාරණ ලදි.
එහි “රම්මෙ පදෙසෙ” යනු මුතු වැනි වාලුකා සමූහයෙන් සුදු පැහැගත් භූමි භාගයෙන් ද, සිනිදු කොළ පැහැ තණ ඇතුරු වන තලයෙන් ද, විසිතුරු ඇතිරිලි ඇතුරුවාක් බඳු නොයෙක් අයුරින් විසිතුරු වූ ගල්තලාවන්ගෙන් ද මැණික් කඳක් මෙන් නිර්මල වූ ජලය සහිත ජලාශයන්ගෙන් ද සමන්විත වූ හෙයින් ද බොහෝසෙයින් ඉදුගොව් පැහැයෙන් වර්ණවත් වූ සුඛ ස්පර්ශ ඇති තෘණ ජාතියෙන් ගැවසීගත් හෙයින්ද මනහර වූ වන පෙදෙසක. “රමණීයෙ” යනු මල් ගෙඩිදලුවලින් අලංකාර වූද පැතුරුණු අතුවලින් වෙළුනා වූද නානාප්‍රකාර පක්ෂි සමූහයා විසින් නාද කරන්නා වූද නොයෙක් ගස්වැල් වනයන්ගෙන් හොබනා වූද බොහෝසෙයින් අඹ සල් රුක් සමූහයෙන් අලංකාර වූ ද වන ගහනයෙන් යුක්ත වූ හෙයින් ද එහි පිවිසි ජනයාට ඇල්ම ජනිත කිරීම් වශයෙන් රමණීය වූ මෙය රූරු ජාතකයෙහි වදාරණ ලද්දේමය.
“මේ වන ලැහැබෙහි පිපුණු අඹගස් ද සල්ගස් ද ඇත. රතිඳුගොව් පැහැඇති තෘණ ගැවසුණ මේ බිමෙහි ඒ රන්වන් මුවා සිටී” (ජාතක පාලිය)
“විවිත්තෙ” යනු ජනවාසයෙන් තොරබැවින් ශුන්‍ය වූ “අමනුස්සකෙ” යනු එහි හැසිරෙන මිනිසුන් ද නොමැති බැවින් මිනිසුන් රහිත. “මනොරමෙ” යනු ඉහතින් සඳහන් කළ ගුණ සම්පත් නිසාත් විශේෂයෙන් විවේකය කැමති අයගේ සිත් ඇලේනුයි “මනොරමෙ”යි.
“අථ උපරිගඞ්ගාය” යන මෙහි “අථ” යනු අධිකාරාර්ථයෙහි නිපාතයකි. එයින් මා එහි එසේ වසන කල්හි මෙම අතුරු කාර්ය්යය ඇති වී යයි පැවසේ. “උපරිගඞ්ගාය” යනු ගඞ්ගා නදියෙහි උඩ ප්‍රදේශයෙහි “ධනිකෙහි පරිපීළිතො” යනු ණය ගෙන එය ආපසු දීමට නොහැකි වන්නේ ණය හිමියන් විසින් චෝදනා කරනු ලබන්නේ,
බරණැස් නුවරවාසී එක් සිටුවරයෙක් වනාහි තමාගේ පුතා මොහු ශිල්ප ඉගෙන ගන්නේ වෙහෙසට පත්වන්නේය”යි (සිතා) කිසි ශිල්පයක් නූගැන්වීය. ඔහු ගැයුම් වැයුම් නැටුම්, කෑම්, බුදීම් ආදියට වැඩි යමක් නොදත්තේය. වැඩිවියට පත් ඔහු සුදුසු බිරිඳක සමග සම්බන්ධ කොට ධනය පවරා දී මවුපියෝ කළුරිය කළහ. මවුපියන්ගේ ඇවෑමෙන් ඔහු ස්ත්‍රී ධූර්ත, සුරා ධූර්තාදීන් විසින් පිරිවරන ලද්දේ නොයෙක් ආකාරයේ ව්‍යසන මුඛයන්ගෙන් සියලු ධනය විනාශ කොට ඒ ඒ තැනින් ණය ගෙන ඒවා දීමට නොහැකිවන්නේ ධනහිමියන් විසින් චෝදනා කරනු ලබන්නේ “මාගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද ඒ ආත්මභාවයෙන්ම අනෙකෙකු මෙන් වීමි. මට මියයාම වඩා යහපත් යයි සිතා ණය හිමියන්ට “නුඹලාගේ ණය පත් රැගෙන එව්. ගං ඉවුරෙහි තැන්පත් කළ මාගේ කුලසන්තක ධනය ඇත. එය තොපට දෙන්නෙමි’යි කීය. ඔවුහු ඔහු සමග ගියහ. හෙතෙම “ධනය මෙහිය, ධනය මෙතැන යයි” නිදන් කළ තැන් කියන්නක් මෙන් (ගොස්) මෙසේ මාගේ ණයෙන් නිදහස් වීම වන්නේ යයි පලාගොස් ගඟට පැන්නේය. හෙතෙම සැඩ දිය පහරින් ගසා ගෙන යන්නේ බැගෑ හඬින් කෑගැසීය. එහෙයින් “අථ උපරිගඞ්ගාය” ආදිය කියන ලදි.
197 “අථ උපරිගඞ්ගාය ධනිකෙහි පරිපීළිතො
පුරිසො ගඞ්ගාය පපති ජීවාමි වා මරාමි වා
පුරිසො ගඞ්ගාය පපති ජීවාමි වා මරාමි වා
198. “රත්තින්දිවං සො ගඞ්ගාය වුය්හමානො මහොදකෙ
රවන්තො කරුණං රාවං මජ්ඣෙ ගඞ්ගය ගච්ඡති (චරියා පිටක)
රවන්තො කරුණං රාවං මජ්ඣෙ ගඞ්ගය ගච්ඡති (චරියා පිටක)
“ඉක්බිති ණය හිමියන් විසින් පෙළන ලද්දා වූ පුරුෂයෙක් ගඟ ඉහළ පෙදෙසෙහි දී “ජීවත් වෙම්වා හෝ මැරෙම් වා”යි සිතා ගඟට පැන්නේය.
හෙතෙම රෑ දවල් දෙක්හි ගඟෙහි සැඩ පහරින් ගෙන යනු ලබන්නේ බැගෑ හඬින් හඬමින් ගඟ මැද යයි”