4. චූළබෝධි චරියා වර්ණනාව
173. “පුනාපරං යදා හොමි චූලබොධි සුසීලවා
භවං දිස්වාන භයතො නෙක්‍ඛම්මං අභිනික්‍ඛමිං”
174. “යා මෙ දුතියිකා ආසි බ්‍රාහ්මණී කනක සන්නිභා
සාපි වට්ටෙ අනපෙක්‍ඛා නෙක්‍ඛම්මං අභිනික්‍ඛමි”
175. “නිරාලයා ජින්න බන්‍ධු අනපෙක්‍ඛා කුලෙගණෙ
චරන්තා ගාම නිගමං බාරාණසි මුපාගමුං”
176. “තත්‍ථ වසාම නිපකා අසංසට්ඨා කුලෙ ගණෙ
නිරාකුලෙ අප්පසද්දෙ රාජුය්‍යානෙ වසාමුභො” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක මම සොඳුරු සිල් ඇති චූලබෝධි නම් (පරිබ්‍රාජකයෙක්) වීම් ද එකල්හි සංසාරය භය වශයෙන් දැක නෛෂ්ක්‍රම්‍යද (නැණසින් දැක) අභිනිෂ්ක්‍රමණය කෙළෙමි. මාගේ බිරිඳ වූ ස්වර්‍ණයකට බඳු වර්‍ණ ඇති යම් බැමිණියක් වූවාද ඕතොමෝද සසරෙහි අපේක්‍ෂා රහිතව නෛෂ්ක්‍රම්‍යය පිණිස නික්මුණාය.
තෘෂ්ණා රහිත වූ ඤාතීන් කෙරෙහි සිඳින ලද බන්‍ධන ඇති කුලය කෙරෙහි ද සමූහයා කෙරෙහි ද අපේක්‍ෂා රහිත වූ (අප දෙදෙනා) ගම් නියම්ගම්හි හැසිරෙමින් බරණැස් නුවරට එළඹියෙමු. එහි නිරාකුල වූ නිශ්ශබ්ද වූ රජුගේ උයනෙහි අපි දෙදෙනා ප්‍රඥාවෙන් යුක්තව කුලය කෙරෙහි ද සමූහයා කෙරෙහි ද නොඇලුණු සිත් ඇතිව වාසය කළෙමු.
සතරවෙනි (චූලබෝධි චරිතයෙහි) “චූලබොධි” යනු මහාබෝධි පරිබ්‍රාජක ආත්මභාවය අරමුණු කොට මෙහි “චූලබෝධි” යන ව්‍යවහාරය නගන ලදී. මෙම ජාතකයෙහි තමාට වැඩිමහල් සහෝදරාදී කෙනෙක් මහාබෝධි සත්ත්‍වයන්ට නොවූ හෙයින් ඒ බව දත යුතුය. “සුසීලවා” යනු යහපත් සිල් ඇත්තා, ශීලයෙන් යුක්ත වූ යන අර්‍ථයයි, “භවං දිස්වාන භයතො” යනු කාමාදිභවය බිය විය යුතු බවෙන් දැක, “නෙක්‍ඛම්මං” යනු මෙහි ‘ච’ ශබ්දයෙහි ලෝපය දතයුතුය. එහෙයින් “දිස්වාන” යන පදය සම්බන්‍ධ කරනු ලැබේ. මෙය කියන ලද්දේ වෙයි. ජාති ජරා ව්‍යාධි, මරණ අපාදුක, අතීතයෙහි සංසාරික දුක, අනාගතයෙහි සාංසාරික දුක, වර්‍තමානයෙහි ආහාර සෙවීම ආදිකොටගත් දුක යන මේ සංවේග වස්තූන් අට ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් සියලු කාමාදි ප්‍රභේද ඇති භවය සංසාර භය වශයෙන් වටහා ගනිමින් දැක නිර්‍වාණය ද, එයට උපාය වූ සමථ විදර්‍ශනා ද, එය උපාය වූ පැවිද්ද ද යන මේ ත්‍රිවිධ නෛෂ්ක්‍රම්‍යය අනුශ්‍රව ආදියෙන් සිද්ධ වූ නැණසින් එයට ප්‍රතිපක්‍ෂ වශයෙන් දැක නොයෙක් ආදීනවයන්ගෙන් ආකූල වූ ගිහිභාවයෙන් නික්ම තාපස පැවිද්ද අරමුණු කොට ගියේ ය’යි
“දුතියිකා” යනු පැරණි බිරිඳ, ගිහිකල බිරිඳ වූ තැනැත්තිය, “කනකසන්නිභා” යනු රන් සමාන සමක් ඇති, “වට්ටෙ අනපෙක්‍ඛා” යනු සංසාරයෙහි ඇලීමක් නැති, “නෙක්‍ඛම්මං අභිනික්‍ඛමි” යනු නෛෂ්ක්‍රම්‍ය පිණිස ගෙයින් නික්මුණි. ‘පැවිදිවිය’ යන අර්‍ථයයි.
මෙය කරණකොටගෙන සත්ත්‍වයෝ ඇලෙති’යි ආලය වේ. තණ්හාවයි. එය නොමැති බැවින් “නිරාලයා” වේ. එයින්ම ඤාතීන් කෙරෙහි වූ තෘෂ්ණා බන්‍ධනය සින්ද හෙයින් “ඡින්නබන්‍ධු” වේ. මෙසේ ගිහි බන්‍ධනයන්ගේ අභාවය දක්වා දැන් පැවිද්දන්ට ද යම්කිසි බන්‍ධනයක් වේනම් එය ද නොමැති බව දැක්වීමට “අනපෙක්‍ඛා කුලෙ ගණෙ” යයි කියන ලදී. එහි ‘කුලෙ’ යනු උපස්ථාන කුලයෙහි, “ගණෙ” යනු තාපස සමූහයෙහි, සෙසු බ්‍රහ්මචාරීහු’යි කියනු ලැබෙති. “උපාගමුං” යනු අපි දෙදෙනාම එළඹියෙමු.
“තත්‍ථ” යනු බරණැස සමීපයේ, “නිපකා” යනු ප්‍රඥාවන්තයෝ “නිරාකුලෙ” යනු ජනයාගේ ගැවසීමක් නැති බැවින් ජනයාගෙන් නිරාකුල වූ, “අප්පසද්දෙ” යනු මෘගපක්‍ෂීන්ට උවටැන් කරන හෙයින් ඔවුන් නාද කරන හඬින්ද තොරබැවින් අල්පශබ්ද වූ. “රාජුය්‍යානෙ වසාමුභො” යනු බරණැස් රජුගේ උයනෙහි අපි දෙදෙනා එකල්හි වසමු.
එහි මේ අනුපිළිවෙල කථාවයි:- අතීතයේ මේ භද්‍ර කල්පයෙහිම බෝධිසත්ත්‍වයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයෙන් චුතව එක්තරා කසීගමක එක් මහත් සම්පත් ඇති බ්‍රාහ්මණයෙකුට පුතා වී උපන්හ. ඔහුට නම් තබන දිනයෙහි “බෝධි කුමාර” යයි නම් කළහ. වැඩිවියට පත් කල්හි තක්‍ෂලාවට ගොස් ශිල්ප ඉගෙන ආපසු පැමිණි කල මවුපියෝ අකමැති වූම ඔහුට සමජාතික වූ කුලකුමාරියක ගෙනාවාහුය. ඕද බ්‍රහ්ම ලෝකයෙන් චුත වූවා දෙවඟනක් බඳු උතුම් රූ ඇත්තීය. ඔවුන් නොකැමැත්තෙන්ම ඔවුනොවුන් ආවාහ විවාහ කළහ. ඔවුන් දෙදෙනා අතරම ක්ලේශ සමුදාචාරයක් නොවූවිරූය. රාගසහිතව ඔවුනොවුන් දෙස බැලීම් පමණකුදු නොවීය. සෙසු සංසර්‍ගයන් ගැන කියනුම කවරේද? මෙසේ පිරිසිදු සිල් ඇත්තෝ වූහ.
පසුකාලයෙහි මහාසත්ත්‍වයෝ මවුපියන් කළුරිය කළ පසු ඔවුන්ගේ ශරීර කෘත්‍යය කොට භාර්යාව කැඳවා “සොඳුර, නුඹ මේ අසූ කෝටියක් වූ ධනය ගෙන සුවසේ ජීවත් වෙව”යි කීහ. ආර්‍ය්‍ය පුත්‍රය. නුඹ වහන්සේ කුමක් කරන්නෙහිද? “මට ධනයෙන් වැඩක් නැත. පැවිදි වන්නෙමි”යි කීහ. කිම පැවිද්ද ස්ත්‍රීන්ට නොවටනේද? “සොඳුර වටී” “එසේනම් මට ද ධනයෙන් වැඩක් නැත. මම ද පැවිදි වන්නෙමි’යි, ඒ දෙදෙනාම සියලු සම්පත් පරිත්‍යාග කොට මහදන් දී නික්ම වනයට පිවිස පැවිදි වී පිඬු පිණිස හැසිරීමෙන් හා ඵලාඵලවලින් යැපෙන්නාහු පැවිදි සැපයෙන්ම දස වසරක් වාසය කොට ලුණු ඇඹුල් සෙවීම පිණිස ජනපද චාරිකාවෙහි හැසිරෙන්නාහු පිළිවෙළින් බරණැසට ගොස් රජ උයනෙහි විසූහ. එහෙයින් “රාජුය්‍යානෙ වසාමුභො”යි කියන ලදී,