3. චම්පෙය්‍යානාග චරියා වර්ණනාව
167. “පුනාපරං යදාහොමි චම්පෙය්‍යකො මහිද්ධිකො
තදාපි ධම්මි කො ආසිං සීලබ්බත සමප්පිතො”
“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක්හි මම මහත් සෘද්ධි ඇති චම්පෙය්‍යක නම් (නාගරාජයෙක්) වීම් ද එකල්හිද ශීලයෙන් හා ව්‍රතයෙන් යුක්ත වූ ධාර්මිකයෙක් වීමි.”
තුන්වෙනි (චම්පෙය්‍යක චරිතයෙහි) “චම්පෙය්‍යකො” යනු අඞ්ග මගධ රටවල් අතර චම්පා නම් ගඟක් ඇත, එහි යට පිහිටි නාගභවන ද (ගඟට) නුදුරෙන් පිහිටි හෙයින් චම්පා නමි. එහි උපන් නාරජු “චම්පෙය්‍යකය”, “තදාපි ධම්මිකො ආසිං” යනු ඒ චම්පෙය්‍ය නාග රාජ කාලයේ ද මම ධර්‍මයෙහි හැසිරෙන්නෙක් වීමි,
බෝධිසත්ත්‍වයන් වහන්සේ වනාහි එකල්හි චම්පා නාග භවනෙහි ඉපිද චම්පෙය්‍ය නම් මහත් සෘද්ධි ඇති මහානුභාවසම්පන්න නා රජෙක් විය. හෙතෙම එහි නාගරාජ්‍යය කරවන්නේ දෙව්රජ සිරිසම්පත් වැනි ඉසුරු සම්පත් අනුභව කරන්නේ පාරමී පිරීමට අවකාශ නොමැති බැවින් “මට මේ තිරිසන් යෝනියෙන් කවර ප්‍රයෝජනයක් ද? පෙහෙවස් වැස මෙයින් මිදී මැනවින් පාරමිතා පුරන්නෙමි”යි එතැන් පටන් තමන්ගේ ප්‍රාසාදයෙහිම හිද පෙහෙවස් රකියි. අලංකාර ලෙස සැරසුන නාගමානවිකාවෝ එතුමා සමීපයට පැමිණෙති. හෙතෙම මෙහි මාගේ ශීලයට අනතුරක් වන්නේ ය”යි ප්‍රාසාදයෙන් නික්ම උයනෙහි හිඳියි. එතනට ද ඒ නාග මානවිකාවෝ පැමිණෙති. එතුමා මෙහි මාගේ ශීලය කිලිටිවන්නේය. මේ නාග භවනයෙන් නික්ම මිනිස් ලොවට ගොස් පෙහෙවස් වසමි’යි මෙසේ සිතීය. හෙතෙම එතැන් පටන් උපෝසථ දිනයන්හි නාග භවනෙන් නික්ම එක් පසල් ගමකට නුදුරෙහි මාවතක් සමීපයෙහි තුඹසක් මත මාගේ සම් ආදියෙන් ප්‍රයෝජනයක් ඇත්තේ සම් ආදිය ගනිත්වා. ක්‍රීඩා සර්‍පයකු හෝ කරනු කැමැත්තෝ ක්‍රීඩා සර්‍පයකු කරත්වා”යි ශරීරය දාන මුඛයෙහි හැර පියා දරණ බැඳ වැදහොත්තේ තුදුස්වක පසළොස්වක දිනයන්හි පෙහෙවස් වසයි. පෑලවිය දිනයෙහි නාග භවනට යයි. මෙසේ පෙහෙවස් රකින එතුමන්ට බොහෝකාලයක් ඉක්ම ගියේය.
ඉක්බිති බෝධිසත්ත්‍වයන් වහන්සේ සුමනා නම් තම අගමෙහෙසිය විසින් “දේවයන් වහන්ස, නුඹවහන්සේ මිනිස් ලොවට ගොස් පෙහෙවස් රකින්නහුය, එය වනාහි සැක සහිතය. භය සහිතය”යි කියන ලද්දාහු මඟුල් පොකුණු තෙර සිට “සොඳුර ඉදින් කිසිවෙක් මට පහරදී වෙහෙස කරන්නේ නම් පොකුණෙහි ජලය කැලඹෙන්නේය. ඉදින් ගුරුළෙක් අල්ලාගත්තේනම් දිය කැකෑරෙන්නේය. ඉදින් අහිගුණ්ඨිකයෙක් අල්ලා ගත්තේනම් ජලය ලේපාට වන්නේය”යි නිමිති තුනක් ඇයට කියා තුදුස්වක් පේවස අදිටන් කොට නාග භවනයෙන් නික්ම එහි ගොස් ශරීර සෝභාවෙන් තුඹස හොබවමින් තුඹස මත වැදහොත්තාහුය. එතුමන්ගේ ශරීරය රිදී දමක් මෙන් සුදු පාට විය. හිස රතු කම්බිලි පන්දුවක් වැනිය. ශරීරය නගුලිසක් පමණය. භූරිදත්ත කාලයෙහි වනාහි කලවයක් පමණය, සඞ්ඛපාල කාලයෙහි එක් ඔරුවක් ඇති නැවක් පමණය.
එකල්හි බරණැස එක් මාණවකයෙක් තක්‍ෂලාවට ගොස් ආලම්බායන මන්ත්‍රය ඉගෙන ඒ මාර්‍ගයෙන් තම ගමට යන්නේ මහාසත්ත්‍වයන් දැක “හිස් අතින් ගමට යාමෙන් මට කවර ප්‍රයෝජනයක්ද? මේ නාගයා අල්ලාගෙන ගම් නියම්ගම් රාජධානිවල ක්‍රීඩා කරවන්නේ ධනය උපයාගෙනම යන්නෙමි”යි සිතා දිව්‍ය ඖෂධ ගෙන දිව්‍ය මන්ත්‍රය පිරිවහා ඔහුගේ සමීපයට ගියේය. දිව්‍යමන්ත්‍රය ඇසූකල පටන් මහාසත්ත්‍වයන්ගේ කන්වල රත් යහුල් ප්‍රවේශ කරන කලක් මෙන් විය. හිස්මුදුන යකුලකින් පහරණ කලක් මෙන් විය. හෙතෙම මේ කවරෙක් දෝහෝයි දරණ වැළ අතරින් හිස ඔසවා බලන්නේ අහිගුණ්ඨිකයා දැක මගේ විස උග්‍ර තේජස් සහිතය. ඉදින් මම කිපී නාසා වාතයක් පිටකරන්නේ නම් මොහුගේ ශරීරය බොල් වී මිටක් මෙන් විසිරෙන්නේය. එසේම මාගේ ශීලයද කඩ වන්නේය. එබැවින් ඔහු දෙස නො බලන්නෙමි’යි සිතීය. හෙතෙම ඇස් වසාගෙන හිස දරණ අතර තැබීය. අහිගුණ්ඨික බ්‍රාහ්මණයා ඖෂධ අනුභව කොට මන්ත්‍රය ජප කොට කෙළ මහාසත්ත්‍වයන්ගේ ශරීරයට දැමීය. බෙහෙත්වලද මන්ත්‍රයේ ද ආනුභාවයෙන් කෙළ ගැටුණ ගැටුණ තැන්වල ගඩු නැගි කලක් මෙන් විය.
ඉක්බිති ඔහු නගුටින් ගෙන ඇද බිම දිගට හොවා එළුකුරකට බඳු දණ්ඩෙන් පෙළා දුර්‍වල කොට හිස දැඩිව පෙළීය. මහාසත්ත්‍වයෝ මුව විවර කළහ. ඉක්බිති එතුමන්ගේ කටට කෙළ ගසා බෙහෙත් හා මන්ත්‍ර බලයෙන් දත් බින්දේය. මුව රුධිරයෙන් පිරුණි. මහාසත්ත්‍වයෝ තමාගේ ශීලය බිඳෙයි යන බියෙන් මෙබඳු වූ දුකක් ඉවසමින් ඇස් ඇර බැලීමක් පමණවත් නො කළහ. හෙතෙමේ ද නාගරාජයා දුර්‍වල කරන්නෙමි’යි නගුටේ සිට ඇට කුඩු කරන්නාක් මෙන් සියලු ශරීරය මැඩ පිළිවෙලන්නාක් මෙන් වෙළීය. දුනුදිය මඩින්නාක් මෙන් මැඩීය. නගුටින් ගෙන රෙදි අපුල්ලන්නාක් මෙන් ඇපිල්ලීය. මහාසත්ත්‍වයන්ගේ සියලු ශරීරය ලෙයින් තවරණ ලද්දේ විය. මහත් වේදනාව ඉවසූහ.
ඉක්බිති එතුමන් දුර්‍වලකොට වැල්වලින් පෙට්ටියක් කොට එහි එතුමන් දමා පසල්ගමකට ගෙන ගොස් මහජනයා මැද ක්‍රීඩා කරවීය. නිල් ආදී වර්‍ණයන් අතුරෙන් වට සතරැස් ආදී සටහන් අතුරෙන් ද කුඩා මහත් ආදී ප්‍රමාණයන් අතුරෙන්ද බ්‍රාහ්මණයා යමක් යමක් කැමති වෙයිද මහාසත්ත්‍වයෝ ඒ ඒ දෙයම කොට නටති. පෙණ සියයක් ද පෙණ දහසක් ද කරත්මය. මහජනයා පැහැදි බොහෝ ධනය දුන්නේය. එක් දිනයකදීම කහවණු දහසක් ද දහසක් වටිනා පිරිකරද ලැබුණි. බ්‍රාහ්මණයා මුලදීම දහසක් ලැබ මුදා හරින්නෙමි’යි සිතීය. ඒ ධනය ලැබ “මා විසින් පසල්ගමකදී මෙපමණ ධනය ලැබුවෙමි. රාජරාජ මහාමාත්‍යාදීන්ට දැක්වූ කල්හි වනාහි බොහෝ ධනය ලබන්නෙමියි කරත්තයක්ද සැප යානාවක් ද ගෙන ගැලෙහි පිරිකර තබා සැප යානයෙහි හුන්නේ මහත් පිරිවරින් මහාසත්ත්‍වයන් ගම් නියම් රාජධානිවල ක්‍රීඩා කරවමින් බරණැස උග්ගසේන රජුගේ (සමීපයෙහි) ක්‍රීඩා කරවා මුදා හරින්නෙමි’යි ගියේය. හෙතෙම මැඬියන් මරා නාරජුට දෙයි. නා රජ නැවත නැවත මා නිසා මරන්නේය’යි නොකයි. ඉක්බිති නාගයාට විළඳ හා මීපැණි දුන්නේය. ඒවාද ඉදින් මම ගොදුරු ගන්නෙම් නම් පෙට්ටිය ඇතුලේම මරණය වන්නේයයි නොකයි.