2. භූරිදත්ත චරියා වර්ණනාව
දෙවෙනි (භූරිදත්ත චරියාවෙහි)
158. “පුනාපරං යදාහොමි භූරිදත්තො මහිද්ධිකො”
විරූපක්‍ඛෙ න මහාරඤ්ඤා දෙවලොක මගච්ඡහං” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක්හි මම මහත් ඍද්ධියෙන් යුක්ත වූ භූරිදත්ත නම් (නාග රාජයෙක්) වීම් ද විරූපාක්‍ෂ නම් මහ රජු සමග මම දෙව්ලොවට ගියෙමි.”
එහි “භූරිදත්තො” යනු පෘථිවිය සමාන දත්ත, “දත්ත” යනු එකල්හි බෝධිසත්ත්‍වයන්ට දෙමව්පියන් විසින් කළ නමයි. යම්හෙයකින් මෙතුමා විරූපාක්‍ෂ මහරජුගේ භවන වූ නාග භවනයෙහි ද තව්තිසා භවනයෙහි ද උපන්නා වූ ප්‍රශ්නයන් මැනවින් විසඳන ලද්දේ ද (එබැවින් භූරිදත්ත නම් විය) එක් දිනක් විරූපක්‍ෂ නා රජු නාගපිරිස සමග තිදස (තව්තිසා) පුරයට ගොස් සක්දෙව් රජ පිරිවරා හුන් කල්හි දෙවියන් අතර ප්‍රශ්නයක් උපන්නේය. එම ප්‍රශ්නය විසඳන්නට කිසිවෙක් සමර්ථ නොවීය. සක්දෙව් රජු විසින් අනුදන්නා ලද මහාසත්ත්‍වයෝම උතුම් පර්‍ය්‍යඞ්කයෙහි වැඩ හිඳ එය විසඳූහ. ඉක්බිති සක්දෙව් රජ උන්වහන්සේ දිවගඳ මලින් පුදා “දත්තයෙනි. නුම පොළොව සමාන මහත් වූ ප්‍රඥාවෙන් යුක්තය. මෙතැන් පටන් “භූරිදත්ත” නම් වේ යයි කීය. ‘භූරි’ යනු පෘථිවියට නමකි. එහෙයින් පොළොවට සම වූ අර්‍ථයෙහි ඇලේනුයි. භුරිසඞ්ඛ්‍යාත මහත් ප්‍රඥාවෙන් යුක්ත වන හෙයින් මහාසත්ත්‍වයෝ භූරිදත්ත, භූරිදත්ත යයි ප්‍රකට වූහ. මහත් වූ නාග ඍද්ධියෙන් යුක්ත වූ බැවින් “මහිද්ධිකො” ද වේ.
අතීතයෙහි මේ කල්පයෙහිම බරණැස් රජුගේ පුතා පියා විසින් රටින් නෙරපන ලද්දේ වනයෙහි වසන්නේ එක්තරා නාග මානවිකාවක සමග සංවාස කළේය. ඔවුන්ගේ සංවාසය කරණ කොට ගෙන පුතෙක් හා දුවක් වශයෙන් දරු දෙදෙනෙක් උපන්හ. පුතාට “සාගර බ්‍රහ්මදත්ත” යයි ද දියණියට “සමුද්‍රජා” යයි ද නම් කළහ. රාජ කුමාරයා පසුකාලයක පියාගේ ඇවෑමෙන් බරණැසට ගොස් රාජ්‍යය කරවීය. ඉක්බිති ධෘතරාෂ්ට්‍ර නම් නා රජ පන්සියයක් යොදුන් ඇති නාග භවනයෙහි නාගරාජ්‍යය කරවන්නේ මුසාවාදී චිත්තසූල නම් කැස්බෙකු විසින් “බරණැස් රජතුමා තම දියණිය නුඹවහන්සේට දෙනු කැමතිය. ඒ සමුද්‍රජා නම් රාජ දියණිය විශිෂ්ට රූ ඇත්තීය. දැකුම් කටයුත්තීය. පැහැදීම් ගෙන දෙන්නීය”යි කී කථාව අසා ධෘතරාෂ්ට්‍ර රජ නාගමානවකයන් සතර දෙනෙකු යවා (දියණිය) දීමට අකමැති රජු නාගභිංසනයෙන් භය ගන්වා “දෙමි”යි කීකල මහත් සත්කාර යවා මහත් නාග ඍද්ධියෙන් මහත් පිරිවරින් ඔහුගේ දුව නාග භවනයට පමුණුවා අගමෙහෙසිය තනතුරෙහි තැබීය.
ඕතොමෝ පසුකාලයෙහි ධෘතරාෂ්ට්‍ර රජු නිසා සුදර්‍ශන, දත්ත, සුභෝග, අරිට්ඨ යයි පුතුන් සතර දෙනෙකු ලැබූහ. ඔවුන් අතරින් දත්ත නම් අප බෝධිසත්ත්‍වයෝය. හෙතෙම පෙර කියූ අයුරින්ම (ප්‍රශ්න විසඳීමෙන්) සතුටු වූ සිත් ඇති සක්දෙව් රජ විසින් ‘භූරිදත්ත’ යයි තැබූ නම් ඇති බැවින් ‘භූරිදත්ත’ නමින්ම ප්‍රකට විය. ඉක්බිති ඔවුන්ගේ පිය මහරජ යොදුන් සියය සියය බැගින් රාජ්‍යය බෙදා දුන්නේය. මහත් වූ යසස් ඇති විය. සොළොස් දහසක් සොළොස් දහසක් පමණ නාගකන්‍යාවෝ පිරිවැරූහ. පිය රජුට ද යොදුන් එක් සියයක් පමණ වූ රාජ්‍යයක් විය. පුත්තු තිදෙනෙක් මසක් පාසා මව්පියන් බැලීමට එති. බෝධිසත්ත්‍වයෝ වනාහි අඩමසකට වරක් එති.
බෝසතාණෝ එක් දිනක් විරූපාක්‍ෂ මහරජු සමග සක්දෙව් රජුට උපස්ථානයට ගියාහු වෛජයන්ත ප්‍රාසාදය, සුධර්‍මා දේව සභාව, පරසතු රුකය, කොබෝලීලය, පාණ්ඩුකම්බල ශිලාසනය, දිව්‍ය අප්සරාවන් පිරිවැරූ අති මනෝහර ශක්‍ර සම්පත් දැක -“නාගාත්මභාවයෙහි සිටියෙකු හට මේ දෙව්ලොව සම්පත් මෙපමණකුදු දුර්ලභය. සම්මා සම්බෝධිය කොයින්දැයි නාගාත්මභාවය පිළිකුල් කොට නාගභවනට ගොස් පෙහෙවස් වැස “ශීලයම දැඩිකොට සමාදන් වන්නෙමි. එය බෝධිය මෝරවන ධර්‍මයක් වන්නේය. මේ දිව්‍ය ලෝකයෙහි ඉපදීමට ද කාරණයක් වන්නේ යයි.” සිතා නාගභවනට ගොස් “මෑණියනි, පියාණනි, මම පෙහෙවස් රකිනු කැමැත්තෙමි’යි කීහ. ඔවුන් විසින් “මෙහිම පෙහෙවස් වසව, නාග භවනයෙන් පිටත ගියා වූ නාගයන්ට මහත් භය උපදනේ ය”යි කී කල්හි එක්වරක් එසේ කොට නාග කන්‍යාවන් විසින් කරන ලද උපද්‍රව ඇත්තේ දෙවනවර මව්පියන්ට නො දන්වා තම බිරිඳ අමතා “සොඳුර මම මනුෂ්‍ය ලෝකයට ගොස් යමුනා නම් ගංතෙර මහා නුග ගසක් ඇත. එයට නුදුරෙන් තුඹසක් මත දරණ ලාගෙන චතුරංග සමන්නාගත උපෝසථය අධිෂ්ඨාන කොට වැදහෙව පෙහෙවස් රකිමි”යි කියා නාග භවනයෙන් නික්ම එසේ කරති. එහෙයින් “විරූපක්‍ඛෙන මහාරඤ්ඥා දෙවලොකමගඤ්ඡහං” ආදිය කියන ලදී.
159. තත්‍ථ පස්සිං ත්‍වහං දෙවෙ එකන්තං සුඛසමප්පිතෙ
තං සග්ගං ගමනත්‍ථාය සීලබ්බ තං සමාදියිං
160. “සරීර කිච්චං කත්‍වාන භූත්‍වා යාපන මත්‍ථකං
චතුරො අඞ්ගෙ අධිට්ඨාය සෙමි වම්මික මුද්ධනි
161. ඡවියා චම්මෙ න මංසෙන නහාරුඅට්ඨි කෙහිවා
යස එතෙන කරණීයං දින්නං යෙව හරතු සො (චරියා පිටක)
“එහි ඒකාන්ත සැපයෙන් යුක්ත වූ දෙවියන් ද මම දුටුවෙමි. ඒ දිව්‍ය ලෝකයට යෑම පිණිස ශීල සඞ්ඛ්‍යාත ව්‍රතය සමාදන් වීමි.”
ශරීර කෘත්‍ය කොට යැපෙන පමණ ආහාරයක් අනුභවකොට අඞ්ග හතරක් ඉටාගෙන තුඹස මුදුනෙහි සයනය කළෙමි. (මගේ) සිවියෙන් හා සමින් හෝ මසින් හෝ නහර හෝ ඇටවලින් හෝ යන මෙයින් යමෙකුට කටයුත්තක් වේද (ඒ ඔහුට) දෙන ලද්දේමය. හෙතෙම එය ගෙනයේවා”
එහි “විරූපක්‍ඛෙන මහා රඤ්ඤ” යනු විරූපාක්‍ෂ නම් වූ නාගාධිපති මහ රජු විසින්, “දෙවලොකං” යනු තව්තිසා දෙව්ලොවට, “අගඤ්ඡහං” යනු ගියෙමි. එළඹියෙමි මම,
“තත්‍ථ” යනු එම දේව ලෝකයෙහි, “පස්සත්‍වහං” යනු දුටුවෙමි මම, “තු” ශබ්දය නිපාතමාත්‍රයකි, “එකන්තං සුඛ සමප්පිතෙ” යනු ඒකාන්තයෙන් අතිශයෙන්ම සැපයෙන් යුක්ත වූ, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. “මහණෙනි, ඡඵස්සායතනික නම් වූ ස්ර්‍වගයෝ වෙති. මහණෙනි, මෙම ස්වර්‍ගයෝ සැප සහිත බැවින් ආඛ්‍යානයෙන් (කථා කීමෙන්) පමණක් එහි පැමිණීමට පහසු නොවේ” යයි. “තං සග්ගගමනත්‍ථාය” යනු ඒ ඒ ස්වර්‍ගයෙහි ඉපදීම් වශයෙන් යාම සඳහා, “සීලබ්බතං” යනු ශීල සඞ්ඛ්‍යාත ව්‍රතය, නැතහොත් “සීලබ්බතං” යනු උපෝෂථ ශීලය මෙන්ම මගේ සම, සමෙන් ප්‍රයෝජන ඇත්තෝ ගෙන යත්වා”යි ආදී වශයෙන් තමාගේ ශරීරාවයව පරිත්‍යාග සමාදාන සඞ්ඛ්‍යාත ව්‍රතය ද,
“සරීරකිච්චං” යනු මුහුණ සේදීම් ආදී ශරීරය පිළිදැගුම් කිරීම, “කත්‍වාන යාපනමත්තකං” යනු ඉන්‍ද්‍රියයන් නොවෙනස්ව පවත්වා ගැනීමට ශරීරයේ පැවැත්මට ප්‍රමාණවත් ආහාර ගෙන, “චතුරො අඞ්ගෙ” යනු සතර අඞ්ගයන්, “අධිට්ඨාය” යනු අධිෂ්ඨාන කොට, “සෙමි” යනු නිදමි,