10. සඞ්ඛපාල චරියා වර්ණනාව
232. “පුනාපරං යදාහොමි සඞ්ඛපාලො මහිද්ධිකො
දාඨාවුධො ඝොරවිසො ද්විජිව්හො උරගාධිභු
233. “චතුප්පථෙ මහාමග්ගෙ නා නා ජන සමාකුලෙ
චතුරො අඞ්ගෙ අධිට්ඨාය තත්‍ථ වාසමකප්පයිං” (චරියා පිටක)
“නැවත අනික් (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි මහත් ඍද්ධි ඇත්තා වූ දළ ආයුධ කොට ඇති, ඝෝර වූ විෂ ඇති, දිව් දෙකක් ඇති, නාගයන්ට අධිපති වූ සඞ්ඛපාල නම් (නා රජු) වීම් ද නොයෙක් දෙනාගෙන් ගැවසීගත් මහාමාර්‍ගයෙහි සතර මංසන්‍ධිය සමීපයෙහි එහි (තුඹස මත) චතුර්විධ අඞ්ගයන් අධිෂ්ඨාන කොට වාසය කෙළෙමි.
දසවෙනි (සඞ්ඛපාල චරිතයෙහි) “සඞ්ඛපාලො” යනාදියෙහි මේ කෙටි අර්‍ථයයි. දිව්‍ය භෝග සම්පත් සමාන මහත් නාග ඍද්ධියෙන් යුක්ත බැවින් “මහිද්ධිකො” වේ. යට දෙකක් ද උඩ දෙකක් ද වශයෙන් දළ ආයුධ හතරක් මොහුට ඇත්තේහුයි. “දාඨාවුධො” වේ. ඝෝර වූ විෂ ඇති බැවින් “ඝොරවිසො” වේ. නාගයෝනියෙහි ලැබුනු දිව් දෙකකින් යුක්ත බැවින් “ද්විජිව්හො” වේ. උරයෙන් යන බැවින් “උරග” යයි ලැබූ නම් ඇති මහානුභාව ඇති නාගයන්ට අධිපති බැවින් “උරගාධිභූ” වේ.
දෙමගක් විනිවිද සන්‍ධි ස්වභාවයෙන් ගිය ස්ථානය “චතුප්පථෙ” වේ. මහජනයාට එහෙ මෙහෙ හැසිරීමට ස්ථානවූයේ “මහාපථෙ” වේ. මහජනයාගෙන් ගැවසීගත් බැවින් ඒ මහාපථයම “නානාජන සමාකුලෙ” වේ. දැන් කියනු ලබන අඞ්ග හතර වශයෙන් “චතුරො අඞ්ගෙ” වේ. “අධිට්ඨාය” අධිෂ්ඨානකොට, සිතෙහි තබා, යම් දිනෙක මම සඞ්ඛපාල නම් වූ කියන ලද ආකාරයේ නාගරාජයෙක් වීම්ද, එදින යට කියන ලද ආකාරයේ ස්ථානයක “වාසං” පෙහෙවස් විසීම් වශයෙන් වාසය “අකප්පයිං” කෙළෙමි.
මහාසත්ත්‍වයෝ වනාහි දානශීලාදී පුණ්‍ය කර්‍මයන්හි නිරත වී බෝධි පර්‍ය්‍යෙෂණ වශයෙන් ඔබනොබ දෙව් මිනිස් දෙගතියෙහි හැසිරෙන්නාහු කිසිකලෙක දිව්‍ය සම්පත් සමාන සැප ඇති නාග භවනයෙහි ඉපිද මහත් සෘද්ධි ඇති මහානුභාව සම්පන්න සඞ්ඛපාල නම් නා රජ වූහ. හෙතෙම කලක් යනවිට එම සම්පත්තියෙහි විපිළිසර වී මනුෂ්‍ය ආත්මභාවය ප්‍රාර්ථනා කරමින් පෙහෙවස් විසීය. ඉක්බිති නාගභවනයෙහි වසන එතුමන්ගේ පෙහෙවස් විසීම සිද්ධ නොවේ. ශීලය කිළිටිවන්නේය. එබැවින් ඔහු නාග භවනයෙන් නික්ම “කණ්හවණ්ණ” නම් නදියට නුදුරෙහි මහාමාර්‍ගයට හා එක් පදික මාර්‍ගයට අතර පිහිටි එක් තුඹසක් දරණින් වෙලා පෙහෙවස් ඉටාගෙන තුදුස්වක් පසළොස්වක දිනයන්හි සමාදන් වූ සිල් ඇත්තේ මාගේ සම් ආදියෙන් ප්‍රයෝජන ඇත්තෝ ගනිත්වායි තම ශරිරය දාන මුඛයෙහි පරිත්‍යාග කොට වැදහොවීය. පෑළවිය දිනයෙහි නාග භවනට යති. එහෙයින් “පුනාපරං යදාහොමි සඞ්ඛපාලො”යි යනාදිය වදාරණ ලදී. එහි අර්‍ථය කියන ලද්දේය.
234. “ඡවියා චම්මෙන මංසෙන, නහාරු අට්ඨිකෙහි වා
යස්ස එතෙන කරණීයං දින්නං යෙව හරාතු සො”
“සිවියෙන් හෝ සමෙන් හෝ මස් වලින් හෝ නහරවලින් හෝ යමෙකුට ප්‍රයෝජනයක් ඇත්නම් ඒවා දෙන ලද්දේමය. ප්‍රයෝජන ඇති තැනැත්තා ඒවා ගෙනයාවා.”
“ඡවියා චම්මෙන” (සිවියෙන් හා සමෙන්) ආදී වශයෙන් සතර අඞ්ගයන් අධිෂ්ඨාන කොට යයි මෙහි යමක් කියන ලදද එය චතුරාඞ්ග අධිෂ්ඨානය දැක්වීමයි. “ඡවිචම්ම” යනු මෙහි එක් අඞ්ගයකි. මෙසේ පෙහෙවස් වසන මහාසත්ත්‍වයන්ට බොහෝ කාලයක් ඉක්ම ගියේය.
ඉක්බිති එක් දිනක් ඔහු එසේ සිල් සමාදන්ව වැදහොත් කල්හි වැදි පුත්‍රයෝ සොළොස් දෙනෙක් මස් ගෙන එන්නෙමු’යි ආයුධ ගත් අත් ඇතිව වනයෙහි හැසිරෙන්නාහු කිසිවක් නොලැබ නික්මෙන්නාහු තුඹස මත වැදහොත්තා වූ ඒ නාගයා දැක “අපි අද තලගොයි පැටියකුදු නොලැබුවෙමු. මේ නාගරාජයා මරා කන්නෙමු’යි සිතා “මොහු විශාලය. අල්ලා ගන්නා විට පලායාහැකියයි වැදහොත් පරිද්දෙන්ම ඔහුගේ දරණ, හුලින් විද දුබල කොට අල්ලාගන්නෙමුයි උල් ගෙන එළඹියාහුය. බෝධිසත්ත්‍වයන්ගේ ශරීරය මහත්ය. එක් ඔරුවක් ඇති නැවක් පමණ වේ. වටකොට තබන ලද සමන්මල් දමක් වැනිය. ඔලිඳ ඇට වැනි ඇස් වලින් ද දෑසමන් මල් වැනි හිසින්ද යුක්ත වූවාහු අතිශයින් හොබනාහ. හෙතෙම ඒ සොළොස් දෙනාගේ පියවර හඬින් දරණ වැල අතරින් හිස බැහැර කොට රතු ඇස් හැරපියා ඔවුන් උල්ගත් අත් ඇතිව එනු දැක “අද මගේ මනදොළ මුදුන් පත් වන්නේය’යි තමා දාන මුඛයෙහි පවරා දී “මොවුන් මාගේ ශරීරය ආයුධ වලින් කොටා සිදුරු සිදුරු කරන කල්හිද නො බලන්නෙමි’යි තමාගේ ශීලය කඩවේය යන බියෙන් දැඩිව ඉටාගත් අධිෂ්ඨාන ඇතිව හිස දරණ වැල අතරෙහිම පිවිසවා වැදහොත්තේය.